ඔන්ල­යින් ගුරු­ව­රුන්ට බාධා කළොත් වැඩ වරදී | සිළුමිණ

ඔන්ල­යින් ගුරු­ව­රුන්ට බාධා කළොත් වැඩ වරදී

මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් ඔස්සේ දැනටත් ඉගැන්වීම් කටයුතු සිදු කරමින් සිටින පාසල් ගුරුවරුන්ට ඉගැන්වීම් කටයුතු නොකරන ලෙසට යම් පුද්ගලයෙක් කුමන ආකාරයේ හෝ තර්ජනයක් කරනු ලැබුවහොත් එකී පුද්ගලයන්ට එරෙහිව ඍජුවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ හැකි බව පොලිස් මූලස්ථානය සිකුරාදා නිවේදනය කළේය.

දුරකථන අංක 119 පොලිස් හදිසි ඇමැතුමට හෝ ළඟම පිහිටි පොලිස් ස්ථානයට ඒ සඳහා පැමිණිලි කළ හැකි බවත්; රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, තර්ජනය කිරීම වරදක් වන බවත් පොලිස් මූලස්ථානය එකී නිවේදනය ඔස්සේ වැඩිදුරටත් අවධාරණය කර සිටී.

අදාළ පැමිණිලි සම්බන්ධයෙන් නොපමාව, නිවැරදිව සහ ඉතා තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහජන ආරක්ෂක ඇමැති ආචාර්ය සරත් වීරසේකර පොලිස්පතිවරයාට සහ අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත. මේ අතර වර්ජනයේ නියැළි ගුරු සංගම් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ  ලේකම්වරයා අතර ඉකුත් බ්‍රහස්පතින්දා පැවැති සාකච්ඡාවකදී අධ්‍යාපන ලේකම් සඳහන් කර ඇත්තේ ඉදිරි මාස දෙක සඳහා ගුරුවරුන්ට රුපියල් 5,000 දීමනාව ලබාදීම සිදු කෙරෙන්නේ ඔවුන් රාජකාරියට වාර්තා කරන අන්දම අනුව බවයි. මේ සඳහා රජයට රුපියල් බිලියන 3ක පමණ මුදලක්ද වැය වීමට නියමිතය.

Comments