පිය සෙවණේ මහා මුලක් වූ කිරි මුල ජෝ රූට් | සිළුමිණ

පිය සෙවණේ මහා මුලක් වූ කිරි මුල ජෝ රූට්

 

'ලොව අංක එකේ ටෙස්ට් පිතිකරු දැන් එංගලන්ත පිතිකරුවෙකි. සෙමින් එහෙත් වඩාත් ස්ථාවර පිඹුරු ඉනිම් ක්‍රීඩා කරමින් ඔහු එම ස්ථානයට ළඟාවී තිබේ. ඒ ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් හි දී ප්‍රසාද ලකුණු 903 ක් ලබමිනි. ඔහු එම ස්ථානය දිනාගත්තේ නවසීලන්තයේ සුපිරි පිතිකරු කේන් විලියම්සන් පියවරක් පසුපසට ඇද දමමිනි. පසුගියදා ඉන්දියාව සමඟ පැවැති ටෙස්ට් තරගාවලියේ දී ඔහු ශතක හතරක් සමඟින් ලකුණු 564 ක් රැස්කළේ ශතක හතරක් සමඟ සංචාරක පන්දුයවන්නන් ඉදිරියේ යෝධ මුලක් ඉන්දවූවාක් වැනිව ය. සැබැවින්ම ඔහු එංගලන්ත පිල සතු යෝධ මුලය. නමින් ජෝ රූට් ය.'

රූට් ඉංග්‍රීසි බසින් 'මුල' යන්න හැඳින්වීමට යෙදේ. මුලක් නැත්තේ නම් දලු, කොළ, මල්, ගෙඩි හටගන්නේ නැත. මේ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන 'රූට්' නැත හොත් මුල ය.' ක්‍රිකට් ලෝකයේ ඔහු ප්‍රකටව සිටින්නේ ජෝ රූට් කියා ය. නමුත් ඔහු ජෝ නොව ජොසොප් ය. ඒ අනුව ඔහුගේ සම්පූර්ණ නම ජෝසොප් එඩ්වඩ් රූට් ය. ජෝ නැත හොත් ජෝසොප් රූට් උපන්නේ 1990 වසරේ ය. හරියට ම කියන්නේ නම් 1990 වසරේ දෙසැම්බර් 30 වැනි දා ය.

වසරක් නිම වන්නට දිනයකට පෙර උපන් රූට් පසු කලෙක ක්‍රිකට් ක්‍රීඩාව හා එක්වූයේ ය. එසේ ක්‍රිකට් පිටියට ආ ඔහු තම නමේ ස්වභාවයට අනුව යමින් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ මහා මුලක් බවට පත් වීමට සමත් වූයේ ය. ඒ අනුව ඔහු අද වන විට දිගු ක්‍රිකට් ගමනක් පැමිණ එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දක්වා පැමිණ තිබීම විශේෂිත ය. ඒ වඩා පරිණත සංයමකින් යුතු පිතිකරුවකු වශයෙනි.

ඔහු ගැන වෙසෙසින් අපට කතා කරන්නට නිමිත්තක් පහළ වූයේ පසුගිය දා රූට් අත්පත් කර ගත් වාර්තාවකි. ඒ ඉන්දියාව සමඟ පැවැති ටෙස්ට් තරග මාලාවේ දී ය.

එම වාර්තාව නම් අඩුම කාලයකින් ටෙස්ට් ලකුණු 9000 පසු කළ පිතිකරුවාගේ වාර්තාව තමා සතු කර ගැනීමට රූට් ට හැකි වීම ය. මෙම කඩඉම පසු කිරීමට ඔහු ගත කළ කාලය නව වසරකට අඩු ය. හරියටම කියන්නේ නම් වසර අටයි දින 242 කි.

ඒ ටෙස්ට් ඉනිම් 196 කට ක්‍රීඩා කරමිනි. එහි ඇති අනෙක් ප්‍රධාන කරුණක් වනුයේ ඔහු එය එංගලන්ත වාර්තාවක් වශයෙන් සටහන් කිරීමයි.

රූට්ට කලින් මෙම වාර්තාව පිහිටුවා තිබුණේ කුක් ය. කුක් යනු සූපවේදියා නොව එංගලන්ත ක්‍රිකට් පිටියේ සුපිරි සූපවේදියකු වූ ඇලිස්ටෙයාර් කුක් ය.

හේ ඉනිම් 204 ක දී ලකුණු 9000 පසු කර තිබිණි. කෙසේ වෙතත් රූට් ගේ මුල් කුමාර් සංගක්කාරගේ වේගය ඉදිරියේ තරමක් දුරට නොදියුණු ය. ඒ ලොව වේගවත් ම ටෙස්ට් ලකුණු නව දහසේ වාර්තාව පිහිටුවා ඇත්තේ ඉනිම් 172 ක දී ලකුණු 9000 කඩ ඉම පසු කළ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර වන හෙයිනි.

ජෝ රූට් ගැන වැඩි දෙනෙක් නොදන්නා කාරණයක් ද තිබේ. ඒ ඔහු ක්‍රිකට් පිටි ඇසුරේ කරක් ගසන්නට පටන් ගත්තේ කුඩා ම කුඩා සන්ධියේ සිටය යන්න ය. නිවැරැදි වයස දක්වන්නේ නම් අවුරුදු හයේ සිට ය. ඒ සම්බන්ධයෙන් වන මතක ඔහු මෙසේ සිහිපත් කර තිබේ.

“එංගලන්තයේ සෑම ක්‍රිකට් කණ්ඩායමක් දිහාම මම බලා සිටියා. යන්තමින් මට වයස අවුරුදු හය වුණ දා ඉඳලාම මම ක්‍රිකට් බැලුවා. මගේ ගෙදර වත්තේ ක්‍රිකට් ගහන කොට මම ලකුණු වැඩියෙන් ගත්ත පිතිකරුවන්ව අනුකරණය කළා. දකුණත් වේවා වමත් වේවා මට උවමනා වුණේ ඔවුන් වගේ පිතිකරුවකු වීම පමණයි.”

රූට්ගේ බලාපොරොත්තුව යථාර්ථයක් කරන්නට ඉදිරියට පැමිණියේ ඔහුගේ පියා ය. එහි පළමු ප්‍රතිඵලය ඔහු යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට සුදුසුකම් ලැබීමයි. අවුරුදු 22 ක් වද්දී ඔහු එංගලන්තය ටෙස්ට් කණ්ඩායමට එක්වූයේ ය. ඒ 2012 වසරේ දී ය. තම ටෙස්ට් දිවියේ පළමු තරගය නවසීලන්තයට එරෙහිව ක්‍රීඩා කළ රූට්, එරට ජාතික පිලේ නායකත්වයට පත්වන්නේ 2017 දී ය. එය ඔහුගේ ක්‍රිකට් දිවියේ සුවිශේෂ සන්ධිස්ථානය යැයි කිව හැකි ය. ඔහු එංගලන්ත පිල මෙහෙය වන අසූ වැනි ටෙස්ට් නායකයා ය.

ටෙස්ට් පිටියේ පිතිකරුවකු වශයෙන් ද රූට් ඉතා සාර්ථක ය. එම ගමනේ මේ වන විට ඔහු රැස් කර ඇති ශතක ගණන 23 කි. එයට අමතරව රජයෙන් පිරිනැමෙන ගෞරව සම්මානයකට හිමිකම් කීම ද සුවිශේෂී ය. පිතිකරුවකු වශයෙන් රූට් යනු එංගලන්තයට අභිමානයක් වන දශ ලක්ෂයකින් හමු නොවන ආකාරයේ දුර්ලභ පිතිකරුවෙකැයි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක, විස්තර විචාරක නසාර් හුසේන්ගේ මතයයි.

“මාගේ යුතුකම එංගලන්ත කණ්ඩායමට ස්ථාවර පිතිකරුවකු ලෙස ක්‍රීඩා කිරීමයි. හැකිතාක් ලකුණු අතර රැඳීමයි. පිටියෙන් සමුගන්නා තුරුම මම ඒ වගකීම ඉටු කරනවා.” යි රූට් කියන්නේ තම ඉදිරි ක්‍රිකට් ගමන ගැන හා තමන් සතු වගකීම් සම්බන්ධයෙන් අවබෝධයෙනි.

 

Comments