ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටය ඔක්තෝබරයේ ඇරඹෙයි | Page 2 | සිළුමිණ

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටය ඔක්තෝබරයේ ඇරඹෙයි

 

කොවිඩ් වසංගතය මැද වුව ද ක්‍රීඩා පිටිය හොඳටෝ ම වැඩ ය. සජීවී ප්‍රේක්ෂකයන් ඇතිව හෝ නැතිව, නීති රීති වෙනස් කරමින් හෝ නොකරමින්, ජෛව බුබුළු ඇති කරමින් එසේත් නැත හොත් වෙන යම් ආකාරයකින් ලෝකයේ ක්‍රීඩාව උණුසුම් ය. පසුගිය අගෝස්තු හා සැප්තැම්බර් යනු ඔලිම්පික් හා පැරාලිම්පික් ය. දැන් එය විතැන් වෙමින් ඇත්තේ ක්‍රිකට් හා පාපන්දු ක්‍රීඩාවට ය. මේ ලෝකයේ අසිරිමත් ක්‍රිකට් තරගාවලියක ඇරැඹුම හා එහි ඇති අභියෝග ගැන ය.'

එක්සත් අරාබි එමිරය හා ඕමානය මේ වන විට සූදානමින් සිටින්නේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ය. අදියර දෙකක් යටතේ පැවැත්වෙන මෙහි සුපිරි 12 වටය සඳහා මේ වන විට එංගලන්තය, ඔස්ට්‍රේලියාව, පාකිස්ථානය, ඉන්දියාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් දූපත්, දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්ථානය යන රටවල් තේරී ඇත.

ඉතිරි ස්ථාන හතර සඳහා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, අයර්ලන්තය යන ටෙස්ට් රටවල් තුන සමඟ ඕමානය, පැපුවා නිව්ගිනියා, ස්කොට්ලන්තය, නෙදර්ලන්තය හා නැමීබියාව තරග වදී. මෙම රටවල් අට 'ඒ' හා 'බී' ලෙස කොටස් දෙකකට බෙදා තරග පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව අයත් වන්නේ 'ඒ' කොටසට ය.

මේ අනුව ඔක්තෝබර් මස 17 දින ඇරැඹෙන සුදුසුකම් ලබා ගැනීමේ වටය සඳහා ශ්‍රී ලංකාව තම කොටසේ සිටින රටවල් අතරින් මුල් ම තරගය වශයෙන් 18 දින නැමීබියාව සමඟ අබුඩාබි හි දී තරග වැදීමට නියමිත අතර, 20 දින එම පිටියේ දී ම අයර්ලන්තය සමඟින් ද 22 දින සාජා හි දී නෙදර්ලන්තය සමඟ ද තරග වදී. එක කොටසකින් කණ්ඩායම් දෙකක් තෝරා ගන්නා බැවින් බොහෝ විට තරග දෙකක් ජය ගත හොත් සුදුසුකම් අත් කර ගැනීමට අවස්ථාව හිමිව ඇත.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව මෙම තරගමාලාවට පෙර සහභාගි වූ අවසන් ප්‍රධාන තරගමාලාව වූ දකුණු අප්‍රිකාව සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය අවසන් කළේ පරාජයකිනි. එය ඉන්දියාව සමඟ තරගාවලියේ දී අත් කර ගෙන තිබූ ජයග්‍රාහි මානසිකත්වයට එල්ල වූ බලපෑමක් ලෙස ගත හැකි ය.

සමස්තයක් ලෙස ගත් කල නම් දැරූ පිතිකරුවන් ලකුණු අතරට එන්නට අසමත් වීම මෙන්ම මැද පෙළ බිඳ වැටීම ද මෙහිදී කැපී පෙනුණේ ය. විශේෂයෙන් ම තීරණාත්මක දෙවැනි තරගයේ දී දකුණු අප්‍රිකා දඟපන්දු යවන්නන් තණ තීරුවේ වාසිය ද සමඟින් ශ්‍රී ලංකා පිතිකරුවන් මැනවින් පාලනය කිරීමට සමත්වූ අයුරෙන් මෙරට දඟපන්දු යවන්නන්ට දකුණු අප්‍රිකා පිතිකරුවන් පාලනය කිරීමට නොහැකි විය.

එසේම අවශ්‍ය අවස්ථාවල විශාල පහරවල් සඳහා යෑමට ශ්‍රී ලංකා පිතිකරුවන් අපොහොසත් වීම ද මෙම තරගාවලියේ දී දක්නට ලැබුණු දුර්වලතාවකි. කලකට පසු විස්සයි විස්ස පිටියට පිවිසි දිනෙෂ් චන්දිමාල් පළමු තරගයේ දී ශ්‍රී ලංකා ඉනිම අරඹමින් ලකුණු 66 ක් නොදැවී ලබා ගත් අතර, චාමික කරුණාරත්න නොදැවී ලකුණු 22 ක් රැස් කළේ ය. දෙවැනි තරගයේ දී කුසල් පෙරේරා 30, භානුක රාජපක්ෂ 20 හැරුණු විට ශ්‍රී ලංකා ලකුණු පුවරුවට සෙසු පිතිකරුවන්ගෙන් ප්‍රමාණවත් දායකත්වයක් නොලැබිණි.

නායක ශානක, ධනංජය, චරිත් අසලංක මෙන් ම වේගවත් පහරවල් එල්ල කිරීමේ හැකියාව ඇති වනිඳු හසරංග පිතිහරඹයේ දී අසාර්ථක වීම ද පරාජයට බලපෑ ප්‍රධාන කාරණාවන් ය.

“අපේ පිතිකරුවන් නිතරම ලකුණු ලබා ගැනීමේ දී වේගයෙන් තමන්ගේ පිතිකරණ අන්තය මාරු කර ගත යුතුයි. ඉනිමේ මැද භාගයේ අප පන්දුවට පහර දෙන ආකාරයෙහි වෙනසක් කර ගන්නත් අවශ්‍යයි.මෙය දිගු කලෙක සිට විශේෂයෙන් පසුගිය වසර දෙක තුනක සිට අප මුහුණ දී සිටින ගැටලුවක්.” නායක දසුන් ශානක දෙවැනි තරගයෙන් පසු පවසා සිටියේ ය.

ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 07 හා 09 දිනවල ඕමානයේ දී එරට කණ්ඩායම සමඟ පෙරහුරු තරග දෙකකට සහභාගි වීමට නියමිත ය. අනතුරුව 12 හා 14 දිනවල වෙනත් කණ්ඩායම් දෙකක් සමඟ තවත් පෙරහුරු තරග දෙකකට මුහුණ දෙනු ඇත.

සුදුසුකම් අත්කර ගැනීමේ වටයේ දී ශ්‍රී ලංකාව අයත් කොටසේ සිටින රටවල් අතරින් නැමීබියාව ප්‍රධාන තරගාවලියකට සහභාගී වන්නේ 2003 පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ය. එමෙන් ම මේ ඔවුන් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක් නියෝජනය කරන මුල් ම අවස්ථාවද වෙයි.

නැම්බියානු නායක ජෙහාර්ඩ් එරාමස් පවසන්නේ මෙය ඔවුනට විශාල වටිනාකමකින් යුත් තරගාවලියක් වනු ඇති බව ය.”පැහැදිලිව ම අපේ මුල් තරගය ටෙස්ට් කණ්ඩායමක් වන ශ්‍රී ලංකාව සමඟයි. ශ්‍රී ලංකාව කියන්නේ විස්සයි විස්ස ලෝක කුසලානය ජය ගත් රටක්. එය ඉතාමත් හොඳ තරගයක් වේවි. අපිට ඒ ගැන ගොඩක් සතුටුයි.” නැමීබියා නායකයාට අනුව අත්දැකීම් සපිරි ක්‍රෙග් විලියම්ස්, තුන් ඉරියව් ක්‍රීඩක ජේ.ජේ.ස්මිත්, පන්දු යවන්නන් වන ජාන් ෆ්‍රිලින්ක්,බ ර්නාඩ් ස්කොල්ට්ස් වැනි ක්‍රීඩකයන්ගේ එකමුතුව කණ්ඩායම සුපිරි 12 ට රැගෙන යනු ඇත. මීට අමතරව ඔවුනට අත්ව ඇති තවත් වාසියක් වේ. ඒ මීට පෙර දකුණු අප්‍රිකා කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩක ඩේවිඩ් වීස් ය. ඔහු තම කණ්ඩායමට එක්වනු ඇතිය යන බලාපොරොත්තු නැම්බියානු නායකයා තුළ උද්යෝගය දැඩි කර ඇත. ඔහු එක්දින ජගත් තරග හයකට හා විස්සයි විස්ස ජගත් තරග විස්සක දී දකුණු අප්‍රිකා පිල නියෝජනය කර ඇති අතර, තම පියා නැමීබියාවේ උපත ලබා තිබීම මත ඔහුට එරටට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වීමට ඉඩ තිබේ. ඔහු 2013 ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකා පිල නියෝජනය කරමින් විස්සයි විස්ස තරග වරම් අත්කර ගත්තෙකි.

කෙසේ නමුත් නැමීබියාව හා සමාන කරන විට ශ්‍රී ලංකාවට අයර්ලන්තය හා නෙදර්ලන්තය සමඟ තරග දෙක වඩාත් තරගකාරී විය හැකි බව අනුමාන කළ හැකි ය. අයර්ලන්ත නායක ඇන්ඩ්රි බල්බර්නිගේ අදහසට අනුව ඔවුන් වඩාත් අවධානය යොමු කරනුයේ නෙදර්ලන්තය දෙසට ය.

”මගේ අදහසට අනුව අප ඇතුළත් ව සිටින්නේ අසීරු කොටසකට. ඇත්තෙන්ම අපේ කොටසේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම ශ්‍රී ලංකාව විය හැකියි. නමුත් අපේ ක්‍රීඩකයන් අවස්ථාවට අනුව දස්කම් දක්වාවි. අනිවාර්යයෙන්ම අපේ කොටසේ වැදගත් ම තරගය ලෙස අපි ඉලක්ක කරන්නේ නෙදර්ලන්ත කණ්ඩායම සමඟ තරගයයි. අප ඔවුන් සමඟ තරග වැඩි ගණනකට සහභාගි වී තිබෙනවා. ඔවුන් මෑතක දී පන්දුවාර 50 තරගාවලියකින් අපව පරාජය කළා. නමුත් අප ඔවුන් ගැන හොඳින් දන්නවා.”

ඔහුගේ කතාවට අනුව වැටහෙන්නේ ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව ජය ලබනවාට වඩා නෙදර්ලන්තය හා නැමීබියාව පරාජය කිරීමට සෑදී පැහැදී සිටින බව ය. අයර්ලන්තය මේ දක්වා ශ්‍රී ලංකාව සමඟ එකම විස්සයි විස්ස තරගයකට සහභාගි වී එම තරගය පරාජය වී තිබේ. එමෙන් ම නැමීබියාව සමඟ එක තරගයකට සහභාගි වී ඉන් ජය ගෙන ඇති ඔවුන් නෙදර්ලන්තය සමඟ සහභාගි වී ඇති තරග ගණන 12කි. මෙයින් තරග 04ක් ජය ගෙන ඇති අතර, පරාජය වී ඇති ගණන 07 කි.

2009 වසරේ සිට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරන රටක් වන අයර්ලන්තය ක්‍රීඩා කර ඇති සමස්ත විස්සයි විස්ස ජගත් තරග ගණන 106 කි. මෙයින් ජයග්‍රහණ 44 කි. පරාජය වූ ගණන 53 කි. තරග දෙකක් ලකුණු සම වි අවසන් වී තිබේ. තීරණය නොවිසඳුණු ගණන 07කි.

මේ අතර ජාත්‍යන්තර වෙබ් අඩවි කීපයක් පවසන්නේ බංග්ලාදේශය, ඕමානය, පැපුවා නිව්ගිනියා, ස්කොට්ලන්තය අයත් 'බී' කොටස හා සමාන කරන විට ශ්‍රී ලංකාව අයත් 'ඒ' කොටස ඉතාමත් අසීරු බව ය. ශ්‍රී ලංකාව මෙම කොටසේ ඉදිරියට එනු ඇති බව අනුමාන කරන ක්‍රිකට් විචාරකයෝ මෙම කොටසේ කළු අශ්වයා බවට නෙදර්ලන්තය පත්වුවහොත් පුදුම නොවන බව පවසයි. එය ද ඇතැම් විට සත්‍යයක් වන්නට පිළිවන.

මන්ද විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසය දෙස බලන විට නෙදර්ලන්තය පෙරළි රැසක් සිදු කර ඇති කණ්ඩායමකි. 2009 තරගාවලියේ දී ලොර්ඩ්ස් හි දී මෙන් ම 2013-14 තරගාවලියේ දී එංගලන්තය පරාජය කිරීමට සමත් වීම මෙන් ම අයර්ලන්තය අවස්ථා දෙකක දී පරාජය කිරීම අමතක කළ නොහැකි ය.

ඔවුන් ශ්‍රී ලංකාව සමඟ සහභාගි වී ඇත්තේ එක ම තරගයකට පමණි. මෙයින් පරාජය අත්කර ගත් නෙදර්ලන්තය මේ දක්වා විස්සයි විස්ස පිටියේ එංගලන්තය සමඟ තරග දෙකකට සහභාගි වී පරාජය නොවී තරග දෙකම ජය ගැනීම විශේෂ ය. මීට අමතර ව බංග්ලාදේශය, අයර්ලන්තය, ඇෆ්ගනිස්ථානය, සිම්බාබ්වේ යන ටෙස්ට් රටවල් ද පරාජය කර තිබේ.

 

 

Comments