මේකප් ඉවත් නොකළොත් මෙන්න ඔබේ සමට වෙන දේ | සිළුමිණ

මේකප් ඉවත් නොකළොත් මෙන්න ඔබේ සමට වෙන දේ

 

ජීවිතයේ කාර්යබහුලත්වය සමඟ ඔබට ඔබේ මුහුණ, ශරීරය පිළිබඳ උනන්දුවක් දැක්වීමට කාලයක් නොමැති වෙන්න පුළුවන්. ලෙහෙසියට පහසුවට රූපලාවණ්‍යය ආලේප ස්වල්පයක් දමා ඔබ රැකියාවට පිටත්ව ගියත් පසුව ඔබ මුහුණට ආලේප කළ රූපලාවණ්‍යය ආලේපන නිවැරදිව ඉවත් කරනවාද? ඉවත් කළේ නැතිනම් පසුව සිදුවන ආබාධ පිළිබඳ ඔබ දැනුම්වත්ද? ඔබේ මුහුණ කොපමණ සුන්දර කර ගැනීමට ඔබ කොපමණ රූපලාවණ්‍යය ආලේපන යෙදුවත් පසුව ඔබේ අලසකම නිසා අනිවාර්ය වශයෙන්ම ඔබ නිසි වශයෙන් මුහුණ පිරිසිදු කර ගන්නවා විය නොහැකියි. ඉතින් සුන්දරකම වගේම පසුව සිදුවන ගැටලු පිළිබඳත් ඒවාට සිදු කළ හැකි ආයුර්වේද ප්‍රතිකර්ම පිළිබඳත් පසුගිය කලාපවල සේම මෙවරත් රසඳුන පාඨකයන්ව දැනුම්වත් කරන්නෙ රංගන ශිල්පිනියක් සේම ආයූර්වේද වෛද්‍යවරියක් වන අයෝමි ශානිකායි.

 

අද අපි කතා කරන්න බලාපොරොත්තුවෙන් සිටින්නේ කාන්තාවන්ට බොහොමයක් වැදගත් වන කරුණක් පිළිබඳයි. එනම් රූපලාවණ්‍යය ආලේපන ගැල්වූ පසු ඉවත් කිරීම සහ ඉවත් නොකිරීමෙන් ඇතිවන බලපෑම පිළිබඳයි. රැකියාවකට යන යුවතියක් නම් නොවරදවාම මේකප් එකක් දමාගෙන නිවසින් පිටවීම සාමාන්‍ය දෙයක්. මේ දිනවල නම් ඔබ නිවසේ පසුවන නිසා බහුලව රූපලාවණ්‍යය ආලේපන අවශ්‍ය නොවෙන්නට පුළුවන්. ඔබ සාමාන්‍යයෙන් මේකප් එකක් පාවිච්චි කරන විට මුලින්ම ක්‍රීම් එකක් ආලේප කරන්න. පසුව කන්සීලර් එකක් භාවිතා කර ඔබේ මේකප් එක යොදා ගැනීමට උනන්දු වන්න. (විශේෂයෙන්ම කියන්නට අවශ්‍යයි කන්සීලර් එකක් අපට උදව් වෙන්නෙ කුරුලෑ ආදිය තිබෙනවා නම් ඒවා සමේ පාටට ගෙන අඳුරු පැහැති ලප කැලැල් සහ කුරුලෑ වළවල් සමේ පාටට ගෙන ඒවා වසා දැමීමයි) සාමාන්‍යයෙන් අපි ක්‍රීම් එකක් භාවිත කරන විට සමෙහි මොයිස්චරයිසර් ගතිය රඳා පවත්වා ගන්නට හැකියි වගේම එයින් සම වියළීම වළක්වා ගැනීමටත් හැකියි.

අනිත් කාරණය ලෙස අප ආලේප කරනු ලබන රූපලාවණ්‍යය ආලේපන රාත්‍රියේදී නින්දට යනවිට අනිවාර්යයෙන් ඉවත් කර නිදාගැනීමට පුරුදු වෙන්න. නින්දට යනවිට මේකප් අවශ්‍ය නැහැ. නින්දට යනවිට මෙය ඉවත් කරන ලෙස මම ඔබට පවසන්නෙ දහඩිය කුණු දුහුවිලි සියලු දේ ඔබ මුහුණට යෙදු මේකප් එකේ තැන්පත්ව ඇති බැවින් සමේ මැරුණු සම ද දිනපතාම මෙයට එකතු වන බව ඔබ දන්නවාද?

මුලින්ම ඇල් මැරුණු ජලයෙන් (අධික සීතල වතුර සහ අධික උණුසුම් ජලය මුහුණ සේදීමට යොදා නොගන්න.) මුහුණ පිරිසිදු කරගන්න. විශේෂයෙන්ම උණු වතුරින් ස්නානය කරන්නට එපා සහ බොහෝ ශීතල දේශගුණයක් සහිත පළාත් වල අය ස්නානයට යොදා ගන්නෙ උණුසුම් ජලය. උණුසුම් ජලයන් නිතරම ස්නානය කිරීම දෑස් වලට බලපාන අතර එසේම මේකප් remove එකක් තිබෙනවා නම් මුලින්ම මුහුණේ රූපලාවණ්‍යය ආලේපන ඉවත් කර ගන්න. විශේෂයෙන්ම මුහුණට සබන් අහිතකර නිසා සබන් පාවිච්චියට ගැනීමේදී සැලකිලිමත් වන්න. හේතුව සබන් නිසා සම අධික වියළි තත්ත්වයකට පත් වීමයි. එම නිසා අපට හැකියි සමෙහි රූපලාවණ්‍යය ආලේපන ඉවත් කරන්න ක්ලෙන්සර් එකක් භාවිත කරන්න. මුලින්ම සමේ රූපලාවණ්‍යය ආලේපන සියල්ල ඉවත් කර ගන්න. ඉවත් කර ගැනීමේදි ඔබ මුහුණට පාවිච්චි කරන ෆේස්වොෂ් ස්වල්පයක් ඇඟිලි තුඩු වලට ගෙන හොඳින් මසාජ් කරන්න. විශේෂයෙන්ම මතක තබාගත යුතු දෙයක් වන්නේ මුහුණ අපට අවශ්‍ය ආකාරයට තිබුණත් මුහුණ නළල ඇස්වටා නිකට සහ කම්මුල් වල මාංශපේෂින් පිහිටා තිබෙන ආකාරයට මසාජ් කළ යුතුයි.නැතිනම් ඔබ වයසට යන විට සම රැලි වැටීමකට ලක්වෙනු ලබනවා. ඇස් ගිලා වැටීමකට ලක්වෙනු ලබනවා. එම නිසාම මුහුණ ක්ලෙන්සර් කරන විට රවුමට රවුමට උඩු අතට සිදු කළ යුතුයි.

ඒ වගේම ඇස වටේට ගැල්වූ රූපලාවණ්‍යය ආලේපන ඉවත් කරන විට ඔබේ අත් දෙකෙහි හතරවැනි ඇඟිල්ල නැතිනම් වෙදැඟිල්ල භාවිත කරන්න. හේතුව වෙදැඟිල්ල ශක්තිය අඩුම ඇඟිල්ලයි. එසේම නළලේ දෙපැත්තට කම්මුල් වලට උඩු අතට නහයේ රවුමට රවුමට ඒ ආකාරයට පිරිසිදු කරන්න. කට වටේට ද රවුමට රවුමට බෙල්ල අනිවාර්යයෙන් උඩු අතට පිරිමදිමින් රූපලාවණ්‍යය ආලේපන ඉවත් කර ගන්න. පසුව මුහුණ හොඳින් සෝදා ටෝන එකක් හෝ ගෙදර සිටින දවසක නම් කෝමාරිකා ස්වල්පයක් ආලේප කර නැතිනම් අලිගැටපේර හෝ පැපොල් ස්වල්පයක් ආලේප කරන්න. පසුව සෝදා හරින්න.

අපි මේ ගල්වන රූපලාවණ්‍යය ආලේපන ඉවත් නොකළහොත් වෙන බලපෑම ඔබ දන්නවාද? මේකප් ස්වල්පයක් හෝ මුහුණෙහි රැඳුණහොත් කලක් ගතවන විට මුහුණෙහි කුරුලෑ හටගන්නවා වගේම අනිවාර්යයෙන් ඒ සඳහා අපි ප්‍රතිකර්ම ලබා ගත යුතුමයි. මුලින්ම මෙසේ වෙන්න හේතුව කුමක්ද යනුවෙන් සිතා බැලිය යුතුයි. කවදාකවත්ම කුරුලෑවක් පැමිණි පසු කුරුලෑව කඩන්නට එපා සහ නියපොතු වල තිබෙන විසබීජ බැක්ටීරියා තවත් කුරුලෑ තුළට ගොස් එහි පැල්ලම් සදාකාලිකවම මුහුණෙ රැදෙයි.

ඔබ දිනපතා හෝ සතියකට දෙතුන් පාරක් වතුර ස්වල්පයකට දෙහි බින්දු කිහිපයක් දමා මුහුණ පිරිසිදු කරගන්න.එයින් මුහුණෙහි බැක්ටීරියා විසබීජ ඉවත් වෙයි. ඔබ අනිවාර්යයෙන් රාත්‍රියේදී ගල්වන නයිට් ක්‍රීම් උදෑසන ඉවත් කරන්න සහ ස්ක්‍රිබ් එකක් හෝ පැක් එකක් දිනපතාම නොදමා සතියකට වතාවක් සිදු කරන්න. ස්ක්‍රිබ් එකක් කියන්නෙ මැරුණු සම ඉවත් කිරීම සහ දිනපතාම මැරුණු සම ඉවත් කිරීම මඟින් මුහුණෙ කුඩාවට බිබිළි හටගන්න පුළුවන්.

 

 

මුහුණෙහි ගැල්වූ ආලේපන ඉවත් කිරීමෙන් පසු ඔබගේ සම නිරෝගිව තබා ගැනීමට පහත ප්‍රතිකර්ම නිවසේදීම සිදු කරන්න.

 

මුහුණෙ හෝ ශරීරයේ ඕනෑම තැනකට පොල්තෙල් හා කෝපිකුඩු සම සමව ගෙන තලපයක් සේ සාදා ආලේප කර මඳ උණුසුම් වතුරෙන් සෝදා හරින්න.බොහො විට සාරි ජැකට් ආදිය අඳින අය සිටිනවානම් පිට කළුවී තිබෙනවානම් මෙම ප්‍රතිකර්මය බොහො සුදුසුය.

රාත්‍රි නින්දට යන විට ඔබේ ඇස්‍ යට සහ මුඛය වටා කෝමාරිකා ජෙල් ස්වල්පයක් ආලේප කර නින්දට යන්න.

මේකප් නිසා දුර්වර්ණ වූ සම පැහැපත් කර ගැනීමට බීට් අලයක් කැරට් අලයක් දොඩම් ගෙඩියක් ඇපල් ගෙඩියක් සහ පිපිඤ්ඤා භාගයක් එකට දමා බ්ලෙන්ඩර් කර පානය කරන්න.

පොල්තෙල් ස්වල්පයක් ගෙන බේකින් සෝඩා තේ හැදි එකක් දමා මිශ්‍ර කර එය සාමාන්‍ය ආකාරයට මුහුණෙ ගල්වා සෝදා හරින්න.

පොල්තෙල් සහ සීනී මිශ්‍ර කර උඩු අතටම විනාඩි කිහිපයක් ආලේප කර මසාජ් කරන්න.(සම සුමුදු හා පැහැපත් වේ)

 

 

Comments