පාපන්දුවෙන් ලෝකයම මුසපත් කරන්න | සිළුමිණ

පාපන්දුවෙන් ලෝකයම මුසපත් කරන්න

 

මීළඟ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ නොවැම්බර් 21 සිට දෙසැම්බර් 18 දා දක්වා කටාර් හි දී ය. ඒ සඳහා තරග වැදීමට සුදුසුකම් ලබා ඇති රටවල් සංඛ්‍යාව 32 කි.

ලොව වැඩි ම ක්‍රීඩාලෝලීන් ප්‍රමාණයකගේ හෘද ස්පන්දන වේගය තීව්‍ර කරන ක්‍රීඩාව ලෙස පාපන්දු ක්‍රීඩාව මුදුන් හිනිපෙත්තේ පසු වන අතර, එහි මීළඟ අදියර දැක බලා ගැනීම සඳහා පුන පුනා බලා සිටින ප්‍රමාණය විශාල ය.

සුපුරුදු පරිදි කාණ්ඩ 08 ක් යටතේ ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරෙන මූලික වටයේ දී සුවිශේෂ දක්ෂතා ප්‍රදර්ශනය කරන කණ්ඩායම් 16 ක් එහිදී පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයට පැවැත්වෙන දෙවැනි වටය සඳහා තෝරා ගැනේ. මෙවර මූලික වටයේ තරග පැවැත්වෙන්නේ 2022 නොවැම්බර් මස 21 දින සිට දෙසැම්බර් 03 දක්වා ය. දෙවැනි වටය හෙවත් හොඳම රටවල් 16 අතරේ ක්‍රියාත්මක කෙරෙන තරග වටය පැවැත්වෙන්නේ දෙසැම්බර් මස 03 දින සිට 06 දා දක්වා ය..

ඉන් අනතුරුව එළඹෙන්නේ අර්ධ අවසන් පූර්ව වටය සහ අවසන් පූර්ව වටය මෙන් ම අවසාන මහා තරගය ය. ඒවා පිළිමළුන් පිටුදැකීමේ සාම්ප්‍රදායික ක්‍රමයට පැවැත්වේ. මෙහි අර්ධ අවසන් තරග දෙසැම්බර් 09 සහ 10 දෙදින ද අවසාන පූර්ව තරග 13 සහ 14 යන දිනයන්හි දී ද තෙවැනි තැන වෙනුවෙන් පැවැත්වෙන තරගය 17 දා ද පැවැත්වේ. අවසාන මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ 18 වැනි දා යි.

ඒ අනුව ජයග්‍රාහකයන්ට ෆීෆා ලෝක කුසලානය පිරිනැමේ.

වර්ෂ 1930 සිට ජගත් පාපන්දු ශූරයන් හට “ජූල්ස් රීමේට් කුසලාන” ප්‍රදානය කෙරුණි. ෆීෆා ලෝක කුසලාන පිරිනැමීම සිදු කෙරෙනුයේ 1974 වසරේ සිට ය.

කිලෝ ග්‍රෑම් 06.1 ක් බර හා සෙන්ටි මිටර් 36.8 ක් උස කැරට් 18 රත්තරනින් නිමවා ඇති ලෝක කුසලාන වෙනුවෙන් පැවැත්වෙන තරග ක්‍රීඩාංගණ 08 ක දී පැවැත්වෙනු ඇත.

මීළඟ ජගත් පාපන්දු ශූරතාව වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරග මේ වන විට ඒ ඒ මහාද්වීප මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන අතර, එහි උණුසුම වඩාත් තියුණු වූ බවක් අද වන විට පෙනෙන්නට තිබේ.

නවතම පාපන්දු ශ්‍රේණිගත කිරීම

ජපානයේ ටෝකියෝ අගනුවර දී ක්‍රියාත්මක කෙරුණු තිස් දෙවැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ උණුසුම පහව යෑමත් සමඟ ම සිදු කෙරුණු අන්තර්ජාතික පාපන්දු නවතම ශ්‍රේණිගත කිරීම අනුව ප්‍රතිවාදී රටවල් 110 ක් අභිබවමින් ලොව අංක එක ස්ථානය නැවත වතාවක් තහවුරු කර ගැනීමට බෙල්ජියම සමත් වී ඇත.

ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමේ ලකුණු පුවරුව විධිමත් අයුරින් ක්‍රියාත්මක කර ගන්නට සමත් වූ බෙල්ජියම ඒ වෙනුවෙන් සටහන් කර ගෙන ඇති ප්‍රසාද ලකුණු ප්‍රමාණය 1822 කි.

91 වසරක ඈත අතීතයකට හිමිකම් කියන ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ කිසිදු දිනක ශූරතාවය හෝ අනුශුරතාවය දිනා ගැනීමට සමත් වී නොමැති බෙල්ජියම සතු විශේෂිත ම දක්ෂතාවය ලෙස සැලකෙන්නේ 2018 වසරේ රුසියාවේ දී පවත්වන ලද අවසන් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආශ්‍රිතව සටහන් කර ගත් ලෝකඩ පදක්කමයි.

නවතම ශ්‍රේණිගත කිරීමට අනුව අංක 01 ස්ථානය බෙල්ජියම විසින් ආරක්ෂා කර ගන්නා අතර වාරයේ 1958, 1962, 1970, 1994 සහ 2002 යන අවස්ථා 05ක දී ලෝක කුසලාන දිනා ගනිමින් පෙරමුණේ පසුවෙන බ්‍රසීලය දෙවැනි ස්ථානය තහවුරු කර ගෙන සිටී.

1998 සහ 2018 ලෝක කුසලානයට හිමිකම් කියූ ප්‍රංශය තෙවැනි තැන තහවුරු කර ගෙන ඇති අතර, සිව් වැනි ස්ථානය 1966 ලෝක කුසලානය දිනූ එංගලන්තයට ද 1934, 1938, 1982 සහ 2006 ලෝක කුසලාන දිනා ගෙන ඇති ඉතාලියට පස් වැනි ස්ථානය ද හිමි වී ඇත.

අදාළ ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාවට හිමිවී තිබෙන්නේ ලොව 205 වැනි ස්ථානයයි. ශ්‍රී ලංකාවට වඩා පහළින් ශ්‍රේණිගත ව සිටින රටවල් සංඛ්‍යාව 06 ක් පමණි.

ආසියාතික රටවල් අතර, ප්‍රථම ස්ථානය ජපානය ද දෙවැනි ස්ථානය ඉරානය ද තහවුරු කරගෙන ඇති අතර වාරයේ ඔස්ට්‍රේලියාව තෙවැනි තැනට පත්ව ඇත.

ආසියාතික රටවල් 47ක් ආශ්‍රිතව ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ එහි අවසන් ස්ථානය ය.

දකුණු ආසියානු කලාපයේ හෙවත් දකුණු ආසියාතික රටවල් අතරින් පළමු ස්ථානය හිමි කර ගැනීමට ඉන්දියාව සමත්ව සිටී. එකී දෙවැනි ස්ථානයට ඇෆ්ගනිස්ථානය ද තෙවැනි ස්ථානයට මාලදිවයින ද ශ්‍රේණිගත කර ඇති අතර, ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ 08 වැනි ස්ථානයයි. දකුණු ආසියාතික කලාපයට අයත් රටවල් සංඛ්‍යාව ද අටකි.

ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව පළමු රටවල් 20

01. බෙල්ජියම 02. බ්‍රසීලය 03. ප්‍රංශය 04. එංගලන්තය 05. ඉතාලිය 06. ආජන්ටිනාව 07. ස්පාඤ්ඤය 08. පෘතුගාලය 09. මෙක්සිකෝව 10. ඇමරිකා එක්සත් ජනපදය 11. ඩෙන්මාර්කය 12. නෙදර්ලන්තය 13. උරුගුවේ 14. ස්විස්ටර්ලන්තය 15. කොලොම්බියාව 16.ජර්මනිය 17. ස්වීඩනය 18. ක්‍රොඒෂියාව 19. වේල්සය 20. චිලී.

ආසියාතික රටවල් අතරේ ශ්‍රේණිගතව සිටින පළමු රටවල් 10

01.ජපානය 02.ඉරානය 03. ඔස්ට්‍රේලියාව 04.කොරියාව 05.කටාර් 06. සෞදි අරාබිය 07.එක්සත් අරාබි එමිර් රාජ්‍යය 08.ඉරාකය 09.චීනය 10.ඕමානය.

දකුණු ආසියාතික රටවල් ස්ථානගත වන ආකාරය

01. ඉන්දියාව 02. ඇෆ්ගනිස්ථානය 03. මාලදිවයින 04. නේපාලය 05. භූතානය 06. බංග්ලාදේශය 07. පකිස්ථානය 08. ශ්‍රී ලංකාව.

 

Comments