ලංකාවේ කම්සි නෝර්වේ පාර්ලිමේන්තුවට | සිළුමිණ

ලංකාවේ කම්සි නෝර්වේ පාර්ලිමේන්තුවට

 

 

ලංකාවේ උපත ලැබූ තරුණියක් නෝර්වේ හි පාර්ලිමේන්තුවට තේරී පත්වීම අප රටේ බොහෝ දෙනා අද්වේගයට පත් කරවන සුළු ප්‍රවෘත්තියක් විය. ඇය කම්සි ගුණරත්නම් නැතහොත් කම්සාජිනී ගුණරත්නම් ය. ඇයගේ දෙමවුපියන් යාපනයේ ස්ථිර පදිංචිකරුවන් විය. ඔවුන් 1991 වසරේදී නෝර්වේ රටට පැමිණෙන්නේ එවකට ශ්‍රීලංකාවේ පැතිර ගිය අස්ථාවර වාතාවරණය හේතුවෙන් සරණාගතයන් වශයෙනි.

 

නෝර්වේ රටට පැමිණෙන විට කම්සිගේ වයස අවුරුදු තුනක් විය. ඇය නෝර්වේහි අධ්‍යාපනය ලැබූ අතර ඇයගේ දෙමවුපියෝ උතුරු නෝර්වේ ප්‍රදේශයේ ධීවර කර්මාන්තයට සම්බන්ධ ව ජීවිතය පවත්වාගෙන ගියහ. පසුව කම්සිගේ දෙමවුපියෝ නෝර්වේ හි අගනුවර ඔස්ලෝ වෙත සංක්‍රමණය වූ අතර එහිදී විශේෂයෙන් කම්සිට සහ ඇගේ සහෝදරයාට වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමි විය.

ඔස්ලෝහිදී දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය ලැබූ ඇය පසුව එහි දෙමළ තරුණ සංවිධානයේ සාමාජිකාවක් බවට ද පත් වූවා ය. එවකට ඔස්‌ලෝහි නගරාධිපති ධූරය හෙබවූ රේමන්ඩ් ජොන්සන් මුණ ගැසීමේ අවස්ථාව කම්සිට හිමි වන්නේ මේ දෙමළ තරුණ සංවිධානය හේතුවෙනි. ඔහු මේ උද්යෝගීමත් තරුණිය දේශපාලනය දෙසට යොමු කරවීමට සමත් වූයේ ය. නෝර්වේහි දේශපාලනයට සම්බන්ධ වීම හේතුවෙන් ම ඇයට පෙරළා ශ්‍රී ලංකාව බලා පැමිණීමේ අවස්ථාව ද අහිමි විය. ඔස්‌ලෝ සරසවියෙන් සමාජ භූ විද්‍යාව හැදැරූ ඇය 2018 වසරේදී කම්සාජිනී යනුවෙන් වූ තම නම කම්සි යනුවෙන් සංශෝධනය කර ගත්තා ය. ඒ වන විටත් ඇය එරට ජනප්‍රිය දේශපාලන චරිතයක් විය.

කම්සි තම උපතේ සිට කටුක අත්දැකීම්වලට මුහුණ දෙමින් මනා වූ පන්නරයක් ජීවිතයට ලබා ගත් ශක්තිමත් තරුණියකි. ඇය මේ බව ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වන්නේ 2011 වසරේදී ඉතා අභියෝගාත්මක අත්දැකීමකට මුහුණ දෙමිනි. ඒ වසරේ ජූලි 22වැනිදා ඇය ඔටෝයා හි දූපතක සංවිධානය කර තිබූ කඳවුරකට සහභාගී වන්නේ කම්කරුවන්ගේ තරුණ ලීගය නියෝජනය කරමිනි. එහිදී ඇය සෙසු පිරිස සමග කඳවුරට සහභාගී වෙමින් සිටියදී අන්ද්‍රේස් බෙරිං බ්‍රෙවික් නම් වන නෝර්වීජියානු ත්‍රස්තවාදියකු විසින් කඳවුරට පැමිණි පිරිස ඉලක්ක කර ගනිමින් බෝම්බයක් අටවා තිබූ අතර එය පුපුරා යෑමෙන් 68 දෙනකු මරණයට පත් විය. ඒ හදිසි අවස්ථාවේදී තම නිවැරදි සිහිය පිහිටුවා ගනිමින් ජීවිතය බේරා ගැනීමට කම්සි සමත් වූයේ තමා අවටට බෝම්බ කැබලි සමග උණ්ඩ පතිත වෙද්දී මීටර් 500ක දුරක් ටයිරිෆ්ජොඩ්න් විලේ නිර්භීත ව පිහිනා යෑමෙනි.

දේශපාලන චරිතයක් ලෙස ක්‍රමයෙන් ඉදිරියට පැමිණෙද්දී කම්සි ලෝකයට ම වැදගත් වන සමාජ පණිවිඩ ලබා දීමට තරම් සමත් ශක්තිමත් තරුණික් බවට පත්ව සිටියා ය. සිරියාවේ ත්‍රස්ත ප්‍රහාර වර්ධනය වීමත් සමග ජනතාව යුරෝපා රටවල් කරා පැමිණෙද්දී එය යුරෝපයට අර්බූදයක් වූ විට කම්සි සමස්ත යුරෝපට ම පවසා සිටියේ සෑම යුරෝපා රටක් ම මේ අවිහිංසක මිනිසුන්ගේ වගකීම් දැරීමට කටයුතු කළ යුතු බවයි.

ක්‍රමයෙන් නෝර්වේ දේශපාලනයේ පියවරෙන් පියවර ඉදිරියට පැමිණි කම්සි ප්‍රථමයෙන් ම 2007 වසරේදී ඔස්ලෝ නගර කවුන්සිලයේ සාමාජිකාවක ලෙස පත්වීම් ලැබුවා ය. 2015 ඔක්තෝබර් 15 වැනිදා ඔස්‌ලෝහි උප නගරාධිපතිනිය ලෙස පත් වූ කම්සි එරට කම්කරු පක්ෂයේ සාමාජිකත්වය ද හිමි කර ගත්තා ය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමවේදය අනුගමනය කළ ඇය කම්කරු තරුණ ලීගයේද කැපී පෙනෙන මෙහෙවරක යෙදුණා ය. මේ වසරේ මහ මැතිවරණය සඳහා කම්කරු පක්ෂයෙන් ඔස්ලෝ නගරය සඳහා ඉදිරිපත් කර තිබූ නම් ලැයිස්තුවෙන් කම්සිගේ නම දෙවැනියට අනුමත වීමට තරම් ඇය එරට කම්කරු පක්ෂයේ මෙන්ම ජනතාවගේද සිත් දිනාගෙන සිටියා ය. අවසානයේ මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබමින් ඇය නෝර්වේ පාර්ලිමේන්තුවේද අසුනක් හිමි කර ගැනීමට සමත් වූවා ය.

කම්සි ගුණරත්නම්. ඇය පැමිණි දුර බොහෝ ය. ඇතැම් විට ඇය ශ්‍රී ලංකාවෙන් පිටව ගියේ සිත් රිදීමෙන්ද විය හැකිය. එහෙත් ඇය අද වන විට ශ්‍රී ලංකාවටද කීර්තියක් අත් කර දෙමින් සිටින්නී ය. ඇතැම් විට ඇය ශ්‍රී ලංකාවේ සිටියා නම් මෙවැනි අද්විතීය ස්ථානයක් ඇයට හිමි නොවන්නට ද ඉඩ තිබුණු බව සඳහන් නොකර සිටිය නොහැකි තරම් ය.

එබැවින් ජීවිතයේ උස්පහත් වීම් සියල්ල ජීවිතයට ම ශක්තියක් කර ගත යුතු බවට කම්සි තරම් හොඳ නිදසුනක් තවත් නැති බව නම් පැවසිය යුතුය.

Comments