මාලිට අහිමි වූ ගෞරවනීය සමුගැනීම! | සිළුමිණ

මාලිට අහිමි වූ ගෞරවනීය සමුගැනීම!

 

‘ලසිත් මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව පසුගිය දා නිවේදනය කළේ ය. මීට පෙරද ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට කැසකවමින් සිටිය ද යළිත් එය වෙනස් කළේ ය. එහෙත් මෙවර නම් ඔහු තමන් සම්පූර්ණයෙන් ම ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙන බව ප්‍රකාශ කර තිබේ. සමුගැනීමේ තරගයකට සහභාගි වන්නට පවා ඉඩ නොලැබ පිටියෙන් සමුගැනීමට මාලිට සිදු වූයේ ඇයි?'

ඒ 2018 වසරයි. අද සිට බලන කල මීට වසර තුනකට පෙර වසර ය. ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ විශාල රාමුවේ සිටින බව පැවැසූයේ මෙරට ජාතික ක්‍රිකට් පිලේ එවකට වැඩබලන පුහුණුකරු තිලාන් සමරවීර ය. එකී විශාල රාමුව මීළඟ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය බව ද පැවැසී ය.

තිලාන් මේ බව ප්‍රකාශ කළේ 2018 ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පල්ලෙකැලේ පැවැති තෙවැනි එක්දින පරාජයෙන් පසුව ය. එමෙන් ම දෙරට අතර පැවැත්වෙන විස්සයි 20 තරගයට මාලිංග ක්‍රීඩා කරන බවට ද එහිදී තිලාන් සමරවීර ඉඟි කළේ ය. නමුත් එය එසේ නොවිණි. මේ අතර කියැවුණේ එකී තරගය බොහෝ විට මාලිංගගේ සමුගැනීමේ තරගය විය හැකි බවයි. කෙසේ වෙතත් ඊට පසුව ද ලසිත් මාලිංගට ගෞරවනීය සමුගැනීමකට ඉඩකඩ සකසා දීමට ද බලධාරීහු වග බලා නොගත් හ.

මාලිංග අවසන් වරට එක්දින තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2019 ජුලි 26 බංග්ලාදේශයට එරෙහිව ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ දී ය. අවසන් වරට විස්සයි 20 තරගයකට ක්‍රීඩා කළේ 2020 මාර්තු 06 බටහිර ඉන්දිය කොදෙව්වන්ට එරෙහිව පල්ලෙකැලේ දී ය.

මාලිංගට එදා වැරදුණේ කොතැනද?

'අපට පුහුණුකරුවන් කියලා ගොඩ දෙනෙක් ඉන්නවා. ඒත් ඒ අයට නිසි සුදුසුකම් තියෙනව ද? තරුණ ක්‍රීඩකයන්ව හැඩ ගස්වන්න ඇත්තට ම ඔවුන්ට තිබෙන සුදුසුකම් මොනවා ද?'

ලසිත් මාලිංග මේ අදහස් පළ කළේ ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම නවතා ගැනීමට හා ක්‍රිකට් ක්‍රීඩාව නව මාවතකට යොමු කිරීමේ අටියෙන් හිටපු ක්‍රීඩා ඇමැතිවරයෙක් වූ දයාසිරි ජයසේකර පත් කරන ලද කමිටුවක් හමුවේ අදහස් දක්වමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ මාලිංග,

“ක්‍රීඩකයකු අසාර්ථක වන කාල සමයක පුහුණුකරුවකුට ඔහුගේ මානසිකත්වය වර්ධනය කරන ගමන්ම නැවතත් දස්කම් අතරට ගෙන එන්න හැකි වෙන්න ඕනෑ. පළමු පෙළ තරග 16 ක් ක්‍රීඩා කර ඇති සයිමන් විල්ස් උසස් දස්කම් කළමනාකරු වශයෙන් පත්කර තිබෙනවා. අපි අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය භාර දී තියෙන්නේ හරි හමන් පළමු පෙළ තරග අත්දැකීමක්වත් නැති කෙනෙකුටයි.

ඒ වගේ තනතුරකට අපි කෙනෙක්ව තෝර ගන්නකොට අඩුම තරමේ ක්‍රිකට් ක්‍රීඩාවේ අත්දැකීම් තියෙන කෙනෙක්වත් තෝරා ගන්න බැරි තැනකට වැටිලා තිබෙනවා. තමන්ගේ තරග ජීවිතයේ ලකුණු 100 ක් වත් නොගහපු කෙනෙක් රටක ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගන්නේ කොහොමද? මේක බරපතළ කාරණාවක්.' යැයි ඔහු එහිදී අදහස් දැක්වූයේ ය.

ගෙවී ගියා වූ දසකයක පමණ කාලය තුළ තේරීම් කමිටු නිලධාරින්ගේ හිතුවක්කාරී තීන්දු තීරණ නිසා ක්‍රීඩකයන් ගණනාවක්ම රටට අහිමි වූ බවත් ඉදිරියේදී මෙවැනි වැරැදි යළි ඇතිවීමට ඉඩ නොතැබිය යුතු බවද මාලිංග එහි දී පැවසී ය.

සියලු දෙනා අහිමි වෙලා

'මීට කාලයකට ඉස්සර සමහර තේරීම් කමිටු නිලධාරින් හිතුවේ පාසලෙන් කෙළින්ම ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් ගන්න පුළුවන් කියලා. ඇත්තටම එහෙම කරන්න බෑ. එහෙම කරන්න ගිහින් අසාධාරණයට ලක්වූ පළමු පෙළ ක්‍රීඩකයන් ඕනෑ තරම් ඉන්නවා. අද ඒ සියලු ම දෙනා අපට අහිමි වෙලා තිබෙනවා.

මේ වගේ වැරැදි ඉදිරියට වෙන්න දෙන්න හොඳ නෑ. එහෙම වුණොත් අපි අද ඉන්න තත්ත්වයෙනුත් තව අවුරුදු ගණනාවක් පස්සට යනවා.' ලසිත් කීවේ ය.

ලාංකේය පළමු පෙළ තරග පිළිබඳ ව මීට වඩා අවදානයක් යොමු කළ යුතු බව ද ඔහු දරන මතයකි.

'විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයන් සොයා ගැනීමට නම් අපේ පළමු පෙළ තරගාවලිය සම්පූර්ණයෙන් ම ටෙස්ට් ක්‍රීඩාංගණවල ඒ තණතීරුවල ම පවත්වන්න වෙනවා.'

ඇතැම් ක්‍රිකට් තරගාවලියන් හි දී තණතීරු සැකසීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණුවලට පටහැනිව තණතීරු සැකසූ බවට ද මාලිංග චෝදනා කරයි.

“අපි තණකොළ තියෙන තණතීරුවක් ඉල්ලනකොට ඔවුන් අපට දුන්නේ තට්ටයක් වගේ ගාපු තණතීරු. ඇයි එහෙම කළේ අහනකොට ඒක මැෂිමේ වැරැද්දක් කියලා මඟහැරියා. මේ දේ වුණේ එක පාරක් නෙවෙයි. මේවා බලධාරින්ට කියනකොට ගණන් ගන්නේ නෑ. අපි පැරදුණේ මේ නිසාම කියනවා නෙවෙයි. මෙහෙම දේවල් වෙනකොට අපි මානසිකව වැටෙනවා කියන එක මේ අයට තේරෙන්නේ නැති එක තමයි පුදුමේ.' ඒ මාලිංගගේ හඬ ය.

ඔහු මේවා කීවේ කලකට පෙර ය. එහෙත් බලධාරීන්ට ඒවා අද ඊයේ මෙන් මතකයේ රැඳී තිබෙන්නට පිළිවන. ඇතැම් විට සමුගැනීමේ තරගයක්වත් නොමැතිව සමුගන්නට ලසිත් මාලිංගට සිදුව ඇත්තේ ඒ නිසා වන්නටත් පිළිවන.

මේ අතර මාලිංගට එළඹෙන විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී පන්දු යැවිමේ පුහුණුකරුවකු ලෙස හෝ උපදේශකවරයකු ලෙස හෝ කටයුතු කිරීමට රටවල් කිහිපයකින් ම ඇරැයුම් ලැබී ඇතැයි වාර්තා වෙයි.

'මගේ T20 වගේම සෑම ආකාරයක ම ක්‍රිකට්වලින් ම විශ්‍රාම ගන්නවා. මට මගේ ගමනේ දී සහයෝගය දුන් සැමට ස්තුති කරන අතර, ඉදිරි වසර කිහිපය තුළ දී තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් සමඟ මගේ අත්දැකීම් හුවමාරු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.' සමුගැනීම ප්‍රකාශයට පත්කරමින් මාලිංග ඉඟි කර තිබුණේ ය.

 

Comments