හණිකට රටට හඳුන්වා දිය යුතු මඬ පාපන්දු | සිළුමිණ

හණිකට රටට හඳුන්වා දිය යුතු මඬ පාපන්දු

 

‘සෑම ක්‍රීඩා සංගමයක හෝ වෙනයම් සංවිධානයක ප්‍රමුඛ තනතුරු හිමි කර ගැනීමට යන්නෝ අවසානයේ එක් තැනක නතර වෙති. ඒ තම ප්‍රතිවාදියා සතු දුර්ගුණ හුවා දක්වමිනි. එය එක්තරා ආකාරයකට මඩ ගැසීම කැයි කියනු ලැබේ. මඩ ගැසීම වැඩිම ක්ෂේත්‍රයක් ලෙස පාපන්දු සැලකිය හැකිය. මේ ඒ මඩ පාපන්දු ගැන කතාවකි.’

ලෝකය පුරා පැවැත්වෙන ජනප්‍රිය ක්‍රීඩාවන් අතරින් අප දන්නා අසා පුරුදු ක්‍රීඩාවන් කිහිපයක් ම තවමත් අපේ රටේ පැවැත්වෙන්නේ නැත. එවැනි සමහර ක්‍රීඩාවන් නොපැවැත්වෙන්නේ දේශගුණික හේතූන් නිසා ය.

නමුත් මෙතෙක් අප අසා හෝ දැක නැති ශ්‍රී ලංකාවට හඳුන්වා දිය හැකි නම් රට තුළ අතිශය ජනප්‍රියත්වයක් හිමි කර ගත හැකි ක්‍රීඩාවන් ඇති බවත් එම ක්‍රීඩාව වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලියක් මෙන්ම ලෝක ශූරතා තරගාවලියක් ද පැවැත්වෙන බවත් ඔබ නොදන්නවා විය හැකි ය.

මේ ක්‍රීඩාව වෙනත් ජනප්‍රිය ක්‍රීඩාවකින් ප්‍රතිනිර්මාණය වූවකි. එම මුල් ක්‍රීඩාව ශ්‍රී ලාංකිකයන් ද හොඳින් හඳුනන පාපන්දු ය.

පාපන්දු ක්‍රීඩාවේ නියැළෙන රටවල් 210 අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 205 වැනි තැන ය. මේ නිසා ජාත්‍යන්තරය හා සසඳන විට පාපන්දු ක්‍රීඩාවේ අපේ හැකියාවන් පවතින්නේ ඉතා පහළ මට්ටමක ය. එම නිසා මේ ක්‍රීඩාව පාපන්දු ක්‍රීඩාව හා සලකා බලන විට ලංකාව තුළ ජනප්‍රිය කරවීමටත් ව්‍යාප්ත කිරීමටත් පහසු විය හැකි ය.

ඉංග්‍රීසි භාෂාවෙන් මේ ක්‍රීඩාව හඳුන්වා ඇත්තේ "Swamp Football" නමිනි. එබැවින් ‘මඩ පාපන්දු’ ලෙස හඳුනා ගැනීම අපට පහසු ය. වඩා සුදුසු ය.

මෙම මඩ පාපන්දු ක්‍රීඩාවේ උපත සිදුවී තිබෙන්නේ ෆින්ලන්තයේ ය. එරට හිම මත පැවැත්වෙන මැරතන් තරගවලට සහභාගී වන ක්‍රීඩකයන් මෙන්ම හමුදා භටයින් ද ඔවුන්ගේ දරා ගැනීමේ ශක්තිය ඉහළ නංවා ගැනීමට භාවිත කළ උපක්‍රමයක් අනුසාරයෙන් මෙම ක්‍රීඩාව නිර්මාණය වූයේ ය. එම උපක්‍රමය වූයේ බරින් වැඩි සපත්තු පැලඳ ගොහොරු බිමක ධාවනයේ නිරත වීම ය. පසුව එය විනෝදාංශයක් බවට පරිවර්තනය කර ගනිමින් ඔවුන් මඩ වගුරුවල පාපන්දු ක්‍රීඩාවේ නියැළී තිබුණේ ය.

පසු කලෙක මඩ පාපන්දු තරගාවලි ෆින්ලන්තය පුරාම සංවිධානය කෙරුණු අතර විශේෂයෙන් ම කයිනූ පළාතේ එම ක්‍රීඩාව ජනප්‍රියම ක්‍රීඩාවක් බවට පත්විය. ෆින්ලන්ත ජාතික මඩ පාපන්දු තරගාවලිය 1998 වසරේ පවත්වනු ලබන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

ජිර්ති වැනනේන් මෙම තරගාවලිය හඳුන්වා දුන් තැනැත්තා ය. ඒ නිසා ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ "The Swamp Baron" නමිනි.

මඩ පාපන්දු රටින් රට ව්‍යාප්ත වීම ආරම්භ වූයේ මෙම ක්‍රීඩාව වෙනුවෙන් පිහිටුවා ගන්නා ලද ස්වැම්ප් සොකර් යූ.කේ. ලිමිටඩ් නමැති ආයතනයේ මූලිකත්වයෙනි. ස්කොට්ලන්තයේ සිට ක්‍රියාත්මක වූ මෙම ආයතනය ලෝක කුසලාන මඩ පාපන්දු තරගාවලි හා ලෝක ශූරතා මඩ පාපන්දු තරගමාලා සංවිධානය කිරීමේ බලයලත් ආයතනය ය. එහි සභාපතිවරයා ස්ටුවර්ට් මිලර් ය.

ෆින්ලන්තයේ මඩ පාපන්දු තරගාවලිය

ෆින්ලන්තයේ පළමු ජාතික මඩ පාපන්දු තරගාවලිය ආරම්භ වුණේ 1998 වසරේ ය. ඒ කණ්ඩායම් 13 ක සහභාගීත්වයෙනි. එහෙත් පළමු මඩ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ස්කොට්ලන්තයේ ඩුනූන් හි පවත්වා ඇත්තේ කණ්ඩායම් 43 ක සහභාගීත්වය සහිතව ය. ඒ සඳහා දින 03ක කාලයක් සංවිධායකයන් විසින් යොදාගෙන තිබුණි.

අනතුරුව 2009 වසරේ රටවල් 25 ක කණ්ඩායම් 100 ක් මෙම තරගාවලියට සහභාගී වී ඇති අතර ඊට එංගලන්තයේ කිරි ආශ්‍රිත ආහාර නිපදනව FRLI ආයතනය අනුග්‍රහය ලබාදීමට ද 2013 හා 2014 යන තරගාවලියට එරට ප්‍රකට ආඩ්බෙක් සමාගම අනුග්‍රහය ලබාදෙන්නට ද ඉදිරිපත්ව සිටියේ ය.

මඩ පාපන්දු ක්‍රීඩාව රටින් රට සංචාරය කිරීම අරඹමින් 2015 වසරේ සිට චීනය (බීජීං) තුර්කිය (ඉස්තාන්බුල්) හා ඉන්දියාව (මුම්බායි) වෙත ගමන් කරනු ලැබී ය.

ශ්‍රී ලංකාවට මඩ පාපන්දු

ශ්‍රී ලංකාව ද මෙම මඩ පාපන්දු ක්‍රීඩාව ආරම්භ කිරීමට ඉතා සුදුසු රටකි. ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉතා සුදුසු රටකි. ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල මුදලක් වැය කිරීම අවශ්‍ය නොවීම, මඩ සහිත ක්‍රීඩාංගණ සකසා ගන්නට පහසු වීම ඊට ප්‍රධාන හේතූන් ය.

එම ක්‍රීඩා පිටියක දිග මීටර් 60 කි. පළල මීටර් 30 කි. එක් පිලකට දැල් රකින්නාද සමඟ ක්‍රීඩකයන් 06 දෙනෙකු ඇතුළත් විය යුතු ය. අතිරේක ක්‍රීඩකයන් පිළිබඳ සීමාවක් නැත. එසේම ඕනෑම අවස්ථාවක අතිරේක ක්‍රීඩකයෙකු ක්‍රීඩා පිටියට ආදේශ කළ හැකි ය. සෑම තරගයක්ම විනාඩි 10 බැගින් වූ කොටස් දෙකකින් යුක්ත ය.

ජාත්‍යන්තර මඩ පාපන්දු තරගමාලාවන් පවත්වනු ලබන්නේ මිශ්‍ර, පිරිමි, කාන්තා, විනෝදජනක පිරිමි හා ප්‍රවීණ පිරිමි යන කාණ්ඩ පහ ඔස්සේ ය. මිශ්‍ර තරග සඳහා අවම වශයෙන් එක් පිලකට ක්‍රීඩිකාවන් දෙදෙනකු ඇතුළත් වීම අවශ්‍ය ය. එහෙත් දැල රැකීම ක්‍රීඩිකාවන්ට තහනම් ය. ප්‍රවීණ පිරිමි තරග පවත්වනු ලබන්නේ අවුරුදු 40 න් ඉහළ කාණ්ඩය වෙනුවෙනි.

මෙහි නීතිරීති ද බොහෝ දුරට සමාන වන්නේ පාපන්දු ක්‍රීඩාවට ය. නිදහස් පහරක් එල්ල කරන විටක ප්‍රතිවාදීන් ක්‍රීඩකයන් රැඳී සිටිය යුත්තේ මීටර් 3 ක දුරක ය. දැල රකින්නාට පන්දුව අතින් ඇල්ලීමට අවසර ඇත්තේ ගෝල සීමාවේ මීටර් 5 ක වපසරිය තුළ පමණි. එලෙස අල්ලා ගන්නා පන්දුවක් එක එල්ලේ ප්‍රතිවාදී දැල තුළට යවා ගෝල වාර්තා කළ නොහැකි ය.

තරගයක් ආරම්භයේ දී තමන් වෙත එන පන්දුවක් දැල රකින්නාට අතින් අල්ලා ගැනීමට අවසර ලැබෙන්නේ එය ප්‍රතිවාදියෙකුගේ ස්පර්ශයෙන් පසුව පමණි. නිදහස් පහර කෝනර් පහර හා පිටියෙන් ඉවතට යන පන්දු නැවත පිටියට එක් කළ යුත්තේ ඩ්‍රොප් කික් නමැති පා පහර උපයෝගී කර ගනිමිනි. එහෙත් එවන් පහරකින්ද එක එල්ලේ ගෝල වාර්තා කිරීම තහනම් වේ. පාපන්දු ක්‍රීඩාවේ දී ක්‍රියාත්මක වන ඕෆ් සයිඩ් නීතිය මඩ පාපන්දු ක්‍රීඩාවට අදාළ නැත.

ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන සෑම ක්‍රීඩාවකම වාගේ පාලකයන් අතර මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරද සිදුවන මඩ ගසා ගැනීම් දැන් නිතර නිතර අපට අසන්නට ලැබෙන පුවත් බවට පත්ව ඇත. අපේ බොහෝ ක්‍රීඩාවන් පස්සට ගමන් කරන්නේ මේ හේතුව නිසා ය. එබැවින් මඩ නෑම තුළින් වේගයෙන් ඉදිරියට යා හැකි මඩ පාපන්දු ශ්‍රී ලංකාවට සුදුසුම ක්‍රීඩාවකි.

 

Comments