ජීවිතයේ එන ඕනෑ ම දේකට සම සිතින් මුහුණ දෙන්න මට පුළුවන් | සිළුමිණ

ජීවිතයේ එන ඕනෑ ම දේකට සම සිතින් මුහුණ දෙන්න මට පුළුවන්

 

 

 

වෘත්තියෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරයකු මෙන් ම එම රෝහලේ වෛද්‍ය පරීක්ෂණ ඒකකය භාර වෛද්‍යවරයා ද වන වෛද්‍ය සුදත් දම්සිංහ ක්ෂේත්‍ර කිහිපයක ම දස්කම් ඇත්තෙකි. මාධ්‍ය ක්ෂේත්‍රයේ ද ජනප්‍රියත්වයක් ලබා ඇති ඔහු වෛද්‍ය උපාධියට අමතර ව ආහාර හා පෝෂණය පිළිබඳ විද්‍යාපති උපාධිය ද ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය ද මනෝවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය ද ජනසන්නිවේදනය පිළිබඳ ශ්‍රාස්ත්‍රපති උපාධිය ද ලබා ඇත.

 

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරියක වන සුමුදු ව්‍යක්ති විජයවීර සමඟ විවාහ ව සිටින ඔහු පුතුන් දෙදෙනෙකුගේ දයාබර පියෙකි.

වෛද්‍යවරයකු වූ නිසා ම මේ දිනවල රට පුරා පැතිර යන කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමඟ වෛද්‍ය සුදත් දම්සිංහ ද අතිශය කාර්යබහුල ය. එහෙත් ජනමාධ්‍යයට බෙහෙවින් ආදරය කරන ඔහු මේ කතා බහට එක්වූයේ සතුටිනි.

"අපේ රෝහලේ පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සම්බන්ධීකරණ කටයුතු සියල්ල ම මේ දිනවල සිදු කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය පරීක්ෂණ ඒකකය හරහා යි. එම ඒකකය භාර වෛද්‍යවරයා හැටියට මේ දිනවල බොහෝවිට සතියේ දින හත ම වගේ වැඩ කරන්න මටත් සිදුවී තිබෙනවා. උසස් නිල තල සඳහා වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම, කොරියාව වැනි රටවලට යන ළමයින් සඳහා වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම මේ ඒකකයෙන් සිදු කෙරෙනවා. ඒ වගේ ම රාජ්‍ය හා පෞද්ගලික අවශ්‍යතා අනුවත් බොහෝ වෛද්‍ය පරීක්ෂණ අපේ ඒකකය මඟින් සිදු කෙරෙනවා. ඊට අමතර ව ඕනෑ ම කෙනෙකුට මේ මඟින් සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණ සිදුකර ගත හැකි නමුත් මේ දිනවල වැඩිපුර ම සිදුවන්නේ කොවිඩ්-19 රෝගයට අදාළ පරික්ෂණ සම්බන්ධීකරණ කාර්යය යි."

කළුතර දිස්ත්‍රික්කයේ වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ සුදත් දම්සිංහ පාසලේ දී ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වූ දරුවෙකි. සාහිත්‍ය සංගමය, විද්‍යා සංගමය වැනි පාසල් සමිති සමාගම් ද නියෝජනය කළ ඔහු දක්ෂ කථිකත්වයක් තිබූ අයෙකි.

"මම පාසල් යන කාලෙ කථික තරගවලට සහභාගි වෙලා තිබෙනවා. ජාතික මට්ටමේ තරගවලට පවා මම ඉදිරිපත් වුණා. ඒ දේවල්වලින් ලැබූ පුහුණුව මගේ ජීවිතයට උදව්වක් වෙලා තියෙනවා."

පවුලේ තොරතුරු පිළිබඳ ව ද වෛද්‍ය සුදත් දම්සිංහ අප සමඟ පැවසුවේ ය.

"මම පවුලේ වැඩිමල් දරුවා යි. ලොකු නංගි විවාහ වෙලා ඇමරිකාවේ පදිංචිව සිටිනවා. ඊළඟට ඉන්නේ මල්ලි යි. ඊට බාල තව නංගි කෙනෙක් ඉන්නවා. තාත්තා ජීවතුන් අතර නෑ. තාත්තා වාහන ව්‍යාපාරයක් කළා. අම්මා රැකියාවකට ගියේ නැහැ. අපි ව බලාගෙන අපව අධ්‍යාපන කටයුතුවලට ගොඩක් උනන්දු කළේ අම්මයි. ඒ කාලේ අධ්‍යාපන ක්‍රමයේ උසස් පෙළ දක්වා අම්මා හොඳින් ඉගෙන ගෙන තිබුණා. ඒ උනන්දුව නිසා ම මම ගොඩක් උනන්දුවෙන් ඉගෙන ගත්තා. ඒ කාලේ අධ්‍යාපනයට තරග තිබුණේ නෑ. නමුත් අපි හොඳට පාඩම් කරලා ඉගෙන ගත්තා. සාමාන්‍ය පෙළ විභාගයෙන් විද්‍යාව විෂයයටත්, ගණිතය විෂයයටත් විශිෂ්ට සාමාර්ථ තිබුණත් ගණිත අංශයෙන් උසස් පෙළ කරන්න මට ටිකක් බය හිතුණා. ඒ නිසා උසස් පෙළ ජීව විද්‍යාව තෝරා ගත්තා. ඉගෙනීමට හොඳ පසුබිමක් ගෙදර තිබුණු නිසා මම මහන්සිවෙලා ඉගෙන ගත්තා. අපේ පාසලෙන් විශ්වවිද්‍යාලයයට ගිය දෙවැනියා මම යි."

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වූ දම්සිංහට වෛද්‍යවරයෙක් ලෙස අභිසෙස් ලැබීමට වසර දහයක් ගත වූයේ ඒ වකවානුවේ රටේ පැවති භීෂණය යි.

"ඒ කාලේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් දිහා බලන්නෙ හරියට ත්‍රස්තවාදියෙක් දිහා බලනවා වගෙයි. අපේ විශ්වවිද්‍යාලය ඇතුළෙ අපට ලොකු ප්‍රශ්න තිබුණෙ නැහැ. ත්‍රීමාවිතාරණ මට පහළ වසරේ හිටියේ. විශ්වවිද්‍යාල යාළුවෝ ගොඩාක් ඒ කාලෙ නැති වුණා. සමහරු අතුරුදන් වුණා. ඒ කාලෙ ඕනෑ තරම් ගෝනි බිල්ලන්ට අහු වෙලා තියෙනවා. කීප වතාවක් ම අල්ලගෙන ගිහිල්ලත් තියෙනවා. හැබැයි ඉතින් පහරදීම්වලට නම් මුහුණ දුන්නේ නෑ. මම කවදාවත් විශ්වවිද්‍යාලයේ දේශපාලනය කළෙත් නැහැ. ඒ නිසා වෙන්න ඇති කරදරයක් වුණේ නැහැ. නමුත් ඒ කාලේ තිබුණු වාතාවරණය හරි ම බියකරු යි. හැබැයි ඉතින් එවැනි වාතාවරණයක ඉගෙන ගන්න ලැබුණු නිසා වෙන්න ඇති ජීවිතයේ ඕනෑ ම අභියෝගයකට, ඕනෑ ම ගැටලුවකට ඕනෑ ම ජයග්‍රහණයකට සම සිතින් මුහුණ දීමේ හැකියාව මට ලැබුණේ. ඒ භීෂණ යුගය නිම කරලා වෛද්‍යවරයෙක් විදියට එළියට ආවේ 1992 දී යි. ලොකු කාලයක් නිරපරාදේ නාස්ති වුණා."

වෛද්‍යවරයකු ලෙස මුල් ම සීමාවාසික පුහුණුව සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත යොමු කරන ලදුව ඉන් වසර දෙකකට පසු ගාල්ල කරාපිටිය රෝහලට පත්වූ වෛද්‍ය සුදත් දම්සිංහ 1994 වසර අවසානයේදී නැවත ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ස්ථාන මාරු ලැබුවේය. එදා සිට මේ දක්වා එම රෝහලේ වෛද්‍යවරයකු ගේ කාර්යභාරය මනාව ඉටු කරන්නා සේ ම ගුණයහපත් මනුස්සයකු ද වන්නේ ය. ඕනෑ ම අයෙක් ඔහුගෙන් යම් උදව්වක් ඉල්ලූ සැණින් උපරිමයෙන් කළ හැක්ක ඉටුකර දීමට මේ වෛද්‍යවරයා වෙහෙසෙන බව ඉතා ප්‍රකට කරුණකි.

මහජන මුදලින් අධ්‍යාපනය ලබා උසස් නිලතල, තනතුරු ලද පසු තමා වෙතට පිහිට පතා පැමිණෙන අහිංසක මිනිසුන් තළාපෙළා සූරාගෙන කන බහුතරයක් සිටින මෙවන් රටක සමාජයක වෛද්‍ය සුදත් දම්සිංහ වැනි අතළොස්සක් දෙනා සැබෑ මිනිස් ගුණ පිරුණු අය යි. වසර 18ක් තිස්සේ ඔහු විශේෂ අවශ්‍යතා ඇති සහ ඔටිසම් දරුවන් උදෙසාම වෙන් වුණු ආයතනයක් පවත්වාගෙන යමින් එම දරුවන් සිටින දෙමව්පියන් දැනුම්වත් කිරීම, දරුවන්ට චිකිත්සාවන් ලබාදීම වැනි කාර්යයන් ඉටු කරන අතර ඒ සම්බන්ධයෙන් රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන් රැසක් ද සිදුකර ඇත. වෛද්‍ය සුදත් දම්සිංහ ජනමාධ්‍ය කටයුතුවලට සම්බන්ධ වන්නේ 1995 වසරේ සිටයි.

"වෛද්‍ය සංග්‍රහය කියලා සුව පණිවුඩ මාලාවක් දිනපතා සිරස ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන්න මට මුලින් ම අවස්ථාව ලැබුණා. ඊට පස්සේ සෑම ගුවන් විදුලි හා රූපවාහිනි නාළිකාවක ම වෛද්‍ය වැඩසටහන් මෙහෙයවීමට මට අවස්ථාව ලැබුණා.

මීට් යුවර් ඩොක්ටර් (meet your doctor) වැඩසටහන වසර පහළොවක් තිස්සේ මම ස්වාධීන රූපවාහිනියේ කරගෙන යනවා. මම 2008 වසරේ වෛද්‍ය ශිෂ්‍යයෙක් විදිහට ඉන්න කාලේ 'සිඟිතිගේ ලෝකය' කියලා ලිපි මාලාවක් විදුසර පුවත්පතට ලිව්වා. පස්සේ ඒ ලිපි පෙළ පොතක් විදිහට එළිදැක්වූවා. ඊටපස්සේ ගැබිනිකගේ දිනපොත, දැනගෙන කමු බොමු, සිංහල වෛද්‍ය විද්‍යාව, පෙර පාසල් දරුවා, ඔටිසම් හඳුනා ගනිමු ආදී වශයෙන් සහ බෝ නොවන රෝග සම්බන්ධයෙන් වෙන වෙන ම මේ වන විට පොත් හතළිහක් විතර ලියා පළ කර තියෙනවා. කොච්චර කාර්යබහුල වුණත් මේ දවස්වලත් මම පොත් හතරක් පහක් අරගෙන යනවා."

අවුරුදු 22ක තරුණයෙක් වන වෛද්‍ය සුදත් දම්සිංහගේ වැඩිමල් පුතු චායු දියත් දම්සිංහ මේ වන විටත් විද්‍යාපති උපාධි දෙකක් අවසන් කර ඇති අතර ආර්ථික විද්‍යාව උපදේශකවරයකු ලෙස රාජකාරි ද කරන්නේය. පාසල් අධ්‍යාපනය නිම කර සිටින බාල පුත් වේග උදායු දම්සිංහ ප්‍රංශ භාෂාව මෙන්ම සංගීතයට හපන්කම් දක්වන්නේය.

"ඇත්තට ම අපේ රටේ දරුවන්ට පාසල් යාමට තියෙන කාලය ගොඩක් වැඩියි. අවුරුදු පහේ සිට 13 දක්වා කාලයක් පාසලේ ඉඳලා, තවත් අවුරුදු පහක් හයක් විශ්වවිද්‍යාලවල ඉ‍ඳලා, තවත් කාලයක් රැකියා පෝලිම්වල ඉඳලා, විභාග ප්‍රතිඵල එනකම් බලාගෙන ඉඳලා රැකියාවකට යද්දී තාරුණ්‍යයේ ජව සම්පන්න ම කාලය ගෙවිලා හෙම්බත් වෙලා ඉවරයි. ඊට පස්සේ පුටුවක වාඩිවෙලා හුලං වැදි වැදි ඉන්නවා ඇරෙන්න දුවලා පැනලා උනන්දුවෙන් වැඩක් කරන්නේ නෑ. වෙන රටවල ඉතා ම අඩු වයසකින් උපාධියක් කරමින් රැකියාවක් කර ගන්නත් පුළුවන්කම තියෙනවා.

කාර්යක්ෂමව වැඩ කරගෙන රටේ ආර්ථික සංවර්ධනයට ශ්‍රම දායකත්වය නිසි පරිදි යොදා ගන්න පාසල් කාලය වසර දහයක් තිබුණා ම ඇති. අවුරුදු 22 වෙද්දී වත් ශ්‍රම බළකායට එකතු වෙන්න පුළුවන් කම තියෙන්න ඕනෑ. අනිත් කාරණාව තමයි අවුරුදු අසූවක් පමණ තිස්සේ තවමත් මේ රටේ දෙමව්පියන් හොඳ පාසලකට තරඟ වඳිනවා. මේ රටේ සියලු පාසල් සම මට්ටමක තියෙනවා නම් ළමයින්ට පහේ පන්තියේ ඉඳලා විභාග ධාවනයක යෙදෙන්න ඕනේ කමක් නෑ. කටපාඩම් කරලා ප්‍රශ්න පත්තරේකට ලියන අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන තුරු රට දියුණු කරන්න නම් අමාරුයි.

අපේ රටේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට සහ ඔටිසම් දරුවන්ට සාමාන්‍ය පාසලකට ගිහින් අද අනෙක් දරුවන් එක්ක ඉගෙන ගන්න තරම් වාතාවරණයක් පාසල් පද්ධතියේ නැත්තේ මෙන්න මේ තරගය සහ සියලු පාසල් සම තත්ත්වයේ නොතිබීම නිසයි. අනිත් කෙනා ගැන හිතන්න අනෙකාට උදව් කරන්න සහයෝගයෙන් ජීවත් වන්න නම් කාමරේ ඇතුළෙ සියලු ආගම්වල, සියලු ජාතිවල, විවිධාකාර දරුවන් එකට සිටිය යුතුයි.

ඒ සහජීවනය තමයි පසු කාලෙක රටක් විදියට ගොඩනැ‌ෙඟන්නේ. මං මේ රටේ දරුවන්ටත් දෙමව්පියන්ටත් ආදරයෙන් සිහිපත් කරන්නේ වටිනා පාසල් ජීවිත කාලය විභාගවලට සූදානම් වීම සහ ඒවාට පෙනී සිටීම සඳහා පමණක් නාස්ති නොකර, ස්මාර්ට් ෆෝන්වලින් ගේම් ගගහා ඉන්නෙ නැතුව ලෝකය විනිවිද දකින්න කියා යි. අඩු වයසින් උපාධිය අවසන් කරලා ලොකු ලොකු ඉලක්කවලට පුංචි කාලෙදි ම යන්න උත්සාහ කරන්න. අද ඉගෙන ගන්න ඕනෑතරම් මාර්ග, ක්‍රමවේද, පහසුකම් තියෙනවා. මම ගමේ පාසලෙන් විශ්වවිද්‍යාලයට ගියේ.

මගේ ලොකු පුතා අඩු වයසෙන් උපාධි ලැබුවා. මෙවැනි දරුවෝ ලොව පුරා සිටිනවා. එහෙම නම් හැම දරුවකුට ම මේ හැකියාව තියෙනවා. බොරු දේවල්වලට, තවත් කෙනෙක් නිසා තමන්ගේ කාලය නාස්ති නොකර ඉක්මන් ජයග්‍රහණවලට පිවිසෙන්න දරුවනේ" ඔහු මහත් ආදරණීය ව කීවේය.

Comments