ප්‍රේක්ෂක ආදරය වැඩියෙන්ම දැනුණෙ කොරෝනා හැදිලා සිටිද්දි | සිළුමිණ

ප්‍රේක්ෂක ආදරය වැඩියෙන්ම දැනුණෙ කොරෝනා හැදිලා සිටිද්දි

 

 

නිරෝෂන් විජේසිංහ පුංචි තිරයේ විවිධ නිර්මාණ ඔස්සේ අපට සමීප වන ආදරණීය සොඳුරු කලාකරුවෙක්. පසුගිය කාලේ නම් නිරෝෂන් ගැන දැන ගන්න ලැබුණේ කොරෝනා වසංගතයට ගොදුරු වෙලා කියන පුවත. දැන් ඔහු සුවය ලබා ඉන්නේ. බොහොම පරිස්සමට නිවසටම වෙලා කාලය ගත කරන අතරේ රසඳුන කෙටි කතාබහකට නිරෝෂන්ව එකතු කර ගන්න හිතුවෙ ඔහු ඒ වනවිටත් සම්බන්ධ වෙලා හිටපු මාණික්කාවත හා යාදින්නී නිර්මාණ කාර්යයන් ගැන දැන ගන්නත් එක්කයි.

 

නොසිතු මොහොතක මේ කොවිඩ් වසංගතයටත් ඔබ මුහුණ දුන්නා, කොහොමද මේ වෙද්දී කාලය ගත වෙන්නේ

ගිය මාසේ හතර වෙනිදා මට කොරෝනා හැදුණා. විශේෂයෙන්ම ජීවිතයත් මරණයත් එක්ක සටනක් කරලා ගොඩ ඇවිත් ඉන්නේ. දැන් මාසයක් පහු වුණත් තවමත් කොරෝනාවේ අතුරු ප්‍රතිඵල තියෙනවා. ඒ නිසා තවම මම දර්ශන තලයකට ගියේ නැහැ. විශේෂයෙන්ම කියන්න ඕනේ මම නම් අද ඉන්නේ මට ආදරය කරන අය දුන්න හුස්ම හින්දා කියලා. මොකද බොහෝ පිරිසක් මා වෙනුවෙන් බෝධි පූජා තිබ්බා. සත්වයන් පවා නිදහස් කරලා තිබ්බා. ඒ හැම කෙනෙක්ටම මම ස්තුතිවන්ත වෙන්නත් මුලින්ම මේක අවස්ථාවක් කර ගන්නවා.

 

ගොඩක් අය කොරෝනා සුළුවෙන් දකින්නේ, ඒ අයට කියන්න තියෙන්නේ මොකක් ද?

මම නම් සුළුවෙන් තැකුව කෙනෙක් නෙවෙයි. ගොඩක් ආරක්ෂා වුණ කෙනෙක්. මාස්ක් දෙක තුන දාගෙන ෆේස් ශිල්ඩ් එකත් දාගෙන මම වැඩට ගියේ. මම වාහනයට නැග්ගත් ලැමිනේට් කරා වගේ වහගෙන ගියේ. ගොඩක් අය මට විහිළුත් කළා. ඒත් මටත් හැදුණා. ඒ නිසා මේ වයිරස් එක කොයි වෙලාවෙද අපේ ඇඟට රිංගන්නේ කියලා කිසිම මොහොතක හිතන්න බෑ. ඒ නිසා ඉතාම පරිස්සම් වෙන්න ඕනේ. අනිත් එක අපි කොච්චර චණ්ඩි වගේ කතා කරත් ලෙඩේ හැඳුණම තමා ජීවිතේට මුහුණ දෙන්න වෙන අපහසුම සංකීර්ණම කාලය මොන වගේ ද කියලා තේරෙන්නේ. එහි තියෙන භයානක අත්දැකීම පවුලේ කෙනෙක්ට හැඳුණම තමා දැනෙන්නේ. පුළුවන් තරම් පරිස්සම් වෙන්න කියන දේ මම කියන්නේ. සමුහයක් විදියට මෙයින් ගැලවෙන්න බැහැ. තම තමන් ආරක්ෂා වීම මඟින් තමා සමුහයක් ආරක්ෂා කර ගන්න ලැබෙන්නේ.

 

කොරෝනා නිසා මගහැරුණු හෝ අතහැරුණු කලා කටයුතු මොනවද?

මට අතහැරුණු දේවල් නම් නැහැ. මඟ හැරුණු කලා කටයුතු තියෙනවා. සුදත් රෝහණගේ "මාණික්කාවත" සහ ඉන්දික ධර්මතිලකගේ "යාදින්නී" කියන නිර්මාණවල අපි වැඩ කරගෙන ආවා. "යාදින්නී" එකේ දී තමා මට කොරෝනා හැදෙන්නේ. ඒ සියලු වැඩ ඉස්සරහට දැම්මා. ලංකාවේ කලාකරුවන් විදියට මෙහෙම එක් තැන් වෙලා මාසයක් එකහාමාරක් ඉන්නවා කියන එක ආර්ථික සහ විශේෂයෙන්ම මානසික වශයෙන් ඉතා අමාරු කාලයක්. අර්බුදය තියෙන්නේ ඒ දේවල් ඇතුළෙ ඉඳන් අපිට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන එක.

 

දැන් කවදද ආයේ දර්ශන තලයට යන්න හිතන් ඉන්නේ

"මාණික්කාවත" රූපගත කිරීම්වලට තමා යන්න දින දීලා තිබුණේ. නමුත් සුදත් රෝහණට සහ මස්ඉඹුලටත් හැදුණ නිසා නැවත රූපගත කිරීම් කල් ගියා. දැනුත් දිනයක් යොදාගෙන ඉන්නවා ඒත් කියන්න බෑ ඒ දිනත් එහා මෙහා වෙන්න පුළුවන්. තව අලුත් නිර්මාණයක් අපි කරන්න දින දාගෙන හිටියා මේ මාසේ පළවෙනිදා සිට 15 දක්වා. ඒත් ඒ චරිතයේ මට මුට්ට කරගහන්න දුවන්න වගේ දේවල් තියෙන නිසාත් එවැනි දේවල් කරන්න තව ශරීර සෞඛ්‍ය හොඳ මදි නිසා ලබන මාසයට දින යොදා ගත්තා.

 

මේ කාලයේ දකින්න ලැබෙන නිර්මාණ මොනවද?

නිර්මාණ කිහිපයක්ම විකාශය වෙනවා. කාලෙකට කලින් කරපු "අමා" කියන නාට්‍යය නැවත දවල් කාලයේ විකාශය වෙනවා. ඒ නිර්මාණයට නැවත බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. එකේ අමාගේ තාත්තගෙ චරිතය මගේ ජීවිතෙත් හැරවුම් ලක්ෂ්‍යක් වුණු චරිතයක්. ඒ වගේම 12 වැනිදා සිට ස්වාධින රූපවාහිනී සේවයේ විකාශය වෙන්න පටන් ගත්තා ඉන්දික ධර්මතිලකගේ අඳුන්ගිර නාට්‍යය. තව ස්වර්ණවාහිනී එකේ ටීචර් අම්මා විකාශය වෙනවා.

 

අලුතින් කවි එහෙම ලිව්වේ නැද්ද?

මම කොතරම් කාර්ය බහුල වුණත් කවි ලියනවා. අසනීප වුණු මුල් කාලයේ නම් පොතක් පතක් බලන්න කවියක් ලියන්න තියා රූපවාහිනිය බලන්නවත් බැරි වුණා. දැන් දැන් සුපුරුදු වැඩ ටික කරගෙන යනවා. මගේ පළවෙනි කවි පොත කරලත් දැන් අවුරුදු හතරක් පහක් වෙන්න වෙනවා. මේ වසරේ අග වෙද්දී මගේ දෙවැනි කවි පොත එළිදක්වන්නත් සුදානමක් තියෙනවා.

 

කවිය ගීතයකට පෙරළෙන්නට ඕනේ කාලය හරි කියලා හිතෙන්නේ නැද්ද?

මම මගේ ඕස්ට්‍රේලියාවේ ඉන්න යාළුවෙක්ගේ චිත්‍රපටයකට ගීතයක් කළා. තවම එහි වැඩ ඉවර නැහැ. සමහර විට කවිය සහ ගීතය අතර වෙනස හරි හැටි වටහා ගෙන ඉදිරියේදී ගී පද රචනා කිහිපයක් කරන්නත් පුළුවන්.

 

ඉදිරි බලාපොරොත්තු මොනවද?

ලොකුවට බලාපොරොත්තු ගොඩ ගහගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. නමුත් යම් අදහසක් තියෙනවා මගේ හිතේ ඇඳුණු පිටපතකට අනුව සිනමා නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන්න. මේ කාලයේ පිටපතේ මුලික කටයුතු සකස් කරගෙන යනවා. කෙටි චිත්‍රපට කිහිපයක් මම කරලා ඒ වෙනුවෙන් සම්මාන පවා ලැබිලා තියෙනවා. ඒ එක්කම කවි පොතෙන් පස්සේ කෙටි කතා පොතක් ලියන්න අදහසක් තියෙනවා.

 

කවදා හරි දරුවන් දෙදෙනා කලාවට එනවට කැමතිද?

මම මේ ක්ෂේත්‍රයට එද්දී මගේ පරම්පරාවේ කවුරුත් මේ ක්ෂේත්‍රයේ හිටියේ නැහැ. මට ආගන්තුකම තැනකට මම ආවේ. මගේ හිතේ ලොකු ආසාවක් බලාපොරොත්තුවක් තියෙනවා ඒ දෙන්නගෙන් කවුරු හරි කලාවට එනවා දකින්න. නමුත් මම කිසිම බලපෑමක් කරන්නේ නැහැ. හොඳ කලා රසයක් තියෙන දරුවන් දෙන්නෙක් ඉන්නේ. කලාව කියන්නේ තමන් වුවමනාවෙන් හොයන් යන්න ඕනේ දෙයක්. ඒ අයටම හිතිලා කලා අංශය තෝරා ගත්තොත් අපි උදව් කරනවා.

 

ඔබට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට කියන්න යමක් ඇති

මගේ පළමු කවිපොත එළිදැක්වීමේ දී මහවැලි කේන්ද්‍රයේ ඉඩ නැති වුණා; ආරාධිතව සහ අනාරාධිතව ආව මට ආදරය කරන පිරිස නිසා. ඒ නිසා මම දැනගෙන හිටියා මගේ වටා ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා කියලා.

නමුත් ඒ ආදරය තදින්ම දැනුණු හොඳම අවස්ථාව තමා කොරෝනා හැදුණු කාලය. මම මේ ජීවත් වන ගමේ අය සෑහෙන්න උදව් කළා. ඒ එක්කම මගේ ජංගම දුරකතනයට ආව ඇමතුම් සහ කෙටි පණිවිඩ තවමත් මම ඒවාට ප්‍රතිචාර දක්වනවා. මා වෙනුවෙන් ඒ අය පවත්වපු පින්කම් වල ජායාරූප. ඒ හැමෝටම ස්තුතිවන්ත වෙන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා. මම ඒ හැමෝටම අවංකවම ආදරෙයි. මැරෙනකම් ම ඒ අයව පිනවන නිර්මාණ කරන්න මම උත්සහ කරනවා. ඒ විතරක් නෙවෙයි ආයෙමත් මම හැමෝගෙන්ම ඉල්ලන්නේ මේ වසංගතයෙන් පරිස්සම් වෙන්න කියන එක.

Comments