සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයට ලොවට දැනෙන්න ක්‍රීඩාවෙන් දුන් ප්‍රති ප්‍රහාරය | සිළුමිණ

සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයට ලොවට දැනෙන්න ක්‍රීඩාවෙන් දුන් ප්‍රති ප්‍රහාරය

 

මහා විද්‍යාඥ අයිසෙක් නිව්ටන් කියන ආකාරයට සෑම ක්‍රියාවකටම ඒ හා සමාන වූ ද ප්‍රතිවිරුද්ධ වූ ද ප්‍රතික්‍රියාවක් තිබේ. එය විද්‍යාව තුළ යථාර්ථයකි. බෞද්ධ දර්ශනයට අනුව හේතු ඵල වාදයෙන් ඉගැන්වෙන්නේත් සෑම ක්‍රියාකවකට ඵලයක් පවතින බව ය. එය නිව්ටන් නියමන්ට වඩා ඔබ්බට ගොස් සෑම යහපත් ක්‍රියාවකටම යහපත් ඵලයක් වශයෙන් එය සියුම්ව බෙදීමකට ලක්කර තිබේ. එහෙයින් යම් ක්‍රියාවකට ප්‍රතිචාර දක්වන්නට යෑමේ දී සීමා පනවා ගන්නට යැයි බෞද්ධ දර්ශනයේ දී කියා දෙන්නේ එහෙයිනි. ඒ මනෝ භාවයන්ගේ ස්වභාවය සලකා බලද්දී ය. එහෙත් දසක දෙකක් සැපිරෙන නිව්යෝර්ක් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකානු සිවිල් සමාජය එකට එක කළේ ය. ඒ ක්‍රීඩාව යොදා ගනිමිනි. මේ ඒ ගැන ය.

මීට වසර 20 ක ට පෙර අමෙරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය සහ ආරක්ෂක මූලස්ථානය ඉලක්ක කර ගෙන අල්කයිඩා ත්‍රස්තවාදීන් විසින් සිදු කළ දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරය 21වැනි සියවසේ ලොව සිදු වූ බිහිසුණුම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකෙයි. සමස්ත ලෝකය ම කම්පාවට පත් කළ එම ප්‍රහාරයෙන් අමරිකාවේ ආර්ථික, දේශපාලනික, සාමාජයීය ආදි ක්‍ෂේත්‍ර බොහෝමයකට දැඩි හානි සිදු වූ අතර, ක්‍රීඩාවට එල්ල වූ බලපෑමද සුළුපටු නොවේ. මෙම ලිපිය, 09/11 ත්‍රස්ත ප්‍රහාරයෙන් ක්‍රීඩාවට ඇති වූ බලපෑම ගැන ය.

ESPN ක්‍රීඩා නාලිකාවේ ප්‍රතිචාරය

ESPN ක්‍රීඩා නාලිකාව අමෙරිකා එක්සත් ජනපදයේ සිට ලොව පුරාම විහිදුවා හරින ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා නාලිකාවකි. සිය රට දරුණුතම ඛේදවාචකයකට මුහුණ පා තිබෙන මොහොතක ESPN ක්‍රීඩා නාලිකාව ද කවර ආකාරයක හෝ ප්‍රතික්‍රියාවක් දැක්විය යුතු බව ESPN ක්‍රීඩා නාලිකා ප්‍රධානියාගේ අදහස විය. ඒ අනුව ESPN ක්‍රීඩා නාලිකාව සිය ක්‍රීඩා විකාශයන් පැයක කාලයක් අත්හිටුවීමට තීරණය කෙරිණි.

ක්‍රීඩා විකාශයන් අත්හිටුවමින් ලබා ගත් හෝරාව ත්‍රස්තවාදී ප්‍රහාරය, ප්‍රහාරය තුළින් ක්‍රීඩාවට සිදුව ඇති බලපෑම, හදිසි ප්‍රහාරය හේතුවෙන් අත්හිටුවා ඇති අමෙරිකාවේ ප්‍රධාන ක්‍රීඩා තරගාවලි ආදිය පිළිබඳ ව ක්‍රීඩා ලෝලීන් දැනුම්වත් කිරීම උදෙසා භාවිත කිරීමට ESPN ක්‍රීඩා නාලිකා බලධාරීහු කටයුතු කළහ.

හදිසියේ කල් දැමුණු තරගාවලි

2001 සැප්තැම්බර් 11 වැනිදා, අමෙරිකා එක්සත් ජනපදයේ ස්ථාන කිහිපයක දී පවත්වන්නට නියමිත ව තිබූ ක්‍රීඩා තරගාවලි රැසක් ම ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් කල් තබන්නට තීරණය කෙරුණි. ඇතැම් තරගාවලි අවලංගු කර ඒවායේ මුදල් ත්‍රස්ත ප්‍රහාර‍යෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ප්‍රදානය කරන්නට ද සංවිධායකවරු කටයුතු කළහ. මේජර් ලීග් බේස් බෝල් තරගාවලිය, මයිනර් ලීග් බේස් බෝල් තරගාවලිය, මේජර් ලීග් පාපන්දු තරගාවලිය, සිල්වරාඩෝ 350 සුපර් ක්‍රොස් තරගාවලිය, කැනේඩියානු පාපන්දු ලීග තරගාවලිය, යූ.ඒ.එෆ්.ඒ චැම්පියන්ස් ලීග් තරගාවලිය, යූ.ඊ.එෆ්.ඒ ලීග් තරගාවලිය ඇතුළු තරගාවලි රැසක් එදින නොපැවත්විණි.

 

කම්බැක් සීසන්

ප්‍රහාරය සිදු වූ දිනයේ පවත්වන්නට නියමිත ව තිබූ ක්‍රීඩා තරගාවලි සියල්ල ම පාහේ අවලංගු කෙරුණත් නැවතත් එරට ක්‍රීඩා තරග නව මුහුණුවරකින් ආරම්භ කිරීමට අමෙරිකානු ක්‍රීඩා බලධාරීහු කටයුතු කළහ.

මේ අනුව comeback Season after 9/11 sports නම් තේමාවෙන් නැවතත් ක්‍රීඩා තරගාවලි ආරම්භ කිරීමේ පළමු අදියර ලෙස විශාල ප්‍රේක්ෂක සහභාගීත්වයක් සහිත ව 2001 සැප්තැම්බර් 20 වැනි දා හොකී තරගාවලියක් සංවිධානය කිරීමට බලධාරීහු කටයුතු කළෝ ය. ඒ සඳහා පන්දුව යොමු කරමින් පිටිය විවෘත කළේ එවකට අමෙරිකානු ජනාධිපති වූ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ය. මෙම තරග‍යේ දී නිව්යෝර්ක් නුවර පොලිස් දෙපාර්තමේන්තුවේ අකුරු (NYPD) සහිත හිස්වැසුමක් පැලඳ සිටි මයික් පියාසේ ක්‍රීඩකයා කාගෙත් අවධානයට ලක් විය. එහිදී ප්‍රහාරය සිහි කිරීම පිණිස විනාඩියක නිහඬතාවක් පැවැත්වුණු අතර ක්‍රීඩකයෝ සහ රැස්ව සිටි පිරිස කළු පටි පැලඳ සිටිය හ.

 

ප්‍රහාරයෙන් මියගිය ක්‍රීඩකයෝ

ත්‍රස්ත ප්‍රහාරයෙන් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට දිවි අහිමි වී තිබුණි. පාපන්දු ක්‍රීඩකයෙක් වූ බ්‍රෙනට් වුඩ්බෝල් සහ රග්බි ක්‍රීඩකයෙක් වූ මාක් බින්හෑම් ඇතුළු ක්‍රීඩකයන් මේ අතර කැපී පෙනිණි.

 

9/11 අනුස්මරණ කෞතුකාගාරය

සැප්තැම්බර් 11 ප්‍රහාරය සිහි ගැන්වීම සඳහා 2014 වසරේ දී නිව්යෝක්හි ග්‍රීන්විච් වීදියේ 9/11 නමින් කෞතුකාගාරයක් ඉදි කෙරුණේ ය. එහි ක්‍රීඩාව වෙනුවෙන්ද කොටසක් වෙන් කෙරුණි. ප්‍රහාරයෙන් පසු පළමුවෙන්ම පැවති හොකී තරගාවලියේ ක්‍රීඩකයන් භාවිත කළ ඇඳුම්, ක්‍රීඩා උපකරණ, ප්‍රේක්ෂකයන් අත තිබූ ජය දද, පුවරු සහ ඡායාරූප ආදිය තැන්පත් කර එම කෞතුකාගාරය සකස් විණි. මයික් පියාසේ පැලඳ සිටි සුවිශේෂී හිස්වැසුම ද අද එහි යන්නකුට දැකගත හැකි ය.

පසිඳු මිහිරාන් රැටියල

Comments