මව්බිමට එරෙහිව ඉන්දීය ක්‍රිකට් පිලට එක් වූ ජාවිස් නම් සුද්දා | Page 2 | සිළුමිණ

මව්බිමට එරෙහිව ඉන්දීය ක්‍රිකට් පිලට එක් වූ ජාවිස් නම් සුද්දා

 

මේ ගෙවී යන්නේ සංචාරක ඉන්දීය ක්‍රිකට් පිල එංගලන්තය සමඟ තරග පහකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගී වී සිටින වකවානුවක් ය. මේ වන විට එම තරගාවලියට අයත් තරග හතරක් ම පවත්වා අවසන් ය. එහෙත් තරගාවලියේ ජය පරාජයන් පිළිබඳ ව හෝ ක්‍රීඩකයන් දක්වන ලද කුසලතාවන් පිළිබඳ ව හෝ විග්‍රහ කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ලෝක ශ්‍රේණි ගත කිරීම් හි දෙවැනි ස්ථානයේ පසු වන ඉන්දියාවත් සිව් වැනි ස්ථානයේ පසු වන එංගලන්තයත් අතර පැවැත්වෙන තරගාවලියක් බැවින් ඊට ලැබෙන ප්‍රේක්ෂක අවදානය විශාල ය.

එහෙත් තරගාවලිය පැවැත්වෙන අතරේ ප්‍රේක්ෂක අවදානය සම්පූර්ණයෙන් ම වෙනතකට යොමු කරන්නට එක් තැනැත්තකු සමත්ව සිටියේ ය.

ඔහු එංගලනත් ජාතිකයකු වූ ඩැනියල් ජාවිස් ය. ඉන්දීය පිලට එක් වූ සුදු ජාතික ක්‍රීඩකයකුගේ භූමිකාවට පණ පෙවූ ඔහු ඔහුගේ තුන් වැනි ක්‍රියාන්විතයත් සමඟ පොලිස් අත්අඩංගුවට පත් විය.

ඩැනියල් ජාවිස් තමන්ගේ ක්‍රියාන්විතය දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ආරම්භ කර තිබුණේ පිටිය ආක්‍රමණය කරන්නකු ලෙසිනි.

ජාවෝ 69 ලෙස පිටිපස ලොකු අකුරෙන් සටහන් කර ඇති සුදු පැහැති කමිසයක් හා ක්‍රිකට් ක්‍රීඩකයන් අඳින සුදු කලිසමකින් සැරසී සිටියේ ය. ඔහුගේ කමිසයේ ඉදිරිපස ඉන්දීය ක්‍රීඩකයින්ගේ කමිසවලට ඇතුළත් වන ඉන්දීය ලාංඡනය ඇතුළු සියලු දේ ඇතුළත් ව තිබිණි.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන් සැරසී සිටි ඔහු ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ දිවා භෝජනයෙන් පසු පන්දු රැකීමට පිටියට පිවිසෙන ඉන්දීය පිල සමඟ ක්‍රීඩාංගණයේ දී එක්ව සිටියේ ය.

ඇඳුම්වලින් ඉන්දීය ක්‍රීඩකයකුට සමාන වුවත් ඔහුගේ පෙනුම ඉන්දීය ක්‍රීඩකයකුට කිසිසේත්ම ගැළපුණේ නැත. එහෙත් ඒ කවුරුන් දැයි නොදත් ප්‍රේක්ෂකයෝ පිටියේ විසිරී සිටින ඉන්දීය ක්‍රීඩකයන් ගණනය කරන්නට වූහ.

ජාවෝ 69 පිටිය ආක්‍රමණය කරන්නකු බව ඔවුනට වැටහෙන්නට ඇත්තේ ඉන් අනතුරුව විය යුතු ය.

කෙසේ වුවත් ආරක්ෂක නිලධාරීන් පැමිණ ඔහු පිටියෙන් ඉවත් කරනු ලැබුවේ තරගය ආරම්භ කිරීම ප්‍රමාද වීමට ඉඩ නොතබමිනි.

ඩැනියල් ජාවිස් තම ක්‍රියාන්විතය එතකින් නතර නොකළේ ය. ඔහු තමන්ගේ ඊළඟ රඟ දැක්වීම තුන් වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැති හෙඩින්ග්ලි ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක කරනු ලැබී ය.

එවර ඔහු ඉන්දීය පිලේ පිතිකරුවෙකි. පිතිකරුවකු ලකුණු රැස් කිරීමට පිටියට පිවිසෙන්නේ හිස් ආවරණ, අත් ආවරණ, පා ආවරණ ඇතුළු සියලු ම ආරක්ෂක උපකරණවලින් සැරසී සිටිමිනි.

මේ තරගයේ දී රෝහිත් ෂර්මා දැවී යෑමත් සමඟ ලකුණු රැස් කිරීම සඳහා කඩිමුඩියේ ඊළඟ පිතිකරුවා ලෙස ක්‍රීඩාංගණයට ඇතුළු වීමට ජාවේ 69 පියවර ගෙන තිබුණේ සියලු ආරක්ෂක උපකරණවලින් සැරසී සිටිමිනි. එක ම අඩුව වූයේ ඔහු අත පිත්තක් නොතිබීම ය. නමුදු ඔහු සීමා ඉරෙන් පිටියට ඇතුළු වීමට ආසන්නව සිටියදී කිසිවකු විසින් ඔහුට පිත්තක් විසි කරනු ලැබී ය.

එය අහුලා ගත් ඔහු පිත්ත වන වනා තණතිල්ල වෙත ගමන් කළේ ක්‍රීඩාංගණයට රැස්ව සිටි ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරමිනි. එනමුදු ඔහුට එවර ද තණතිල්ල තෙක් පැමිණීමට ආරක්ෂක නිලධාරීන්ගෙන් අවසර හිමි නොවී ය.

පසුගිය සැප්තැම්බර් දෙවැනිදා ඉන්දියා - එංගලන්ත සිව් වැනි ටෙස්ට් තරගය ඕවල් ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. ඩැනියල් ජාවිස් කල්තියාම සැලසුම් කර ගත් පරිදි ඔහුගේ තෙවැනි ක්‍රියාන්විතය ක්‍රියාත්මක කළේ ය.

එවර ඔහු ඉන්දීය වේග පන්දු යවන්නෙකි. ක්‍රීඩා පිටියේ කඩුලු රකින්නාගේ අන්තයේ එංගලන්ත පිලේ ඔලී කේන්, උමේෂ් යාදේව්ගේ පන්දුවකට මුහුණදීමට සූදානමින් පසුවිය. යාදේව් පන්දු රකින්නෙක් තමන්ට අවශ්‍ය පරිදි ස්ථාන ගත කරමින් සිටියේ ය.

ජාවේ 69 ක්‍රියාත්මක වූයේ ඒ අතරතුර දී ය. පන්දුවක් අතැතිව පිටියට පිවිසි ඩැනියෙල් දුවමින් ඔලී කේන්ට එම පන්දුව යොමු කරනු ලැබී ය.

එම අවස්ථාවේ දී ඩැනියල් ජාවිස්ට තමන් පාලනය කර ගැනීමට නොහැකි වූ නිසා ඔහු පන්දු යවන්නාගේ අන්තයේ සිටි එංගලන්ත පිතිකරු ජොනී බෙයාස්ටෝගේ ඇඟේ හැපුණි.

බෙයාස්ටෝ මේ සිදුවීමෙන් කිපී ජාවෝට බැණ වැදුණි. ජාවෝද යමක් පවසනු දක්නට ලැබිණි. නමුත් එම සිදුවීමට වැඩි කාලයක් වැය වෙන්නට පෙර ජාවෝ පොලිස් අත්අඩංගුවට පත්විය.

කොහොම නමුත් එය පුද්ගලයකු මෙවැනි ක්‍රියාන්විතයක් වරක් නොව තෙවරක්ම ක්‍රියාවට නැංවීමෙන් පෙනී යන්නේ එංගලන්ත හා ටේල්ස් ක්‍රිකට් මණ්ඩලය තරග පැවැත්වෙන අතරතුරදී එරට ක්‍රීඩාංගණවලට ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයීමට අපොහොසත් වී ඇති බව ය.

එසේ වුවත් නිරුවතින් ක්‍රීඩාංගණ ආක්‍රමණය කොට තමන්ගේ නිරුවත ලෝකයට ම ප්‍රදර්ශනය කරන්නට ලජ්ජාවක් නැති ක්‍රීඩාංගණ ආක්‍රමණය කරන්නන් සිටින රටක් ලෙස සැලකිල්ලට ගත් විට ඩැනියල් ජාවිස්ගේ ක්‍රියාන්විතයන් තුළ දක්නට ඇත්තේ නිර්මාණාත්මක බවකි.

 

Comments