ගැබ් ගැනීම කල්දැමීමට වඩා එන්නත ලබා ගැනීමයි වැදගත් | සිළුමිණ

ගැබ් ගැනීම කල්දැමීමට වඩා එන්නත ලබා ගැනීමයි වැදගත්

 

 

කාන්තාවකගේ ජීවිතයේ සුන්දරම හීනය වන්නේ විවාහයයි. දෙවැන්න දරු සුරතල් බැලීමයි. මේ වකවානුවේ ඒ හීනයටත් බලපෑම් කරන රකුසා වන්නේ කොවිඩ් 19 වයිරසයයි. වසර දෙකකටත් ආසන්න කාලයක් ගතවී ගියද වසංගතය සහමුලින් පරාජය කළ හැකි ක්‍රියාමාර්ගයක් මෙතරම් දියුණු ලෝකයේ පවා සොයා ගැනීමට නොහැකි වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධාන ද තවමත් මෙයට පිළියම් සොයමින් සිටියි. කාලයත් සමඟම අහිතකර සෞඛ්‍ය වාතාවරණය පසු කරමින් සිටින අප දැන් සිටින්නේ එහි දරුණුම අවස්ථාවේය. ඒ අනුව අවශ්‍ය ප්‍රතිශක්තිකරණය නැති ඕනෑම පුද්ගලයකු ඉක්මනින් මියයන අවධානමක් ඇත. මේ සමඟ මතු වූ කරුණක් වන්නේ මවුවරුන් විශාල ලෙස මියයාමත්, මවුවරු වීම අවුරුද්දක් දක්වා කල් දැමීමේ ඉල්ලීමත් සම්බන්ධවයි.

 

මේ පිළිබඳව විමසීමේදී මෙම මත පසුපස හඹා යෑමට වඩා මවුවරු බේරා ගැනීමට කොවිඩ් එන්නත ලබා දී මවුවරුන්ගේ මරණ පාලනය කිරීම සුදුසු බව විද්‍යාත්මක මතයයි. වැඩිදුරටත් විද්‍යාත්මක පැතිකඩ ඔස්සේ වෛද්‍යවරු පවසනුයේ මෙම වයිරස ස්වභාව දැනුම්වත් වීම වැදගත් බවයි.

වයිරසයක් යන්න එකවර මැඬලිය හැකි තත්ත්වයක් නොවේ. වයිරසයේ ක්‍රියාකාරිත්වය දැඩි මෙන්ම ශීඝ්‍ර පැතිරයාම එම ස්වභාවයයි. කොවිඩ් ද එවැනිම ව්‍යාප්තියකි. මෙය අපට අලුත් රෝගයකි. විවිධ ප්‍රභේද ඇති වෙමින් අලුත් වෙමින් පැවතීම වයිරස ස්වභාවයකි. එම හේතුව මත ඉහළ මරණ ප්‍රමාණයක් දක්නට ලැබේ. මෙය ඕනෑම වසංගත රෝගයක ස්වභාවයකි.වයිරසය බැක්ටීරියා වෙනස් වෙමින් යනවිට විද්‍යාත්මකවද එම වෙනස්වන ස්වභාවය පර්යේෂණ කරමින් විසඳුම් සොයති. එහිදී අනෙක් වයිරස මෙන්ම මෙම වයිරසයද පාලනය කළ හැකි එක ම ක්‍රමය දැනට එන්නත්කරණය බව පැවසේ. ඇමරිකාව එංගලන්තය වැනි වෛද්‍ය විද්‍යාවේ ඉහළ පෙළේ රටවල් පර්යේෂණ ඔස්සේ එය තහවුරු කර ඇත. එන්නත් ලබාගෙන මාස දෙකක් වනවිට වයිරසය සමඟ සටන් කිරීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණ ගොඩනැඟෙන බව වැඩිදුරටත් පැවසේ. එනම් අපේ මවුවරු ආරක්ෂා කරලීමට මෙම අවස්ථාවේ ප්‍රථමයෙන් එන්නත්කරණයට යොමු කිරීම වඩා වැදගත්.

දැනට මවුවරු 70% ක් පමණ එන්නත ලබා ඇති අතර ඉතිරි 30%ද සම්පූර්ණ වූ පසු තව මසක් පමණ යන විට මවුවරුන්ගේ මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට හැකි බව වෛද්‍ය විද්‍යාත්මක පැතිකඩ විමර්ශනය මඟින් හෙළි වේ.

මවක වීම කල්දැමීම යන ආරංචිය කතාබහ සමඟ අපේ මවුවවරු දැන් බියෙන් සිටිනවා ඇති. එහෙත් වෛද්‍යවරුන් පවසන්නේ එසේ අනිසි බියක් ඇති කර ගැනීම ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර බවයි. එන්නත්කරණයට මවුවරු යොමු වීමත් සමඟ ම ඔවුනගේ තවත් පොදු ගැටලුවක් එන්නත් තුළින් සංකූලතා හට ගැනීමයි. මේ පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක විමසීම් පෙන්නුම් කරනුයේ ඕනෑම රෝගයකදී සිදුකරන ප්‍රතිකාර එන්නත් මඟින් පුද්ගලයන්ට සංකූලතා ඇති වීම නොවීම ලෙස කොට්ඨාශ දෙකක් පවතින බව. ඇතමුන්ට පැරසිටමෝල් වුව ද අහිතකර සංකූලතා ඇති කරන අවස්ථා පවතී. සංකූලතා වීම ඕනෑම එන්නත්කරණ හෝ ප්‍රතිකාරයක සාමාන්‍ය ක්‍රියාවකි. එවැනි සංකූලතා හැරුණ විට දැනට මෙම වයිරස එන්නතෙන් දරුණු සංකූලතා රෝගීන් වාර්තා වී නොමැත. ඒ නිසා මවුවරු එන්නත්කරණයට කිසිවිට බිය වියයුතු නැත. දැනට පවතින වෛද්‍ය වාර්තා අනුව එවැනි ප්‍රතිකාර නොමැති සංකූලතා දරුණු රෝගීන් වාර්තා වී නොමැත. සාමාන්‍යයෙන් උණ, මාංශපේෂී වේදනා වැනි සරල සංකූලතා වාර්තා වීම ඕනෑම ප්‍රතිකාරයක් හෝ එන්නතක ලක්ෂණයකි. ඒ වයිරසයක ස්වභාවයයි.

කොවිඩ් රැල්ලෙහි දරුණුම අවස්ථවෙ පසුවන ලෝකයම අද වනවිට ඉතා වෙහෙසෙමින් තම ජීවිතය බේරා ගැනීමේ සටනක යෙදෙති. ඒ අතරින් තවත් ජීවිතයකට එළිය දෙන්න බලා ඉන්නා අපේ මවුවරුද මෙම රෝබියෙන් බැටකමින් සිටිති. තම කුසේ සිටින දරුවාට මේ රෝගය බලපාන්න පුළුවන්. එමෙන්ම මවටත් අපහසුතා වේදනා විඳීමට සිදු වේය යන බිය තිබෙනවා. එම නිසා සෑම විටම ඔබේ නිවසේ මවුවරුන් පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත්. ඔවුනගේ චර්යා වෙනස්කම් හඳුනා ගන්න. අපගේ වගකීම නම් ඔවුනට හොඳ සෞඛ්‍ය වාතාවරණයක් උදාකර දීමයි. එනම් සැමවිටම මවුවරු සෞඛ්‍ය හුරුපුරුදු අනුගමනයට යොමු කිරීම අප සැමගේ ප්‍රථම රාජකාරිය වේ. එහි මූලික පියවර කොවිඩ් එන්නත ලබා ගැනීමට යොමු කිරීමයි. සියලු වෛද්‍ය පර්යේෂණ තුළින් හෙළිවනුයේ මව්වරුන්ගේ මරණ සංඛ්‍යාව පාලනයට ප්‍රතිඵලදායී විසඳුම එන්නත්කර්ණය වගයි. මවක් වීම, නොවීම කල්දැමීම ඔබේ තීරණයකි. මෙම අවස්ථාවට අනුව අප හැඩගැසිය යුතු වන්නේ නිවැරැදි සෞඛ්‍යය උපදෙස් පිළිපැදීමටයි. එනම් ප්‍රථමයෙන් අවධානය යොමුකළ යුත්තේ සියලු මව්වරු එන්නත්කරණය ට යොමු කිරීම බව අවස්‍ථාවට අනුව වඩාත්ම සුදුසු කර්තව්‍ය එය බව වෛද්‍යවරුන් විසින් මෙම අවස්ථාවේ මව්වරුනට දෙන පණිවිඩයයි.

 

ප්‍රසව හා නාරිවේද පිළිබඳව විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල්

(කාසල් කාන්තා රෝහල කොළඹ)

Comments