ආධ්‍යාත්ම­යත් නිර්මා­ණ­ශී­ලී­ත්ව­යත් එක්තැන් කළ සිත්තරා | සිළුමිණ

ආධ්‍යාත්ම­යත් නිර්මා­ණ­ශී­ලී­ත්ව­යත් එක්තැන් කළ සිත්තරා

 

මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රක්කයට අයත් හඟුරන්කෙත ග්‍රාමයේදී ශ්‍රී ලාංකික පියකුට හා නොර්විජියානු මවකට දාව 1963 අගොස්තු මස 27 වැනිදා මයිකල් පෙරේරා මෙලොව එළිය දුටුවේය. කිංස්ලි ඇලන්සන් පෙරේරා මයිකල්ගේ සීයා වූ අතර, හෙතෙම ධනවත් ව්‍යාපාරිකයෙකි. නවසිය පනහ දශකයේ මහනුවර බොහෝ ව්‍යාපාරිකයින් හා වීදි වෙළෙන්දුන් ගනුදෙනු කළේ ඔහුගේ මුල්‍ය සමාගම සමඟය. හඟුරන්කෙත මහගෙදර වලව්වේ හොලිය බණ්ඩාර ජයසේනවි හේරත් වාසල මුදියන්සේලාගේ ස්වර්ණලතා මහගෙදර කුමාරිහාමි රාජුගේ මිත්තනිය වූ අතර, ඇය පුංචි මයිකල්ගේ ළමා කාලයේ පළමු ගුරුවරිය සහ අධ්‍යාත්මික මඟපෙන්වන්නා ද වූවාය.

කුඩා කල පටන් සිය මිත්තනිය සමඟ බෞද්ධ සිද්ධස්ථානවෙත යාමටත් එහි පැවැත්වෙන උත්සවවලට හා පින්කම්වලට සහභාගි වීමටත් පුංචි මයිකල් ආශා කළේය.

මේ ගිය ගමන් වලදී භික්ෂූන්ගේ දෙපා නැමදීම, පඬු පැහැ සිවූරු වර්ණය, මල්, සුවඳ දුම් හා පහන් සුවඳ, ඔහුගේ මනස වෙනමම ලෝකයකට රැගෙන ගිය අත්දැකීම් විය. පාවහන් නොමැතිව වැලි ඇතිරූ සිසිල් බිම මත පා ඇඟිලිවලින් රටා ලිවීමටත් බර අඩි තබා ඒමත දිවයාමට කුඩා මයිකල් බෙහෙවින් ප්‍රිය කළේය. හේ සංගීතයට හා සිතුවම් ඇඳීමට බෙහෙවින් ප්‍රිය කළේය. මිත්තණියගේ තරුලේ හිඳිමින් වීර කතා, ජාතක කතා, ගම කතා ඇසීමට ද මයිකල් හා නැඟණිය පුරුදුව සිටියේය. මයිකල්ට වසර දහයක් ගෙවුණු තැන සිය නැඟණිය ද සමඟ තම මවගේ මවු බිම වූ නොර්වේ බලා පිටත් විය. ඒ ඔස්ලෝ නුවරට යාබදව පිහිටි මවගේ නිවසටය.

1970 දශකයේ මුල් භාගයේදී ලංකාවේ නොතිබූ පාරිභෝගික භාණ්ඩවලින් පිරුණු නවීන සමාජයක් නොර්වේහී පැවතිණි. එනිසා ශ්‍රී ලංකාවේ නොවිඳි සුඛෝපබෝගී ජීවිතයක් අත් විඳීමට එහිදී පුංචි මයිකල්ට අවස්ථාව ලැබුණි. තම ජන්මයෙන් උරුම වූ හැකියාවන් දියුණු කර ගැනීමට මයිකල් ඔස්ලෝහි පිහිටි ඊනාර් ග්‍රැනුම් කලා පාසලට ඇතුළත් විය. එහිදී ඔහු වඩාත්ම ප්‍රිය කළ චිත්‍ර ශිල්පියා වූයේ ස්පාඤ්ඤ ජාතික සල්වදෝර් ඩාලිය. හේ කෙතරම් ඔහු ප්‍රිය කළේ ද යත් ඔහු කලක් ඩාලි මෙන් වේෂනිරූපණය වී සිටියේය. කලක් යනතුරු ඔහු වාසය කළේ ද ඩාලිමෙන් ය. ඩාලිගේ සිතුවමේ නිරූපිත අධිසත්තාවාදී ගුණය ඔහුගේ අධ්‍යාත්මික ජීවිතයට බෙහෙවින් සමීප වීම ඊට හේතුවය. ඔහු නොර්වේ අති සුඛෝපබෝගී දිවිපෙවතක් ගතකළ ද හේ හිතින් සිටියේ හඟුරන්කෙත මිත්තණියගේ තුරුලේය. හෙතෙම හැම සිහිනක් තුළම මෙරට වාසය කළේය. මෙනිසා අධියථාර්ථවාදය ප්‍රකට කළා වූ ඩාලිගේ සිතුවම් ඔහුගේ මනෝභාවය ප්‍රකට කිරීමට බෙහෙවින් ඉවහල් වූවා යැයි සිතිය හැකිය.

ඔහු කලා පාසලට ගොස් සවස ඔස්ලෝහී තිබූ යෝගා ආශ්‍රමයකට ද ගියේය. ඒවනවිට මයිකල්ට වයස අවුරුදු දාහතක් දහඅටක් පමණ විය. එහිදී කලාවට ආධ්‍යාත්මික දේ ද එකතු විය යුතු බව ඔහුට හැඟිනි. බොහෝ දෙනා සිතුවම් ඇන්ද ද ඒහා සමානව ජීවිතය විඳිමින් නිර්මාණශීලී නොවන බව ඔහු දුටුවේය. බොහෝ දෙනා ආතතියක හිඳිමින් ඒ ආතතිය පිට කරනු වස් නිර්මාණකරණයේ යෙදෙන බව ඔහුට පෙණිනි. එය දේශපාලනික හෝ පෞද්ගලික ක්‍රියා සන්තතියක් නිසා සිදු විය හැකි මුත් ඉන් සිදු වන්නේ කලාකෘතිය පටු සීමාවකට ගොදුරුවීමය. නමුත් ඔහුට අවශ්‍ය වූයේ ආධ්‍යාත්මික අවබෝධය හා නිර්මාණශීලීත්වය එක්තැන් කිරීමටය. මෙනිසා හෙතෙම භෞතිකය හා ආධ්‍යාත්මය අතර දෝලනය විය. වසර දහයක් ගෙවුණු තැන නෝර්විජීයානු ජීවිතයට සමුදුන් මයිකල් 1982 දී පෙරළා ලංකාවට පැමිණියේය.

දියුණු කාර්මික ධනවාදී සමාජය හා නව වැඩවසම් සමාජය යන දෙලොවක් අතර ජීවිතයක් උරුම වූ මයිකල් වඩ වඩා බාහිර ලෝකයෙන් ඈත්ව තමා ඇතුළතම වූ ලෝකයට ගමන් කරමින් සිටියේය. 1983 දෙසැම්බරයේදී මයිකල් පෙරේරා තම පළමු සිතුවම් දැක්ම කොළඹ ලයනල්වෙන්ට්ඩ් හී එළිදැක් වීය. එහි ප්‍රධාන ආරාධිතයින් ලෙස පැමිණියේ එවක අමාත්‍යවරයකු වූ ගාමිණි දිසානායක සහ ඔහුගේ බිරිඳය. මෙම ලාංකේය නොර්විජීයන් දෙමුහුම් ජීවියාගේ විකාර රූපී සිතුවම් තුළින් හේ නව ඩාලි කෙනකු දුටුවේය. මයිකල් බෙහෙවින්ම ප්‍රිය කළ ලේකඛයා වූයේ හර්මන් හෙසේය. හෙසේගේ සිද්ධාර්ථ සහ ඔහුගේ ජීවිත කතාව බඳු ඩේමියන් නවතාවට හේ බෙහෙවින් ආශා කළේය. එසේම ඔහු අපරදිග රොක් සංගීතයට බෙහෙවින් ප්‍රිය කළේය.

රාජුගේ දෙවන සිතුවම් දැක්ම 1984 දී මහනුවර එලයන්ස් ෆ්‍රැන්කේස් හිදී පැවැත් විණි. මෙරට ප්‍රකට මූර්ති ශිල්පියකු හා සිතුවම් ශිල්පියකු වූ තිලක් අබේසිංහ ද එය නැරඹීමට පැමිණ සිටියේය. රාජුගේ තෙවන සිතුවම් දැක්ම 1986 ජනවාරි මස කොළඹ ලයනල් වෙන්ඩ්ට් හිදී පැවත්විණි. එයද පෙර ලෙසම අධිසත්තාවාදී ගුණය ප්‍රකට කළ සිතුවම් ප්‍රදර්ශනයක් විය.

පිටස්තරයකු එසේත් නැති නම් බොහීමියන් ජීවිතයක් ගත කළ මයිකල්ට නුවරට පැමිණි ස්වාමි සචිදානන්දන් මුණ ගැසිණි. මෙම හමුව සමඟ මයික්ල්ගේ ජීවිතය වෙනස්ම මඟකට යොමු කළේය. ඔහුගේ විලාසිතාමය ඇඳුම් පැලඳුම් පමණක් නොව කතාලතාවද වෙනස් වන්නට විය. ප්‍රඥාව වැඩීමේ තත්පර වූ හෙතෙම සරල බව තුළින් අභ්‍යන්තරය දැකීම කෙරෙහි නැඹුරු විය. මෙම ස්වයං-පිළිගැනීම එකවරම ඔහු වෙත පැමිණියේ නොවේ. සිතුවම් කරණයට වසර තුනක් සමුදී ප්‍රඥාව සෙවීමේ විවිධ මාවත් හෙතෙම අත්හදා බැලීය. විවිධ යෝග ක්‍රම, මනෝවිශ්ලේෂණ ‘ඖෂධ‘ වර්ග ගනිමින්, බොහීමියානු ජීවිත ගෙවූ මිතුරන් සමඟ ඔහු ජීවත් විය. නමුත් අවසානයේ ඉන් ඵලක් නොවන බව වටහාගත් ඔහු ඒවායින් ඈත් විය. නිස්කලංක හුදකලාව විසිය හැකි සහ ලස්සන ස්වභාවික ස්ථානවලට වී හේ කාලය ගත කළේය. දකුණු වෙරළට ඔබ්බෙන් පිහිටි තැප්‍රොබේන් දූපත, හපුතලේ කඳුකරය පරිසරයේ පිහිටි කුඩා නිවසක සහ මහනුවර ආසන්නයේ කිසිවකු නොසිටි වලව්වකට වී හෙතෙම හුදකලාව ජීවත් විය.

මේ කිසිදු දෙයකින් “සත්‍යය” සෙවිය නොහැකි බව වටහාගත් මයිකල් භගවාන් ශ්‍රි රාජනීෂ්ගේ(ඕෂෝ) දේශනා කෙරෙහි යොමු විය. පූනාහී පිහිටි ඕෂෝ අශ්‍රමය වෙත ගියේය. එහි දී සංගීතමය සහ නර්තනමය භාවනා වැඩසටහන්වලටත් ඕෂෝගේ දේශනවලටත් යොමු හෙතෙම මනසේ ගූඪමය ස්වභාවය අවබෝධ කර ගැනීමේ මාර්ගය වෙත ළඟා වූයේය. එතැන් පටන් ඔහු නව ජීවියකු විය. අලුත් උපතක් විය. මයිකල් පෙරේරා රාජූ දේව්දාස් විය. මෙතෙක් ඔස්ලෝ කලා පාසලේ දී තමන් විශ්මයට පත් කළ සැල්වදෝර් ඩාලි ඔහුට තවදුරටත් අරුමයක් නොවීය. ක්‍රිෂ්ණ මූර්ති දේශන හොඳින් ශ්‍රවණය කළ රාජු සාම්ප්‍රදායික ආගම මඟින් මිනිසුන් බෙදා වෙන් කිරීම මිස සමඟිය වර්ධනය කළ නොහැකි බව වටහා ගත්තේය. ඔහු ආගම් අත්හලේය. ඕෂොගේ ඉගැන්වීම් තුළින් ජීවිතය සහ අධ්‍යාත්මය අතර ඇති සම්බන්ධය මනාව අවබෝධ කරගන්නා රාජු ආධ්‍යාත්මය තුළින් නව භාවයන් ප්‍රකට කරන නිර්මාණ ශිල්පියකු බවට පත්විය. අනතරුව ඔහු අත සිතාරය ගිතාරය සහ තෙලිතුඩ එකලෙස රිද්මයානුකූල විය.

තවදුරටත් ඔහු අතින් පෙරමෙන් මායාව සැබෑවක් ලෙස නිරූපණය කරන අධිසත්තාවාදී භාවයන් විරේචනය නොවිනි. ඒ වෙනුවට ස්වභාවයෙහි මායාව නිරාවරණය කෙරිනි. භෞතිකව අප දකින බොහෝ දේ තුළින් සත්‍ය නිරාවරණය කිරීමට රාජුගේ තෙළිතුඩට හැකි විය. එය දැල්වෙන පහනක්, පැළැටියක්, සෙල්ලිපියක්, වාද්‍ය භාණ්ඩයක්, මිනිස් රූපයක්, ක්වන්දයන්, ඉරිතලාගිය බුදු රැවක්, ගලා යන දිය පහරක්, දිය සුලියක්, වලාකුළක්... වැනි ඕනෑම දෙයක් විය හැකිය. එය කලාව සහ ජීවිතය අතර සහ සම්බන්ධය ගැන සමකාලීන බටහිර කලා කතිකාවන්ට පෙරදිගින් නව මානයක් යෝජනා කිරීමක් බඳුවිය.

තමා වෙත චිත්‍ර ඉගෙනීමට ආ මොරටු සරසවියේ උපාධිධාරිණියකු වූ රසිකා ජයතිලක සමඟ ප්‍රේමයෙන් වෙළුනේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් රුද්‍රාණි සහ රාවණ ජන්මය ලැබීය. අනතුරුව දරුදෙදෙනාද රැගෙන ඉන්දියාවේ පූනාහී පිහිටි ඕෂෝ කොමියුනය වෙත ගියේය. රාජු දරුවන් දෙදෙනා සමඟ පෙරළා මෙරටට පැමිණියේය. රාජුගේ බිරිය වූ රසිකා ජයතිලක යළි රාජුගෙන් වෙන්විය. මේ වන විට ඇය විවාහ වී ඉන්දියාවේ වාසය කරයි.

රාජු 1995 මාර්තු 21 වෙනිදා කොළඹදී බෙයාර්පුට් හිදී සිතුවම් ප්‍රදර්ශනයක් පැවත් වීය. ඊට ප්‍රකට ලේඛකයකු සහ ලාංකීය කලාව පිළිබඳ ගැඹුරු විචාරකයකු වූ මහාචාර්ය එස්. බී. දිසානායකයන්ද සහභාගි විය. මෙහි විශේෂත්වය වන්නේ ඒ වන විට රාජුගේ සිතුවම් ශෛලිය මුළුමනින්ම වෙනසකට ලක් වී තිබීමය. එය ජීවිතය වෙළාගෙන පවතින සත්‍ය පෙන්වන කැඩපතක් බඳු විය. එහි රේඛාව රිද්මය වර්ණ සංයෝගය ආදී සෑම දෙයක්ම යථාව තුළ සැඟව ගැඹුරු සත්‍ය විවර කර පෙන්වන්නක් විය. අනෙක් සිතුවම් ශිල්පීන්ගේ නිර්මාණ තුළ පෙනෙන ආතතිය ඒ තුළ නොවීය. යෝග අභ්‍යාසය තුළින් ඇති වූ සාධනාව (සමාධිය) ඊට පිටු බලය විය. අනෙකුත් කලා ශිල්පීන් මෙන් බාහිරව දේට සිත යොමු කර සිය සාධනාව අහිමි කරගන්නට හෙතෙම උත්සාහ නොකළේය. එනිසා ඒ දේවල් පිටතින් තබා දකින්න ඔහුට හැකි විය. ඔහු යොමු වූයේ තමා තුළටමය. ඒ තුළින් තමාව දකින්න උත්සාහ කළේය. එහෙත් බොහෝ දෙනා පැටලෙන්නේ මේ බාහිර කාරණා එක්කය. එවිට ආධ්‍යාත්මය අහෝසි වී අප තුළ පවතින නිර්මාණශීලී ගුණයට පමණක් ඉඩ ලැබේ. එය දෙපයින් යාමට හැකියාව තිබියදී තනි කකුලෙන් යාමක් වැනිය. ඉන් කළ හැක්කේ ‘මම ආර්ටිස්ට් කෙනෙක්’ යැයි පුරසාරම් දෙඩවිය හැකි අනන්‍යතාවක් සාදා ගැනීම පමණය. නමුත් කලාව පූර්ණ ලෙස ප්‍රකාශ වීමට නම් ආධ්‍යාත්මික අවබෝධය අත්‍යාවශ්‍ය බව රාජු තරයේ අදහයි.

ඔහුගේ දියණිය රුද්‍රාණි දේව්දාස්ද මේ වන විට සිය පියාගේ මඟ යමින් සිතුවම් කලාවට යොමු වී සිටිති. රාවණ පුතු මේ වනවිට වාසය කරන්නේ ඔස්ට්‍රෙලියාවේය.

2004 සිට මේ දක්වා ඔහු ප්‍රසිද්ධ සිතුවම් දැක්මක් පවත්වා නැත. රාජු සංගීත නිර්මාණකරණයටද ලැදියාවක් දක්වන්නෙකි. ලයනල් වෙන්ට්ඩ්ගේ පියානෝව වාදනය කිරීමට පවා හේ වාසනාවන්ත විය. තම සිතාරය සියතින්ම නිමාවගෙන විවිධ රොක් සංගීතය ඔස්සේ අධ්‍යාත්මික නිර්මාණශීලීත්වය ප්‍රකට කරයි. ඍෂි ශ්‍රී ස්වාමි සිවානන්දගෙ ශිෂ්‍යයෙක් වූ හෙතෙම ශ්‍රී ස්වාමි හෙරට ආරම්භ කළ තපෝවන යෝගී ආශ්‍රමයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. කොවිඩි නිසා මඳ කාලයකට නවතා තිබෙන එහි කටයුතු මේ තත්වය පහ වූ වහාම නැවත ආරම්භ කරන බව හෙතෙම පැවසීය.

ඔහු මේ සියලු කටයුතුවල නියැලෙන්නේ මහනුවර සචිනානන්ද තපෝවන ආශ්‍රමයේ රැඳී සිටිමිනි.

Comments