කාලේ තාලෙට බෝලේ පිතිකරුවෝ නිමැවූ හ | සිළුමිණ

කාලේ තාලෙට බෝලේ පිතිකරුවෝ නිමැවූ හ

'සම්මත යන්නෙහි විරුද්ධ පදය අසම්මත ය. බොහෝ විට සම්මතයට වඩා අසම්මතය ප්‍රිය උපදවන්නැක් යැයි සිතන්නෝ බොහෝ ය. ක්‍රිකට් පිටිය තුළ ද අසම්මතය රජයන සොඳුරු අවස්ථා වෙනුවෙන් වැඩි ඉඩක් වෙන්වන්නේ එහෙයින් විය හැකි ය. මේ ක්‍රිකට් පිටියේ දී දැකීමට ලැබෙන පිතිකරුවන්ගේ එවැනි අසම්මත රංගනයන් පිළිබඳ ය.'

මූලික පහරවලට අමතරව විටින් විට පිතිකරුවන් විසින් ක්‍රිකට් ලොවට හඳුන්වා දුන් පිති ප්‍රහාර කිහිපයක් ද හඳුනාගත හැකි ය. වේගපන්දු ඉදිරියේ ආරක්ෂා සහිතව පන්දුවට පහර දීමේ දී, කඩුල්ල මුවා වීමේ වරදට හසු නොවී පන්දු යවන්නාට මුහුණ දීම වැනි අවස්ථාවන් හි බොහෝ විට එම නව තාලයේ පහර නිර්මාණය වීම සිදු ව තිබේ.

එසේ නිර්මාණය වන බොහෝ පිති ප්‍රහාර, ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික පිති ප්‍රහාරයන්ගේ දිගුවක් ලෙස හඳුනා ගත හැකි ය. ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු ටී.එම්. ඩිල්ෂාන් විසින් හඳුන්වා දුන් ඩිල්ස්කූප් පහර ඊට කදිම උදාහරණයකි. එය ස්කූප් පහරේම වැඩි දියුණු කරන ලද පහරක් ලෙස සැලකෙයි.

පැඩ්ල් ස්කූප් - ඩග්ලස් මාරිලියර්

2001 වසරේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව සිම්බාබ්වේ පිතිකරු ඩග්ලස් මාරිලියර් විසින් පැඩ්ල් ස්කූප් පහර පළමුවරට හඳුන්වා දුනි. ඕස්ට්‍රේලියානු සුපිරි පන්දු යවන්‍නෙකු වූ ග්ලේන් මැග්‍රාත් විසින් තරගයේ අවසන් පන්දුවාරයේ එවූ පන්දුවකට ඩග්ලස් විසින් මෙම පහර එල්ල කර තිබුණේ ය. එම පන්දුවාරයේ පිට පිට පන්දු දෙකකට ම එල්ල කළ මෙම පහර 'රැම්ප් ෂොට්' නමින් මෙන්ම 'මාරිලියර් ෂොට්' කියාද හැඳින්වෙයි.

පෙරි ස්කූප් - සෞම්‍ය සර්කර්

පෙරී ස්කූප් පහරේ නිමැවුම්කරුවා වන්නේ බංග්ලාදේශ සුපිරි පිතිකරු සෞම්‍ය සෙර්කාර් ය. 2014 වසරේ දී සිම්බාබ්වේ සමඟ පැවැති එක්දින තරගයක දී තිනාෂේ පනයංගරා එවූ පන්දුවකට සර්කාර් විසින් මෙම පහර එල්ල කරනු ලැබුවේ ය. මෙය සැලකෙන්නේ ද ස්කූප් පහරේ දිගුවක් ලෙස ය.

ස්විච් හිට් - කෙවින් පීටර්සන්

එංගලන්ත සුපිරි පිතිකරු කෙවින් පීටර්සන් විසින් ස්විච් හිට් පහර ක්‍රිකට් ලොවට හඳුන්වා දුන්නේ 2006 වසරේ දී ය. ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයක දී මුත්තයියා මුරලිදරන්ගේ පන්දුවකට, කෙවින් පීටර්සන් මෙම පහර එල්ල කළේ ය.

හෙලිකොප්ටර් පහර - මොහොමඩ් අසාරුදින්

හෙලිකොප්ටර් පහර ක්‍රිකට් ලොවට හඳුන්වා දෙන්නේ ඉන්දීය හිටපු සුපිරි පිතිකරුවකු වූ මොහොමඩ් අසාරුදින් විසිනි.

ඒ 1990 වසරේ දී ඊඩ්න් ගාඩ්න් පිටියේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැති තරගයක දී ය.

බොහෝ තැන්වල හෙලිකොප්ටර් පහරේ නිමැවුම්කරු එම්.එස්.දෝනි ලෙස හඳුන්වා තිබුණත් එහි පළමු නිමැවුම්කරු පෙර කීවාක් මෙන් අසාරුදීන් ය. නමුත් එම්.එස්. දෝනි විසින් අවස්ථා කිහිපයක දී ම මෙම හෙලිකොප්ටර් පහර දර්ශනීයව එල්ල කර ඇති බව ද කිව යුතු ය.

රිවස් ස්කූප් - ඒ.බී. ඩිවිලියර්ස්

රිවස් ස්කූප් නම් පහරේ නිමැවුම්කරුවා වන්නේ දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු ඒ.බී.ඩිවිලියර්ස් ය. මසාන්සි නම් සුපර් ලීග් තරගාවලියේ දී දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නකු වන ජූනියර් ඩලා යොමු කළ පන්දුවකට මෙම නව පහර එල්ල කෙරුණි.

අපර් කට් ෂොට් - සචින් ටෙන්ඩුල්කාර්

අපර් කට් පහර ක්‍රිකට් ලොවට හඳුන්වා දෙන්නේ සචින් ටෙන්ඩුල්කාර් ය. ඒ 2002 වසරේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයක දී වේග පන්දු යවන මකායා එන්ටිනි එවූ පන්දුවකට ය.

හොකී ෂොට් - ජොස් බට්ලර්

හොකී පහර හඳුන්වා දුන්නේ එංගලන්ත සුපිරි පිතිකරු ජොස් බට්ලර් විසිනි. 2017 වසරේ දී නවසීලන්තයට එරෙහිව පැවැති එක්දින තරගයක දී ටිම් බෝල්ට් එවූ පන්දුවකට ඔහු එම නව තාලයේ පහර එල්ල කළේ ය.

ෆ්ලෙමින්ගෝ බැක්ෆුට් ඩිෆෙන්ස් - ට්‍රෙන් බෝල්ට්

නවසීලන්ත ක්‍රීඩක ට්‍රෙන් බෝල්ට් විසින් හඳුන්වා දුන් ෆ්ලෙමින්ගො බැක්ෆුට් ඩිෆෙන්ස් පහර ද සුවිශේෂී පිති පහරකි. පාදයක් ඔසවා එල්ල කරන මෙම පහර බලා සිටින්නන්ට විනෝදයක් ද ගෙන දෙයි.

එය සාම්ප්‍රදායික ඩිෆෙන්ස් පහරේ දිගුවක් ලෙස සැලකෙයි. නිතර පාදයක් ඔසවාගෙන සිටින ෆ්ලෙමින්ගො නම් පක්ෂියා ගේ හැසිරීමත් මෙම පහර එල්ල කිරීමේ දී බෝල්ට් හැසිරෙන ආකාරයෙහිත් ඇති සමානත්වය නිසා එය ෆ්ලෙමින්ගෝ බැක්ෆුට් ඩිෆෙන්ස් යනුවෙන් නම් කර ඇත.

ඩිල් ස්කූප් - තිලකරත්න ඩිල්ෂාන්

ක්‍රිකට් ලෝකයේ අලුත් තාලයේ පහරවල් අතර ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු ඩිල්ෂාන් හඳුන්වා දුන් ඩිල් ස්කූප් පහර ද අමතක කළ නොහැකි ය. 2009 වසරේ දී ප්‍රථම වරට ඩිල්ස්කූප් පහරක් එල්ල කළ ඩිල්ෂාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා තුරු විටින් විට කිහිප වතාවක් ම එම පහර එල්ල කළේ ය. එම නව තාලයේ ස්කූප් පහර අයි.සී.සීය විසින් ඩිල්ෂාන්ගේ නමෙහි මුල් කොටස ද සහිතව ඩිල් ස්කූප් ලෙස නම් කරනු ලැබුවේ ඩිල්ෂාන්ට කරන ගෞරවයක් ලෙස ය.

 

Comments