ගිනියාව හමුදාවට | සිළුමිණ

ගිනියාව හමුදාවට

අප්‍රිකා මහාද්වීපයේ ගිනියා දේශයේ රාජ්‍ය බලය එරට හමුදාව විසින් අත්පත් කර ගැනීමත් සමඟ මේ වසරේ ලෝකයේ රටවල් අතරින් වාර්තා වූ දෙවැනි හමුදා ආක්‍රමණය සටහන් විය. අඳුරු මහාද්වීපය ලෙස නම් ලබා සිටින අප්‍රිකාවේ රටවල් රාශියක්ම තවමත් ඇත්තේ දුගී බවේ පහත්ම රේඛාවේය. එහෙත් එසේ වුවද පසුගිය සියවසේ ලොව අන්ත දරිද්‍ර රටවල් ලෙස නම් ලැබූ සොමාලියාව නැඟෙනහිර අප්‍රිකාවේ රටවල් කිහිපයක්ම මේ වන විට ශිඝ්‍ර දියුණුවක් ලබා තිබේ. එසේ වුවද බටහිර අප්‍රිකානු කලාපය නම් තවමත් ඇත්තේ අඳුරේය.

 

ගිනියාවද එවන්වූ රටවල් අතරින් එකකි. පසුගිය 6 වැනිදා වන විට ගිනියාව පාලනය කරමින් සිටියේ ජනාධිපති ඇල්ෆා කොන්ඩේය. එහෙත් එදින හදිසියේම ජනාධිපතිවරයා අත්අඩංගුවට ගත් ගිනියා හමුදාව පවසා සිටියේ තමන් රට තුළ හමුදා පාලනයක් ස්ථාපිත කළ බවයි.

එදින සවස් කාලයේ මාධ්‍ය ඔස්සේ ජනතාව අමතමින් ගිනියා හමුදාවේ ලුතිනන් කර්නල් මමඩි ඩොම්බොයා පවසා සිටියේ එක් පුද්ගල රාජ්‍ය පාලනය ගිනියාව තුළ තවදුරටත් ක්‍රියාත්මක නොවනු ඇති බවයි.

‘සොල්දාදුවාගේ කාර්යය වන්නේ රට ආරක්ෂා කිරීමයි. අප තවදුරටත් එක් පුද්ගලයකුගෙ දේශපාලනය මත විශ්වාසය තබන්නේ නැහැ. අප ඒ බව අපේ රටේ ජනතාවට තහවුරු කොට පවසනවා’ යනුවෙන් ලුතිනන් කර්නල් මමඩි ඩොම්බොයා මාධ්‍ය ඔස්සේ පවසා තිබේ.

‘නිදහස ලබා වසර 72ක් ගතවී තුබුණද අප රට ලබා ඇති කිසිම දියුණුවක් නැහැ. ඔබ අපේ රටේ පාරවල ගමන් කර තිබේ නම් ඒවායේ තරම ඔබට දැනෙනන්ට ඇති. අපේ රටේ රෝහල්වල තරම ඔබට දැනෙන්නට ඇති. වසර 72ක් අප නින්දේ පසුවූවා. දැන් අපට නැගී සිටින්නට කාලය හරි’ ගිනියාවේ ජනතාව අමතමින් කර්නල් මාමඩි තවදුරටත් එසේ පවසා තිබේ.

සැබවින්ම ගිනියාව ප්‍රංශයෙන් නිදහස ලබා වසර 72ක් ගතවී තිබුණද, එම රටේ දියමන්ති සහ මැණික් ඇතුළු ස්වභාවික සම්පත් කෙතරම් පැවතුණද එරට අන්ත දරිද්‍රතාවයේ තවමත් ගිලී පවතී. කෙසේ වුවද මේ හමුදා ආක්‍රමණය එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ බටහිර අප්‍රිකානු රටවල එකමුතුව ඇතුළු සංවිධාන රැසක්ම හෙළා දකිමින් නිවේදන නිකුත් කර තිබේ.

එමෙන්ම දැනට අත්අඩංගුවේ සිටින ජනාධිපතිවරයා නිදහස් කරන ලෙසද එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුදා නායකයන්ගෙන් ඉල්ලා තිබේ.

සතියක කාලයක් සඳහා රටට ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළ එරට හමුදා නායකයෝ රටේ දේශසිමාද වසා දැමීමට නියෝග ලබා දී තිබේ.

 

පසුව රටේ සෙසු දේශපාලනඥයන් සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟ සාකච්ඡා වට කිහිපයක්ම පසුගිය සතිය පුරා පැවැත්වීමට කටයුතු කළ හමුදා නායකයන් මේ වන විටත් ස්ථාපිත කළ යුතු වන්නේ කිනම් පාලනයක්ද යන්න සම්බන්ධව සාකච්ඡා පවත්වමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

Comments