බාල­ගිරි දෝෂ­යට නතු වූ පාසල් සිසුවෝ | Page 2 | සිළුමිණ

බාල­ගිරි දෝෂ­යට නතු වූ පාසල් සිසුවෝ

 

කොවිඩ් සිවුවැනි රැල්ලත්, භයංකර කොවිඩ් ඩෙල්ටා වසංගතයේ පැතිරීමත් සමඟ පාසල් යළි විවෘත කිරිමේ අභියෝගයට සියලලෝම මුහුණ දී සිටිති. කෙසේ හෝ කවදා හෝ මේ අභියෝගයට මුහුණ දිය යුතු වූයෙන් පසුගියදා කොවිඩ් තාක්ෂණික කමිටුවේදි යළි පාසල් විවෘත කිරිම සම්බන්ධ යම් ඉඟියක් පළ වුවද ලිපිය ලියන අවස්ථාව වන විටත් එහි අවසන් තීරණයකට පිවිසියේ නැත. පාසල් විවෘත කිරීම මෙන්ම පාසල් සිසුන්ට එන්නත් කිරීම තවමත් ඇත්තේ සාකච්ඡා මට්ටමේය. පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ප්‍රතිත්තිමය තින්දුව ගැනීම අධ්‍යාපන අමාත්‍යාංශය හරහාත්, එම මාර්ගෝපදේශ හා සෞඛ්‍යමය නීති රීති සැකසීම සෞඛ්‍ය බලධරීහු අතිනුත් සිදුවෙති.

පාසල් විවෘත කිරීම මෙන්ම සිසුන්ට එන්නත් කිරීම කෙසේ විය යුතුද යන්න පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙන්ම ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගම් ඇතුළු විද්වත් බලධාරින්ගේ අදහස් ගෙවි ගිය සතියේ සිකුරාදා පැවැති කොවිඩ් කාර්ය සාධක රැස්වීමේදි සාකච්ඡා කිරීමට හා තීරණයකට එළඹිමට නියමිතව තිබුණි.

මේ සම්බන්ධ විටින් විට පැවැති සාකච්ඡාවන්හිදි මුලින්ම අවධාරණය වූයේ ළමුන් 100 ට අඩු පාසල් ප්‍රථමයෙන් විවෘත කළ හැකි බවය. තවත් යෝජනාවක් මතුවූයේ ළමුන් 200 ට අඩු පාසල්ද විවෘත කිරිමේ හැකියාව පවතින බවති. ඒ අනුව ලංකාවේ සිසුන් 50 අඩු පාසල් 1439 ක්ද, සිසුන් 51-100 දක්වා පාසල් 1523 ක්ද, සිසුන් 101- 200 දක්වා පාසල් 2169 ක්ද වෙයි. මේ අනුව සිදුන් 200 ට අඩු පාසල් 5000 ක් පමණ පළමුව විවෘත කිරීම අපේක්ෂිතය.

“අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට පාසල් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කෙරෙනවා. දරුවන් පාසලට ගෙන එන ක්‍රමවේදයන් අපි සකසමින් ඉන්නවා. මේ සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුවල සහයෝගය ලබා ගන්නවා. අපි මේ වන විට පන්තියක සිසුන් 20 සීමාව තෝරා ගන්නා අතර සිසුන් 20 ට වැඩිනම් දවසක් හැර දවසක් පාසලට ගෙන්වීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි කෙසේ හෝ පාසල් විභාග පැවැත්විය යුතුයි. මේවාට දරුවන් සූදානම් කිරීම කළ යුතුයි. පසුගිය 15 වැනිදා මධ්‍යම රාත්‍රි 12 ට මෙම ඇයැදුම්පත් භාර ගැනීම අවසන් කරන අතර අනිකුත් දරුවන්ට අසධාරණයක් නොවන පරිදි එය ලබා දීමේ වැඩ පිළිවෙළක් සකසනවා. ශිෂ්‍යත්ව විභාගය සඳහා පාසල් 3283 න් පාසල් 944 ක් මේ වන විට සම්පූර්ණයෙන්ම අයැදුම්පත් නිකුත් කර අවසන්. අපොස උසස් පෙළ විභාගය සඳහා පාසල් 354 න් පාසල් 16 ක් මේ වන විට ඇයැදුම්පත් සම්පූර්ණ කර අවසන්. ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය සඳහා පාසල් 2339 ක්ද උසස් පෙළ විභාගය සඳහා පාසල් 338 ක්ද මේ වන තෙක් ඇයැදුම්පත් සම්පූර්ණ කර නැහැ “ ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සි පෙරේරාය.

මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රධාන අභියෝග දෙකක් අභිමුඛව සිටියි. ඒ සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව පාසල් යළි විවෘත කිරීම හා විභාග පැවැත්වීමය. මේ වන විට විභාගයන්ට මුහුණ දෙන දරුවන්ගේ විෂයමාලා ආවරණය වී නැත. ඊට ගුරු අරගලය ප්‍රධාන හේතුවක් වී ඇත්තේය. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලබා දීමට නොහැකි වීම මෙන්ම උසස් පෙළ ශිෂ්‍යත්ව අයැඳුම්පත් නොපිරවීම තවත් බාධාවකි. මේ නිසා අධ්‍යාපන අමාත­්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව විසින් දරුවන්ට අසාධාරණයක් නොව පරිදි ඊට මුහුණ දීමට සූදාම්ය.

“ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ යෝජිත දිනය නොවැම්බර් 14 වැනිදා. උසස් පෙළ පැවැත්වීමේ යෝජිත දින නොවැම්බර් 15 සිට දෙසැම්බර් 10 දක්වා. මේ නිසා ඊට ප්‍රථම පාසල් විවෘත කළ යුතු වෙනවා. උසස් පෙළ ශිෂ්‍යත්ව ඇයදුම්පත් යොමු කිරීමේ අවසන් දිනය තිබුණේ 15 වැනිදා. නමුත් අයැදුම්කිරීමට නොහැකි වු සිසුන්ට යම් සහනයක් අපි ලබා දෙනවා. ඉදිරියේදි උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට එන්නත් කිරිම හරහා විභාග පැවැත්වීම අපිට පහසු වෙනවා...“ ඒ විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිතය.

පාසල් යළි විවෘත කිරීම හා සමගාමීව අවධාරණය වූ කරුණ එන්නත් කරණයයි. මේ වන විට ගුරු විදුහල්පතිවරු අනධ්‍යන කාර්ය මණ්ඩලය සාර්ථකව එන්නත්කරණයට ලක්කර ඇති අතර තවදුරටත් එන්නත්කරණය හසු නොවු පිරිස් මෙන්ම ප්‍රවාහන කාර්ය මණ්ඩලද හැකි ඉක්මනින් එන්නත්කරණයට ලක් කිරීමට අපේක්ෂා කෙරෙයි. ඊට අමතරව අවුරුදු 12-18 ත් අතර සිසුන්ටද එන්නත් ලබා දීමට රජයේ අවධානය යොමු වී ඇත. මේ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත්තේ ෆයිසර් එන්නත වන අතර එම එන්නත් මාත්‍රා මිලියන 4ක් පාසල් ළමුන් සඳහා වෙන් කිරීමටද තීරණය විය. මෙහි මුල් අදියර යටතේ විශේෂ අවශ්‍යතා අවුරුදු 12-18 අතර වූ දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීමේ දිනය කොවිඩ් කාර්ය සාධක කමිටුවේදි තීරණය කිරීමට නියමිතව තිබුණි. ඉන් අනතුරුව අවධානය යොමුව ඇත්තේ මුලින්ම වයස අවුරුදු 17-19 අතර වූ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ටත් පසුව 12-17 ත් අතර වයසේ දරුවන්ටත් එන්නත ලබා දීමටය.

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් පාසල් යළි විවෘත කිරිම හා එන්නත් කිරීමේ වැඩ පිළිවෙළ සම්බන්ධව අදහස් හා නිර්දේශ පසුගියදා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා හරහා අදාළ තාක්ෂණික කමිටුවට ලබා දී තිබුණි. පාසල් යළි විවෘත කිරිම හා සිසුන්ට එන්නත් කිරීම කෙසේ සිදුවිය යුතුද යන්න සිළුමිණට අදහස් දැක්වූ එම සංගමයේ සභාපති හා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ශාමන් රජීන්ද්‍රජිත් පැවැසුවේ සිසුන්ට එන්නත් කිරීම, පාසල් විවෘත කිරිමට බාධාවක් නොවන බවත් රටේ වැඩිහිටි ජනගහනයෙන් 75% ක් පමණ එන්නත්කරණයට ලක් කර ඇත්නම් හා ගුරු විදුහල්පති, අනධ්‍යන හා ප්‍රවාහන කාර්ය මණ්ඩල එන්නත්කරණයට ලක්කර ඇත්නම් පාසල් විවෘත කිරිමට හැකි බවය.

“පාසල් දරුවන්ට එන්නත් කිරිම පාසල් ආරම්භ කිරීමට අත්‍යාවශ්‍ය කරුණක් නෙවෙයි. ලොව පිළිගත් රටවල වයස 12 ට අඩු දරුවන්ට එන්නත්කරණය සිදු කර නැහැ. නමුත් මේ ළමයින්ද පාසල් යායුතුයි. වැඩිහිටියන්ගෙන් 75% කට එන්නත්කරණය සිදු කර අවසන් නම් පාසල් ආරම්භ කිරිමට එයම ප්‍රමාණවත්. ඊට අමතරව සෞඛ්‍ය පුරුදු පිළිපැදීම, පාසලට ළමුන් පැමිණෙන ප්‍රවාහන කාර්ය, ගුරු අනධ්‍යන කාර්ය මණ්ඩල එන්නතකරණය සිදු කිරීම ප්‍රමාණවත්. එසේ නොමැතිව සිසුන්ව එන්නත්කරණය සිදු කර අවසන් වූ පසු පාසල් විවෘත කිරීම තවත් කල් යාමක්. ඒ වගේම පසුගියදා තාක්ෂණික කමිටුවේදී අවධානයට ලක් වු කරුණක් තමයි, සංකූලතා සහිත දරුවන්ට පළමුව එන්නත් කිරීම. නමුත් මෙම දින තීරණය වන්නේ කොවිඩ් කාර්ය සාධක කමිටුව හරහායි. මීට අවශ්‍ය දිගු ක්‍රියා පටිපාටියක් තියෙනවා. අපේ සංගමයත්, බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුවත් මේ වන විට අවශ්‍ය නිර්දේශ ලබා දී තියෙනවා. මුලින්ම එම දරුවෝ කවුරුද යන්න හඳුන ගත යුතුයි. ඒ අනුව ප්‍රතිශක්තිය හීන දරුවෝ, දීර්ඝ කාලීනව ඖෂධ ලබා ගැනීම නිසා ප්‍රතිශක්තිය හීන දරුවෝ, ස්නායු රෝගාබාධ, මාංශ පේශි දුර්වල, පෙනහලු රෝග, පිළිකා රෝගි මෙන්ම නිදන්ගත හෘද රෝගි අවුරුදු 12- 18 ත් අතර දරුවන් තමයි මුලින්ම එන්නත්කරණයට ලක් කරන්නේ. එන්නත්කරණයට දින නියම වූ පසු පියවරෙන් පියවර එන්නත්කරණය ආරම්භ කරන්නේ, ඒ ඒ දරුවා ප්‍රතිකාර ලබා ගන්නා වෛද්‍ය සායනයේදිමයි. තමාගේ සායනය එන දරුවාට එන්නත ලබා දීම අවශ්‍ය බවට අදාළ දරුවාගේ වෛද්‍යවරයා නිර්දේශ කළ යුතු වෙනවා. ඒ වගේම දෙමවුපියන්ගේ කැමැත්ත අවශ්‍යයි. ඒ සියලු දරුවන්ට එන්නත් ලබා දෙන්නේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේයි. අනිකුත් වයස්වල සිසුන්ට එන්නත් කිරීමද මේ වන විට සාකච්ඡාවට බඳුන් වී ඇති කරුණක් පමණයි. පාසල් දරුවන්ට එන්නත් කිරීම බුද්ධියට මුල්තැන දි කළ යුතු කටයුත්තක්. සෞඛ්‍ය අමාත්‍යාංශය, වසංගත රෝග විද්‍යාඥයින්, පවුල් සෞඛ්‍ය කාර්යාංශය එක්ව පුළුල් සාකච්ඡාවට බඳුන් කළ යුතු කරුණක්.“ ඒ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ශාමන් රජීන්ද්‍රජිත්ය.

තවමත් ලොව බොහෝ රටවල් සිසුන්ට එන්නත් කිරිම සාක්ච්ඡාවට බඳුන් වන කරුණකි. ඇමරිකාව වයස අවුරුදු 12 සිට ඉහළ දරුවන් ඒන්නකරණය කළේය. එංගලන්තය සංකුලතා ඇති දරුවන්ට එන්නත ලබා දුන්නද, තවමත් 15-18 ත් අතර අයට එන්නත ලබා දිම පිළිබඳව ඇත්තේ කතිකාවතක් පමණි. එසේම රාජකිය ළමා රෝග විශේෂඥ සංගමයේ විද්‍යාත්මක සංසදය පවා ඉඟි කර ඇත්තේද සිසුන්ට එන්න්කරණය සිදු කළ යුතු බවකි. එමනිසා ලංකාවේ ළමා රෝග විශේෂඥ සංගමය අවධාරණය කර ඇත්තේ ළමුන්ට එන්නත් කිරීමට නිසි ක්‍රමවේදයක් සැකසිය යුතු බවත්, එය හදිසියේ කළ නොහැකි වුවද, කල්ගත නොකර සිදු කළ යුතු කාර්යයක් බවත්ය.

ලොව සෞඛ්‍ය නිර්දේශවලට අනුව සංකූලතා සහිත දරුවන්ට ලබා දීමට නියමිතව ඇත්තේ ෆයිසර් ඒන්නතය. මුල් වටයේ ඒ සඳහා දරුවන් 40,000 ක් පමණ ඇති බවට ගණන් බලා ඇත.

“පාසල් දරුවන්ව එන්නත්කරණය පියවරෙන් පියවර සිදු කළ යුතුයි. එන්නත ලබා දීමේන් රෝගය බෝවීම, රෝහල්ගත වීම් මෙන්ම මරණ අනුපාතය පාලනය වෙනවා. මුලින්ම රෝහල් තුළ එන්නත ලබා දීම ආරම්භ කර පසුව පාසල් මට්ටමින් එන්නත ලබා දීම සිදු කළ හැකියි. දරුවන්ට එන්නත ලබා දීමට දෙමවුපිය කැමැත්ත අවශ්‍යයි. නමුත් අවශ්‍යතාවය දෙමවුපියන් තේරුම්ගත යුතුයි. කොවිඩ් වැලඳුණොත් කලාතුරකින් දරුවන්ට දීර්ඝ කාලීන අතුරු රෝගාබාධයන් ඇතිවිය හැකියි. ඒ වගේම අවුරුදු 12-16 ත් අතර අයට අපි අනුමත කරන්නේ ෆයිසර් එන්නතයි.“ ඒ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරාය.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ෆයිසර් එන්නත ලබා දීම නිර්දේශ කරන අතර මේ සඳහා අවුරුදු 12-19 ත් අතර ලක්ෂ 20 ක පමණ ජනගහනයක් ඇතුළත් වන බවය.

“දරුවෝ අවුරුදු එකහාමාරක පමණ සිට ගෙදර. පාසල් විවෘත කිරිමට පසුබිමක් තිබුණේ නැහැ. කොවිඩ් 4 වැනි රැල්ලේදී දරුවන්ගේ මරණ හා රෝගි සංඛ්‍යාව වැඩිවුණා. ඉදිරියට තවත් වැඩිවිය හැකි නිසා අපි රජයට යෝජනා කළා, 12 ට වඩි දරුවන්ටත් මෙම එන්නත් ලබා දිය යුතුයි කියා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශ කර ඇත්තේ ෆයිසර් එන්නත. මේ නිසා වෙනත් එන්නත් අපිට නිර්දේශ කරන්නට බැහැ. මේ වන විට ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 4 ක් ලැබීමට නියමිතයි. එන්නත් ලැබුණු පසු විශේෂඥ වෛද්‍ය අධික්ෂණය යටතේ එන්නත් කිරීම ආරම්භ කෙරෙනවා....“ ඒ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේය.

මෙම ලිපිය ලියන මොහොත වන විටත් පාසල් යළි විවෘත කිරීම මෙන්ම පාසල් සිසුන්ට එන්නත් කිරීම සම්බන්ධ අවසන් තීරණයකට පැමිණ නොතිබුණි. පසුගිය සිකුරාදා ජනාධිපතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් කාර්ය සාධක රැස්විමට අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සකස් කළ පාසල් විවෘත කිරීමේ නිර්දේශ ඉදිරිපත් කෙරෙන අතර සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාලන්වරයා විසින් පාසල් දරුවන්ට එන්නත් කිරීමේ තීන්දුවලට පැමිණීමට නියමිතව තිබුණි.

 

Comments