මවු ගුණ ගයන ශෂිකලා | සිළුමිණ

මවු ගුණ ගයන ශෂිකලා

 

මවු සෙනෙහසට ගී ලියැවෙන්නේ ඉඳහිටය. එවැනි ගීතයක් ඊයේ පෙරේදා දොරට වැඩියේය. ඉතාලියේ පදිංචිව සිටින ලක්දිල් පීරිස් සිය ආදරණීය මෑණියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ගොතන ලද අපූරු පදවැලට හඬ මුසු කළේ ශෂිකලා වීරසිංහය. ඇය බටහිර ගායන ශෛලියෙන් ගී ගයන නව පරපුරේ ගායිකාවකි.

 

‘මගේ දුක ළඟ මටත් කලියෙන් තෙත් වුණේ ඇස් මගෙ නොවේ නුඹගේ‘ ලක්දිල් පීරිස්ගේ ගී පදවැලට ප්‍රවීණ සංගීතඥ අශෝක කෝවිලගේ තනු නිර්මාණය කරමින් සංගීතවත් කළ මේ අපූරු මවු ගුණ ගීතය ලක්දිල්ට මෙන්ම ශෂිකලාටත් සිය ජීවිත කාලයේ ආදරණීය මෑණියන්ට වෙනුවෙන් උපහාර පිදීමට උදා වූ කදිම අවස්ථාවක් බවට පත්වී තිබේ.

මහනුවර උපන් ශෂිකලා ගායනයට යොමුවූයේ අම්පිටිය ජාතික පාසලේ මූලික අධ්‍යාපනය හදාරමින් සිටි කාලයේදීමය. වසර ගණනාවක් උඩරට නර්තනය හැදෑරූ ඇය පාසලේදී ක්‍රීඩාවෙන් ද කැපී පෙනෙන දස්කම් පෑවද ඇගේ සිත නතර වූයේ සංගීත ක්ෂේත්‍රයේ ය.

‘මම සාමාන්‍ය පෙළට වගේම උසස්පෙළ අධ්‍යාපනයටත් සංගීතය තමයි හැදෑරුවේ. ඊළඟට ආනන්ද පෙරේරා සර් ළඟ වසර කිහිපයක්ම සංගීතය හැදෑරුවා. ගම්පහ, නැදගමුව පළාතට සේන්දු වුණාට පස්සේ වැඩිදුරටත් ගායනයට යොමුවුණා.‘ ඇය සිළුමිණ රසඳුනට කීවාය. ශෂිකලාගේ පළමු ගීතය ‘පෙරදාක සංසාරයේ‘ එළි දැක්වූයේ මීට වසර කිහිපයකට පෙරය. ළහිරු ඩී.ෆොන්සේකා පද රචනා කළ එම ගීතය සංගීතවත් කළේ ප්‍රදීප් ග්‍රේරෝ විසිනි.

හෝටල් ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවක නිරතව සිටින සජිත් මෙන්ඩිස් ඇගේ ආදරණීය සැමියාගෙන් සිය ගායන දිවියට ලැබෙන සහයෝගය ඇය ස්තූති පූර්වකව සිහිපත් කරන්නීය. ඩිනාරා සහ ටරිනි දියණියන් දෙදෙනා ශෂිකලාගේ කැදැල්ලේ සෙසු සාමාජිකාවෝ වෙති.

‘‘මගේ දුක ළඟ‘ ගීතය රචනා කළ ලක්දිල් පීරිස් සොයුරියට වගේම මටත් මේ මවු ගුණ ගීතය මගේ සංගීත දිවියේ අමතක නොවන සිහිවටනයක්. මම පාසල් කාලයේ එකෝඩියන්, සර්පිනාව වැනි සංගීත භාණ්ඩත් වාදනය කළා. නමුත් මේ වෙද්දී පූර්ණ කාලීනව ගායිකාවක වීමේ බලාපොරොත්තුවෙන් වැඩිදුර සංගීතය හදාරනවා. සංගීත ප්‍රසංගවලටත් සහභාගි වෙනවා. ජාඇල සී කූල් ශබ්දාගාරයේ අධිපති ප්‍රදීප් ග්‍රේරෝ මගේ ඥාති සොයුරෙක්. ඔහු තමයි මගේ සංගීත ජීවිතයට අත්වැල සපයන්නේ.‘ ඇය කීවාය.

 

Comments