අපෙන් කවුරුවත් සේවයක් ගන්නේ නෑ | සිළුමිණ

අපෙන් කවුරුවත් සේවයක් ගන්නේ නෑ

 

පිට මැද ලෙළෙන ගෙතූ කොණ්ඩය ළතාවකට සෙලවෙන්නේ ය. ඒ ඇගේ පා යුග ධාවන පථය මත තැබෙන රිද්මයට ය. ඈ මඳ පමණ උසැති කතකැයි කිව හැකි ය. සුවැති ළතාවකට ධාවන පථය මත වේගයෙන් අඩි තබමින් දිව යන්නී ය. ප්‍රේක්ෂකාගාර තුෂ්ණීම්භූත ය. එහෙත් ඒ දිව යන්නේ ලංකා සංස්කෘතියේ හැදී වැඩුණු ජාතියේ කාන්තාව ය. පසු යුගයේ පහළ වන ක්‍රීඩිකාවනට ජාත්‍යන්තරය දිග් විජය කරන්නට පෙරමඟ සැකසූ අපූරු ගැහැනිය ය. මේ ඈ සමඟ කලකට පසු ‘ක්‍රීඩා’ හමුව ය.’

‘මම ඉල්ලන්නේ ඔලිම්පික් ගිය ක්‍රීඩකයන්ට විශාම වැටුපක් දෙන්න කියලයි. ඒක රජය මූලික වෙලා සිදු කළ යුතුයි. අපේ ඔලිම්පික් ගිය ක්‍රීඩිකාවෝ අනූ ගණනයි ඉන්නේ. එකෙනුත් විසි ගණනක් දැන් ජීවතුන් අතර නෑ. සමහරු හැත්තෑව පැනලා. අමාරුවෙන් ජීවත් වෙන්නේ. තනි වෙලා, අසරණ වෙලා. බේත් හේත් ගන්නත් සමහරුන්ට සල්ලි නෑ. මම කියන්නේ මේ මිනිස්සු ඔලිම්පික් යන්න තමුන්ගේ ජීවිතයේ ජවයෙන් පිරුණු කාලයේ වසර දහයක් පමණ මහන්සි වෙලා කැප වෙලා තිබෙනවා. ඉතින් ඔවුන්ට දැන් රජයෙන් විශ්‍රාම වැටුපක් ගෙවන්න ක්‍රමයක් සැකසෙන්න ඕනෑ.’ යැයි කීවේ බාසිලෝනා ඔලිම්පික් උළෙලට ගිය ශ්‍රී ලංකාවේ විශිෂ්ට මලල ක්‍රීඩිකාවක වන ධම්මිකා මැණිකේ ය. කලකට පසු ‘ක්‍රීඩා’ හා සාකච්ඡාවකට එක්වෙමින් ඈ මේ බව පැවසුවා ය.

‘පුංචි කාලේම මට සිහිනයක් තිබුණා. ඒ තමයි කොහොම හරි ඔලිම්පික් ක්‍රීඩා උළෙලට යන්න. දැඩි උත්සාහය කැපවීම එක්ක මම ඊට පුහුණු වුණා. එය සැබෑ කර ගැනීමට හැකි වුණු එක ගැන මට ගොඩාක් සතුටුයි.’ ඈ කීවේ සිනහ සලමිනි.

‘මම ඔලිම්පික් ගියේ 1992 වසරේ දී යි. ඒ තරගය පැවැත්වුණේ ස්පාඤ්ඤයේ බාසිලෝනාවල යි. ඔලිම්පික් රිදී ජුබිලිය සැමරූ එම තරගයේ දී මීටර් 800 ඉසව්ව විනාඩි 2.35 කින් නිම කර මා තැබූ ශ්‍රී ලංකා වාර්තාව දසක තුනකට ආසන්න කාලයක් නොබිඳී පැවතුණා. හරියටම කියනවා නම් එය වසර 27 ක් වැනි සුවිශාල කාලපරිච්ඡේදයක් . එසේම මීටර් 1500 වාර්තාව විනාඩි 2 .263 කින් නිම කිරීමේ ශ්‍රී ලංකා වාර්තාව අවුරුදු 18 ක් තිස්සේ නොබිඳී පැවතුණා. මට ඒ ගැන ආඩම්බරයක් තිබෙනවා.’ ඈ කියන්නී ය.

‘අපි ඔලිම්පික් යන්න සූදානම් වුණු කාලයේ අද තිබුණු පහසුකම් අපිට තිබුණේ නැහැ. අපි එදා පුහුණුවීම් කළේ ටොරිංටන් ක්‍රීඩාංගණයේ යි. මට මතකයි මම ඔලිම්පික් යන්න වසර 10 ක් තිස්සේ පුහුණුවීම් කළ ආකාරය. එදා රූපවාහිනියේ කැන්ටිමෙන් රුපියල් 12 ට බත් පැකට් එක කාලයි පුහුණුවීම් කළේ. ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් ඔලිම්පික් යන්න කලින් ජර්මනියේ පුහුණුවීම්වලට අපිව යැව්වා.

මගේ ගම ගාල්ල අක්මීමන. ප්‍රාථමික අධ්‍යාපනය ගාල්ල උපනන්ද විද්‍යාලයෙන් හා උසස් අධ්‍යාපනය ගාල්ල සංඝමිත්තා බාලිකාවෙන් හැදෑරුවා. පාසලේ දී මීටර් 75, මීටර් 100 වැනි ඉසව්වලින් හැමදාම ප්‍රථම ස්ථානය හිමි කර ගත්තා. එසේම පාසලේ දැල් පන්දු , වොලිබෝල්, එල්ලේ, කාන්තා පාපන්දු මෙන්ම පාසල් ක්‍රීඩා කණ්ඩායමේ නායකත්වය දැරුවා. ඒ නිසා 1984 දී ගාලු දිස්ත්‍රික්කයේ දක්ෂත ම ක්‍රීඩිකාව වෙන්න මට හැකි වුණා.’ ඈ අතීතය සිහිපත් කළා ය.

‘ මම ජාතික මහා ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක් දිනාගනිද් දී මගේ වයස අවුරුදු 14 යි. එදා කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැති තරගාවලියේ දී මීටර් 800 න් දෙවැනි ස්ථානයත් මීටර් 1500 න් තෙවැනි ස්ථානයත් දිනා ගත්තා. ඒ අවුරුද්දේ ම තමයි ලොස් ඇන්ජලිස්වල තිබුණු ඔලිම්පික් උළෙලේ දී කාල් ලුවිස් ඉසව් 4 කින් රන් පදක්කම් දිනාගත්තේ. එදා මට ලොකු ආසාවක් ඇති වුණා. ඉතින් කවදා හරි ඔලිම්පික් යන්න ඕනෑ කියලා මම හිතා ගත්තා.’ ධම්මිකා මැණිකේ කීවා ය.

‘මම 1992 වසරේ දී ඔලිම්පික් යනකොට වයස අවුරුදු 22 යි. කොහොමහරි මම කාල් ලුවිස් හා ඔහුගේ සහය දිවීමේ කණ්ඩායම එක්ක ඡායාරූපත් ගත්තා.’ ඇය සිය ඉලක්කය සාධනය කර ගැනීම ගැන කතා කළේ ආඩම්බරයෙනි.

‘මම සාමාන්‍ය පවුලක කෙනෙක්. මගේ දෙමවුපියෝ කළේ ගොවිතැන. අපි දුවන සපත්තු දැකලවත් තිබුණේ නැහැ. හැබැයි තියන සම්පවත්වලින් උපරිම ජවය යොදලා තරගයට මුහුණ දුන්නා. එහෙම තමයි මට ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා වාර්තා දෙකක්ම තබන්න හැකි වුණේ.’ ඈ ඒ බව කීවේ ජාත්‍යන්තරයේ දී තම උපරිම දක්ෂතාවය දැක්වීමේ අවශ්‍යතාවය ගැන දක්වමිනි.

‘මම මුලින්ම සහභාගී වූ ජාත්‍යන්තර තරගය 1985 දී සිංගප්පූරුවේ පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල යි. එතකොට මට වයස අවුරුදු 15යි. අනිත් අයට අවුරුදු 20 යි. එදා මට තරගයට දාන්න සපත්තු තිබුණේ නෑ. කකුල් දෙකට ප්ලාස්ටර් දාලා තමයි තරගයට මුහුණ දුන්නේ. එහිදී මා මීටර් 3000 තරගය මීටර් 200 ක් පමණ ඉදිරියෙන් තමයි නිම කරලා රන් පදක්කම හිමි කර ගත්තේ. දෙවැනි දවසේ මීටර් 1500. ඒත් මගේ කකුලේ දියපට්ටා ඇවිත් තිබුණා. ඒත් මම ආපහු කකුල් දෙකට ප්ලාස්ටර් ගහගෙන තරග වැදුණා. චීන හා ජපන් ක්‍රීඩිකාවන් දෙදෙනා රන් හා රිදී පදක්කම් දිනා ගනිද් දී මම ලෝකඩ පදක්කම දිනා ගත්තා. අන්තිම මීටරයේ දී තමයි ජපන් ක්‍රීඩිකාව මා පසු කර දිව්වේ.’ ඈ සිය අතීතයේ සාඩම්බර ජයග්‍රහණය ගැන එලෙස පැවසුවා ය.

‘කොහොම හරි මම ගමට ආවහම ගමේ එවක හිටි දේශපාලනඥයෙක් රුපියල් 3000/-ක මුදලක් පරිත්‍යාග කළා. ගමේ තරුණ තරුණියෝ බෝවිටියා මල්මාලාවලින් මාව සරසාගෙන ගම පුරා ට්‍රැක්ටරයකින් ගෙනිච්චා. ඒ තමයි අපිට ලැබුණු අහිංසක ඇගයීම. 1980 සිට 1993 දක්වා වසර 13ක් ම කළේ රට වෙනුවෙන් දහඩිය හෙළපු එක විතරයි.’ ඈ පවසන්නේ කිසියම් කනගාටුවක් සහිතව ය.

තමන් වැනි ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අත්දැකීම් මඟින් ප්‍රයෝජනයක් නොගැනීම ගැන ඇය දරන්නේ කනගාටුවකි. ඇගේ මතය ජවසම්පන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයාගැනීම ගමට යෑමෙන් සිදු කළ හැකි බව ය.

‘ඒ අය කොළඹ එක්ක ඇවිත් නවාතැන් පහසුකම්, පාසල් පහසුකම් ලබා දීලා එවැනි ධනාත්මක වැඩපිළිවෙළක් සකසනවා නම් අපිට මීට වඩා ඉදිරියට යන්න පිළිවන්. වත්මන් ක්‍රීඩා ඇමැතිගේ නැන්දත් මා එක්ක ක්‍රීඩා කළ කෙනෙක්.’ ඈ පවසන්නී ය.

‘මම වසර 30 ක්ම (1992 - 2021) දක්වා හැටන් නැෂනල් බැංකුවේ සේවය කළා. මීට මාස කිහිපයකට පෙර රැකියාවට සමුදුන්නා. දැන් මට අවුරුදු 26 හා 22 ක පුතුන් දෙදෙනෙක් හා උසස් පෙළ කරන වයස අවුරුදු 20ක නිවුන් දියණියන් දෙදෙනෙක් සිටිනවා. නමුත් අපේ දරුවන් අපි වගේ ක්‍රීඩාව මෙන්ම අධ්‍යාපනය සමබරව කරන්නේ නැහැ. අපි වගේ ක්‍රීඩාවට මුල් තැන දෙන්නේ නැහැ. මම ඒ අයගේ අධ්‍යාපන කටයුතුවලට සහය වෙනවා. මම මල් වවනවා, එළවළු වවනවා. ඒක තමයි දැන් ජීවිතය.’ ඈ කීවේ ක්‍රීඩා හා පැවැති සුහද සංවාදය අවසන් කරමිනි.

ධම්මිකා යනු ශ්‍රී ලංකා ක්‍රීඩාවේ අමතක කළ නොහැකි කාන්තා සන්නාමයකි. අපි ඇයට සමුදී පැමිණියේ ඇගේ ඉදිරි ජීවිතය සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වන්නට සුබ පතමිනි.

 

Comments