කාලය මැවු වෙනසක අරුමේ | සිළුමිණ

කාලය මැවු වෙනසක අරුමේ

ල්ටී.ටී.ඊ සංවිධානය සෑම විටම පෙනී සිටියේ මුහුණු දෙකකිනි. ඒ බව වඩා හොඳින් දැන සිටියේ ඔවුන්ගේ ත්‍රස්තවාදයට ඍජුව මුහුණ දුන් අය මිස අන් කිසිවකු නොවේ. එහෙත් ඔවුන් ලොවට පෙන්වූ සානුකම්පිත මුහුණ දුටු බොහෝ දෙනා සත්‍ය අවබෝධ කර ගැනීමෙන් තොරව ඔවුන්ට සහය පළ කළහ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා මානව හිමිකම් කොමිසම දක්වා ශ්‍රී ලංකාව ගෙන ගියේ එම බොරු මුහුණ මිස අන් කිසිවක් නොවේ. මිලේච්ඡ ත්‍රස්තවාදී සංවිධානයක් මුලිනුපුටා දැමීම මානව හිමිකම් කඩකිරීමක් වන්නේ කෙසේදැයි ශ්‍රී ලාංකික අපි යළි යළිත් ලෝකයෙන් විමසුවෙමු. එහෙත් ලෝකය ත්‍රස්තයන්ට අනුකම්පා කරමින්, බෙදුම්වාදීන්ට සහය දෙමින් අපට එරෙහිව චෝදනා ඉදිරිපත් කළේය.

කාලය ගත වී තිබේ. සතුටට කරුණ නම් කාලයත් සමඟ අප සටන් කළේ කුමක් වෙනුවෙන්දැයි ලෝකය තේරුම් ගෙන තිබෙනු දැකීමය.

ඒ සඳහා හොඳම උදාහරණය පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය මිෂෙල් බැෂලේ ඉදිරිපත් කර සිටියාය. ඇය ඉදිරිපත් කළ වාචික වාර්තාව අභ්‍යන්තරයේ ශ්‍රී ලංකා රජය මානව හිමිකම් වෙනුවෙන් වගවීම සහ සංහිඳියාව වෙනුවෙන් ගනිමින් පවතින ක්‍රියාමාර්ග කෙරෙහි සතුටට පත්ව සිටින බවට අදහස් බොහෝ විය. සැබවින්ම එම කතාවේ සරල හරය වන්නේ අනෙකාව නිවැරදිව තේරුම් ගැනීම කොතරම් වැදගත්ද යන්නයි.

මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මිෂෙල් බැෂලේ තම වාචික වාර්තාවේදී ඍජුව පවසා සිටියේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ රජය එක්සත් ජාතීන් සමඟ වගවීම පිළිබඳ සහයෝගයෙන් කටයුතු කිරීම ප්‍රශංසනීය බවයි. වින්දිතයන්ට වන්දි ගෙවීමේ ජාතික ප්‍රතිපත්තිය සම්මත කර ගැනීම සහ පුනරුත්ථාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම පිළිබඳව ද ප්‍රශංසාව පළ කරන බව මහ කොමසාරිස්වරිය පවසා සිටියාය.

ත්‍රස්ත මර්දන පනත යටතේ දඬුවම් ලැබූ එල්.ටී.ටී,ඊ. සිරකරුවන් 16 දෙනෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට ගත් තීරණය ද අගය කරන බව මහ කොමසාරිස්වරිය වැඩි දුරටත් පවසා සිටියාය. එමෙන්ම ඇයගේ අදහස වූයේ ත්‍රස්ත මර්දන පනත යළි සංශෝධනය සඳහා කැබිනට් උප කමිටුවක් පත් කිරීම ඉතා නිවැරදි තීරණයක් බවයි.

එමෙන්ම 2021 ජනවාරි මාසයේදී ජාතික විමර්ශන කොමිසම පත් කිරීමත්, එහි වාර්තා යුහුසුලුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ලැබීමට සැලැස්වීමත් අගය කරන බව පැවසූ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සිවිල් සමාජයට හිමි අවකාශය වර්ධනය කිරීම උදෙසා පුළුල් සංවාදයක් ඇති කිරීම පිළිබඳව තමා ඉතා සතුටට පත් වන බවද තම වාචික වාර්තාවේදී පවසා සිටියාය.

සැබවින්ම මේ සියල්ලෙන් පැහැදිලිව පෙනී යන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කොටි මුහුණ සඟවා ගෙන බළල් මුහුණු ඉදිරිපත් කළ රැවිටිලිකාරයන්ගෙන් තොරව ශ්‍රී ලංකා රජය අවබෝධ කර ගනිමින් සිටින බවයි. විය යුත්තේද එයමය.

ත්‍රස්තවාදය තුරන් කරමින් රටේ ජනතාවට සැනසිල්ලේ ජිවත් වීමට අවශ්‍ය පරිසරය ඇති කිරීම වෙනුවෙන් කැපවූ ශ්‍රී ලංකා වාසීන්ට තවදුරටත් අනෙකාව තළා පෙළා දැමීමට කිසිසේත් අවශ්‍ය නැත. අප කිසිදා දමිළ ජාතිකයන්ට එරෙහිව අවි අමෝරා ගත්තේ නැත. අප සටන් වැදුණේ ත්‍රස්තවාදයට එරෙහිවය.

එහෙත් ඩයස්පෝරා හම පොරවාගත් ත්‍රස්තවාදීන් පවසා සිටියේ අප රටේ සුළු ජාතිකයන්ට තැනක් නැති බවයි. දැන් දැන් සත්‍ය එළිවෙමින් පවතින බව පෙනේ. අප සැමට අවශ්‍ය මේ භූමියේ සාමයෙන් ජීවත් වීමටය. මරණ බියෙන් තොරව සිටීමටය. සැමටම එකසේ සලකනු දැකීමටය. එලෙස එකසේ සැලකුම් ලැබීමටය. ඉතින් එසේ නම් නඩු ඇසීමට යාන්ත්‍රණයන් කුමටද? තුන්වන පාර්ශ්වයක මැදිහත් වීම් කුමකටද?

ශ්‍රී ලංකාව වෙනුවෙන් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මේ පවසන්නේ දැන් ඇයට දකින්නට පෙනෙන්නට තිබෙන දේ ය. අසන්නට ලැබෙන දේය. වඩා වැදගත් වන්නේ ඇය ඒවා නිවැරදිව දකිමින් සිටීමය. ශ්‍රී ලංකාව කෙරෙහි මවා තිබූ වැරදි චිත්‍රය වෙනුවට රජය, රට වෙනුවෙන් ගන්නා අති සියුම්, නම්‍යශීලී උත්සාහයන් නිවැරදිව වටහා ගැනීමට මානව හිමිකම් කොමසාරිස්වරියට හැකියාව ලැබීම අපි අගය කරන්නෙමු. දැන් ඇය නිවැරදි දේ දකිමින් සිටින්නීය.

ශ්‍රී ලංකාව මේ ජයග්‍රහණ දිනා ගත්තේ ඉතා සීරුවෙන්, නම්‍යශීලීව ජාත්‍යන්තරයේ අවධානය දිනා ගනිමිනි. විශ්වාසය දිනා ගනිමිනි. එය ශ්‍රී ලංකා රජය ලැබූ ජයග්‍රහණයකි. හදිස්සි වීමෙන් මෙවැනි ජයග්‍රහණ ලබා ගැනීමට බැරිය.

1991 වසරේ මැයි මස 11 වැනිදා පැවති පළාත් පාලන මැතිවරණයේදී දික්වැල්ලේ ඡන්ද මධ්‍යස්ථානයක හොර ඡන්ද දැමීමක් පිළිබඳව එවකට ශ්‍රී ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් දික්වැල්ල පොලීසියට පැමිණිල්ලක් කළේය.

එයට හැරෙන තැපෑලෙන් පිළිතුරු දුන් එවකට ජනාධිපති ආර්. ප්‍රේමදාස ග්ලැඩ්ස්ටන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ලෙස ශ්‍රී ලංකාව තවදුරටත් පිළි නොගන්නා බව පැවසීය. බ්‍රිතාන්‍යයට ග්ලැඩ්ස්ටන්ව යළි තම රටට කැඳවීමට සිදු වූ අතර වෙනත් මහ කොමසාරිස්වරයකු පත් කර එවීමටද සිදු විය.

ඒ එදාය. අද අපි ඉතා ඉවසීමෙන්, සියුම් ව මෙන්ම නම්‍යශීලීවද කටයුතු කරමින් ජාත්‍යන්තරය දිනා ගනිමින් සිටින්නෙමු. තවත් ජයග්‍රහණ තව ඉදිරියට දැකීමට හැකි වනු ඇත. එතෙක් අප සැමටම වැදගත් වන එක් දෙයක් කෙරෙහි අවධානය යෙමු කළ යුතුය. එනම් වංචා සහගත ප්‍රකාශ මෙන්ම මවාපෑම්වලින් නොරැවටී තමාට සම්මුඛ වන අනෙකා වටහා ගැනීමට හැකියාව ලබා ගැනීම අසීරු කටයුත්තක් බවය.

එහෙත් එම අසීරු කටයුත්ත සාර්ථකව ජය ගත් පසු වඩා යහපත් ප්‍රතිචාර හමු වනු ඇති බවය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මේ අත්විඳින්නේ එවන් වූ යහපත් ප්‍රතිචාරයන්ය.

Comments