ලෝක කුසලාන අභියස ශ්‍රී ලංකාව හිණිමගේ පහළට | සිළුමිණ

ලෝක කුසලාන අභියස ශ්‍රී ලංකාව හිණිමගේ පහළට

 

“ඔබේ පිතිකරුවන් දක්ෂයි ඔවුන් ලොව කිසිම කණ්ඩායමකට දෙවෙනි නැහැ. ලොව ඕනෑ ම කණ්ඩායමක් පරාජය කිරීමේ ශක්තිය ඔවුනට තිබෙනවා. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ ඔවුන්ට ඔවුන් ගැන විශ්වාසයක් නොතිබීමයි. ඔවුන් ඔවුන් ගැන විශ්වාසය තැබීමට පටන් ගතහොත් ඔබේ කණ්ඩායම ජයග්‍රහණය කරාවි.”ඉන්දියාවෙන් බිහිවූ සුපිරි කඩුලු රකින්නකු වූ ෆාරුක් එන්ජිනියර් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන මෙසේ පැවසුවේ 1993-94 ශ්‍රී ලංකාවේ පනස් වැනි හා කොදෙව් දූපත් සමඟ පැවති මංගල ටෙස්ට් තරගයේ ආරාධිත විස්තර විචාරකයකු ලෙස මෙරටට පැමිණි අවස්ථාවේ ය.

එදා වැඩි දුරටත් අදහස් දැක් වූ ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් තමන් මත විශ්වාසය තබා ක්‍රීඩා කරන්නේ නම් ලෝක කුසලානය පවා දිනා ගැනීමට සමත් වනු ඇති බව ය. එදා ඔහු කළ ප්‍රකාශය වසර තුනකටත් අඩු කාලයකින් යථාර්ථයක් කර ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විණි.

පසුගිය දා ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක් අත් කර දුන් දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවට කිව්වේ බියෙන් තොරව තමන් කෙරේ විශ්වාසය තැබීමේ වැදගත්කම පිළිබඳ පාඩම ය. ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවට පහර දුන් ආකාරය දෙස බැලූ විට පෙනී ගියේ ඔවුන් පන්දුවට පහර දුන්නේ තමන්ගේ හැකියාවන් ගැන විශ්වාසයකින් තොරව බව ය.

මුල් තරගයේ දී ලකුණු 164 ක ඉලක්කයක් හඹා ගොස් ලකුණු 28 කින් පරාජය වූ ශ්‍රී ලංකාව දෙවැනි හා තෙවැනි තරගවල දී මුලින් ම පන්දුවට පහර දී රැස් කළේ පිළිවෙළින් ලකුණු 103 ක් හා 120 ක් පමණි.

කලකට පසු මුල් තරගයේ දී විස්සයි විස්ස පිටියට පිවිසි දිනෙෂ් චන්දිමාල් ඉනිම අරබමින් නොදැවී ලකුණු 66 ක් ලබා ගත් අතර, චාමික කරුණාරත්න නොදැවී ලකුණු 22 ක් රැස් කළේ ය. අවසන් පන්දුවාර පහ තුළ ලකුණු 69 ක් ලබා ගැනීමට තිබිය දී ලකුණු නවයක් තුළ නායක දසුන් ශානක, වනිඳු හසරංග, ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයන්ගේ කඩුලු බිඳ වැටීම ජයග්‍රහණයේ අපේක්ෂා තවදුරටත් ශ්‍රී ලංකාව වෙතින් දුරස් කිරීමට හේතු විය.

දෙවැනි තරගයේ දී කුසල් පෙරේරා 30, භානුක රාජපක්ෂ 20 හැරුණු විට සෙසු පිතිකරුවන්ගෙන් ප්‍රමාණවත් දායකත්වයක් නොලැබීම මත ශ්‍රී ලංකා ඉනිම ලකුණු 103 ක ට සීමා විණි. දඟ පන්දු යවන්නන්ට වාසිදායක වූ තණතීරුවේ දකුණු අප්‍රිකා පිතිකරුවන්ට ද අවසන් එක්දින තරගයේ දී අත්වූවා වැනි ඉරණමක් අත්වෙතැයි බලපොරොත්තු වුව ද වරක් කළ වරද දෙවැනි වරටත් නොකිරීමට ඔවුන් වගබලා ගත්තේ වෘත්තිය භාවය උපරිමයෙන් ආරක්ෂා කර ගනිමිනි.

ඒ සඳහා පෙරමුණ ගත්තේ ක්වීන්ටන් ඩි කොක් ය. ඔහු තම අත්දැකීම් උපයෝගී කර ගනිමින් නොදැවී ලකුණු 58 ක් රැස් කළේ පිටිය තුළ කිසිදු පන්දු යවන්නකුට හෝ තැන්පත්වීමට අවස්ථාවක් ලබා නොදෙමිනි.

මෙහිදී ඔවුන් අනුගමනය කළේ හොඳ ම ආරක්ෂාව ප්‍රහාරාත්මක පිළිතුරු දීම යන සිද්ධාන්තයයි.

“අපේ පිතිකරුවන් නිතර ම ලකුණු ලබා ගැනීමේ දී පිතිකරණ අන්තය මාරු කර ගත යුතුයි. ඉනිමේ මැද භාගයේ අප පන්දුවට පහර දෙන ආකාරයත් වෙනස් වෙන්න ඕනෑ. මෙය දිගු කලෙක සිට විශේෂයෙන් පසුගිය වසර දෙක තුනක සිට අප මුහුණ දී සිටින ගැටලුවක්” නායක දසුන් ශානක දෙවැනි තරගයෙන් පසු අදහස් දක්වා සිටියේ ය.

තෙවැනි හා අවසන් තරගය ද දෙවැනි තරගයේ ම ඡායා පිටපතක් වූයේ ය. චාමික කරුණාරත්න නොදැවී ලබා ගත් ලකුණු 24 හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 120 දක්වා වර්ධනය විණි. ඔහුට අමතරව කුසල් පෙරේරා ලකුණු 39 ක් ලබා ගත්තේ ය.

මෙහිදී සංචාරක දඟ පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට කිසිදු බුරුලක් නොලැබිණි. ඉනිමේ හත් වැනි පන්දු වාරයේ සිට 17 වැනි පන්දු වාරය දක්වා එක ම හතරේ පහරක් හෝ එල්ල කිරීමට පන්දු යවන්නන් අවසර ලබා දුන්නේ ම නැත.

දෙවැනි තරගය කඩුලු නවයකින් ජය ගත් දකුණු අප්‍රිකාව මෙම තරගය ජය ගත්තේ කඩුලු දහයකිනි. ක්වින්ටන් ඩි කොක් මෙහිදී ද පෙරමුණ ගනිමින් ජයග්‍රහණයට තම දායකත්වය සැපයූයේ ය.

ඔහුට අමතර ව රිෂා හෙන්ද්රික්ස් ද නොදැවී ලකුණු 56 ක් රැස් කළේ ය. මේ අනුව තරග තුනේ දී ක්වින්ටන් ඩි කොක් ලබා ගත් මුළු ලකුණු සංඛ්‍යාව153 කි. එහි සාමාන්‍ය ද 153 කි. මේ අනුව ඔහු විස්සයි විස්ස පිතිකරු වර්ගීකරණයේ අංක 12 සිට අංක 08 දක්වා ඉහළට පැමිණීමට සමත්ව තිබේ. “එක්දින තරගාවලියේ පරාජයෙන් පසු අපේ ක්‍රීඩකයන් මෙම තරගාවලියට හොඳින් මුහුණ දුන්නා. ඒ වගේම අපට අවස්ථා දෙකක් ලැබුණා. ඒ තමයි ලකුණු හඹා ගොස් ජය ගැනීමට. මෙය ලෝක කුසලානයට හොඳ පෙරහුරුවක්. ආසියාතික තත්ත්වයන් යටතේ පිතිකරුවන් අතර හොඳ ලකුණු සම්බන්ධතා ගොඩනඟා ගැනීම විශේෂයි” එසේ කීවේ දකුණු අප්‍රිකා නායක කේෂව මහරාජ් ය.

සමස්තයක් ලෙස ගත් කල ශ්‍රී ලංකා කණ්ඩායමේ නම් දෑරු පිතිකරුවන් වන අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, දසුන් ශානක, චරිත් අසලංක මෙන් ම වනිඳු හසරංග ද ලකුණු අතරට එන්නට අසමත් විණි. එමෙන් ම මැද පෙළ පිතිකරුවන්ගේ බිඳ වැටීම ද කැපී පෙනිණි.

ප්‍රතිවාදී පන්දු යවන්නන්ගේ ග්‍රහණයට හසුවීමත් කෙටි ලකුණු ලබා ගෙන අන්ත මාරු කර ගැනීමට මෙන් ම වේගවත් පහර එල්ල කිරීමට අවස්ථාව නොලැබීම ද කැපී පෙනුණු කරුණකි.

අවශ්‍යත ම අවස්ථාවල එල්ල කරන ලද වේගවත් පහරවල්ද හයේ පහරවල් බවට පත් කර ගැනීමට ඔවුහු අපොහොසත් වූහ. එමෙන් ම ලකුණු ලබා නොගත් පන්දු වැඩි ගණනක් ශ්‍රී ලංකා ඉනිම තුළ දැක ගැනීමට ලැබිණි.

දකුණු අප්‍රිකා ක්‍රීඩකයන් ඔවුන්ගේ රටේදී තරග වදිනවාටත් වඩා පහසුවෙන් මෙරට දී තරග වැදී ජය ගත්තේ ඔවුනට කිසිසේත් හිතකර පරිසරයක නොවේ. සුපුරුදු වේගවත් තණතීරු ඔවුනට මෙහිදී නොලැබුණු අතර දඟ පන්දු යවන්නන් හට වඩා මිතුරු මන්දගාමී තණතීරු මත ඔවුන්ගේ පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් පාලනය කළ අයුරු ප්‍රශංසනීය විය. ඔවුන්ගේ ෂම්සි, මාක්‍රම් වැනි දඟ පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිතිකරුවනට කිසිදු බුරුලක් ලබා නොදී පාලනය කිරීම විශේෂ ය. තවත් වැදගත් කරුණක් වන්නේ ඔවුන් ඉක්මනින් වැරැදි නිවැරැදි කර ගනිමින් වෘත්තීය මට්ටමින් තරගවලට අවතීර්ණ වීමයි.

තරගාවලිය ආරම්භ වීමට පෙර විස්සයි විස්ස වර්ගීකරණයෙහි නව වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙම පරාජයෙන් පසු අංක 10 දක්වා පසුබැස්ස අතර, ශ්‍රී ලංකාවට පහළින් සිටි කොදෙව්වන් නව වැනි ස්ථානයට උසස් වී තිබේ. ටෙස්ට් රටවල් 12 අතරින් මේ වන විට ශ්‍රී ලංකාවට පහළින් සිටින්නේ සිම්බාබ්වේ හා අයර්ලන්තය පමණි.

Comments