කලාව සහ රැකියාව සමබර කරගන්න ඕනෑ ගලදාරි හෝටලයේ ආහාරපාන අංශයේ අධ්‍යක්ෂ තුෂාන්ත කාරියවසම් | සිළුමිණ

කලාව සහ රැකියාව සමබර කරගන්න ඕනෑ ගලදාරි හෝටලයේ ආහාරපාන අංශයේ අධ්‍යක්ෂ තුෂාන්ත කාරියවසම්

 

 

මෙරට ප්‍රමුඛපෙළේ තරු පන්තියේ හෝටලයක ඉහළ තනතුරක් දරමින් ගීත රචනාවේ යෙදෙන කලාවට ලැදි ඔහු නමින් තුෂාන්ත කාරියවසම් ය. ප්‍රවීණ සංගීතඥ සහ ගායන ශිල්පී ලෙලුම් රත්නායක සමඟ කලා කටයුතුවල නියැළෙන තුෂාන්ත කාරියවසම් ලෙලුම් රත්නායක වෙනුවෙන් ගීත කිහිපයක්ම රචනා කර ඇත.

 

සිළුමිණ රසඳුන පිළිසඳරට එක්වූ තුෂාන්ත කාරියවසම් සිය කලාකාමී ජීවිතයේ සොඳුරු මතක අවදි කළේ මෙලෙසිනි.

¨ මම සින්දු අහන්න හරිම ආස කරන කෙනෙක්. ඒ කැමැත්තම තමයි මට ගීත රචනා සඳහා යොමු වෙන්න අවස්ථාව සලසන්න මුල් වුණේ. මම ගීත රචකයෙක් වීම ඉතා අහම්බෙන් සිද්ධ වූ දෙයක්. මුලින්ම මගෙ අතින් කවියක් ලියවුණේ 2019දී. එදා මගේ අතින් ලියවුණේ වචන කිහිපයක කවියක් වුණත් ඒ අහම්බෙන් ලියවුණු කවිය තමයි අද මම මේ ඉන්න තැනට එන්න මුල් වුණේ. ඊටපස්සේ මම දිගින් දිගටම මම කවි ලියන්න පටන් ගත්තා. එහෙම ව මම කාලයක්ම කවි ලිව්වා. ඔය අතරෙදි මට ගීත රචනය ගැනත් ලොකු ආසාවක්, කැමැත්තක් ඇති වුණා. ඒත් ගීත රචනයක් හරියටම කරන්නෙ කොහොමද කියන දේ ගැන මට ලොකු දැනුමක් තිබුණේ නැහැ. ඒ ගැන දැනීමක් තියෙන යාළුවෝ කිහිප දෙනෙක්ගෙන් මම ඒ ගැන උපදෙස් ගත්තා.¨

ඔහු පවසන්නේ උද්යෝගයෙනි. සහජ කුසලතාව, උනන්දුව සහ උත්සාහය ඔහු අපූරු ගී පද රචකයකු බවට පත්කරන්නේ ඒ අතරේය. ඒ ගැන තුෂාන්ත මෙසේ කීවේය.

¨දවසක් මං මගේ අංකල්ගෙ ගෙදර යමින් ඉන්නකොට ගීතයකට සුදුසු වචන ටිකක් මගෙ හිතට ආවා. මම ඒ ගෙදරට ගිය ගමන්ම කළේ කොළයක් අරගෙන ඒ හිතට ආව වචන ටික ලියපු එක. ඒක තමයි මගේ ගීත රචනයේ ආරම්භය වුණේ. එයින් පසුව දිගටම හිතට ආ වචන මම ගී පද රචනා විදිහට නිර්මාණය කළා.¨

මේ වන විට තුෂාන්ත කාරියවසම් විසින් රචිත ¨පිනිමල් පිබිදෙන අරුණැල්ලේ, හදක හදක් බැදිලා, මකුළු හුයෙන් ගෙතු යුක්තිය, නින්ද කිම නුඹ වෙහෙස වෙන්නේ සහ දොළේ දියට කරදිය එක් වුණා වගේ¨ ඇතුළු ගී පද රචනා 14ක් පමණ ගීත බවට පත්ව ඇත. ඉදිරියේදී තවත් ගීත නිර්මාණ කිහිපයක්ම එළිදක්වන්නට ඔහු බලාපොරොත්තු වන අතර මේ වසර ඇතුළත ගීත 6ක් පමණ නිර්මාණය කිරීමේ අපේක්ෂාවද ඒ අතර වේ.

¨මගේ ගීත ගොඩක්ම එළිදැක්වුණේ යූටියුබ් හරහා. ලැබුුණු ප්‍රතිචාර ඉතා හොඳ මට්ටමක තිබෙනවා. ඒගැන මට සතුටුයි. ඒත් කලාකාරයා කියන වචනයෙන් මාව හඳුන්වනවට මගෙ කැමැත්තක් නැහැ. ඊට හේතුව මම තාමත් ඒ නාමයට සුදුස්සෙක් නෙවෙයි. මම තවමත් මේ කලාව අතපත ගාමින් යමක් කරන කෙනෙක්. මා යා යුතු දුර බොහෝමයි¨

තුෂාන්ත කාරියවසම් පවසන්නේ නිහතමානීවය. කොළඹ මහානාම විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු මේ වන විට කොළඹ ගලදාරි හෝටලයේ ආහාරපාන අංශයේ අධ්‍යක්ෂ ලෙස සේවය කරයි. හෙතෙම සිය වෘත්තිය පිළිබඳ කතාබහ කළේද තෘප්තිමත් සිතිනි.

¨එය වගකීම් සහිත වෘත්තියක්. වගකීමක් සහිත රැකියාවක යෙදී සිටීමේදී එයින් ලැබෙන පීඩනය අවම කර ගැනීමට කලාව මඟින් විශේෂ හැකියාවක් ලැබෙනවා. තමන් කුමන ක්ෂේත්‍රයක රැකියාවක් කළත් කලාවට ආදරේ කරන කෙනෙකුට ඒ වෙනුවෙන් පුංචි වෙලාවක් හොයාගන්න ඇත්තටම අපහසු නැහැ කියලා මම හිතනවා. ඕනෑම මනුස්සයෙක් තුළ සැඟවුණු නිද්‍රාවට පත්වූ දක්ෂතා බොහොමයක් තිබෙන්න පුළුවන්. ගොඩක් අය ඒ දක්ෂතා එළියට ගන්නෙ නැහැ. මම කළේ මගේ සැඟවුණු හැකියාවක් නිද්‍රාවට පත්වෙන්න නොදී ඒ හැකියාවට අවධානයක්, වටිනාකමක් දීමයි.¨

තම හැකියාවන් පිළිබඳ අභිමානයක්, ආත්ම තෘප්තියක් විඳින තුෂාන්ත කාරියවසම්, සිය කලා ජීවිතයට ශක්තියක් වූ සියලු දෙනා පිළිබඳ සිහි කළේ බොහෝ කෘතවේදීවය.

¨ වසන්ත රාජපක්ෂ, ලෙලුම් රත්නායක, සුරත් මදුරංග, හර්ෂ ගුරුගේ, කසුන් ගමගේ සහ සචිත් ලක්ෂාන් ඇතුළු මගේ ගී පද රචනා සඳහා ගායනයෙන් වාදනයෙන් සහයෝගය දුන් සියලු දෙනාට මූලික වශයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ අතරින් ලෙලුම් රත්නායක ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ලෙලුම් රත්නායක කියන්නේ අතිදක්ෂ, ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක්. ඔහු සමඟ වැඩ කිරීමට ලැබීම මට විශාල සතුටක්. මේ වන විට ඔහු සමඟ එක්ව කලා කටයුතු රාශියක් කරගෙන යනවා. ඉදිරියේදී ඔබට ඒ නිර්මාණ දැකගැනීමට හැකිවේවි.¨

Comments