හැම නිර්මාණයක් ගැනම මම වගකීමෙන් බැඳී සිටිනවා | සිළුමිණ

හැම නිර්මාණයක් ගැනම මම වගකීමෙන් බැඳී සිටිනවා

පාසල් අධ්‍යාපනය අවසන් කිරීමත් සමඟ විශේෂාංග ලේඛිකාවක ලෙස යොවුන් පුවත්පතකට සම්බන්ධ වන දිලූ සඳමාලි රසාංගිකා මාපා, 2003 වසරේදී´කාසි වැස්ස´නම් ළමා කතාව ප්‍රකාශයට පත්කළාය. ළමා ප්‍රකාශන ආයතනයක සහාය සංස්කාරකවරියක ලෙස කටයුතු කරමින් සිටියදී 2005 වසරේදී තම පළමු නවකතාව එළිදක්වන්නී ය. කෙටිකතා සහ ළමා කතා අංශවලින් කිහිපවරක් ඇගයීමට ලක්වූ දිලූ රසාංගිකාගේ ´මහමෙර සේ මා´ කෙටි කතාවට 2013 රාජ්‍ය සාහිත්‍ය උලෙළේදී සමස්ත ලංකා 3 වැනි ස්ථානය හිමි විය. 2013 වසරේදී යළි නවකතා ක්ෂේත්‍රයට අවතීර්ණ වන දිලූ සඳමාලි රසාංගිකා මාපා, නවකතා 24ක් ප්‍රකාශයට පත්කර ඇති අතර 2016 වසරේදී ´සිතැඟි ක්‍රියේෂන්ස්´ නමින් ප්‍රකාශන ආයතනයක්ද ඇරඹුවා ය. මේ වන විට ළමා, නවකතා ඇතුළු 50කට අධික කෘති සංඛ්‍යාවක් පාඨකයන්ට තිළිණ කර ඇති ඇය, සිංහල භාෂාව පිළිබඳ මනා අධ්‍යයනයත් පොහොසත් වදන් ගබඩාවක් සමඟ අනන්‍ය වූ භාෂා රටාවක් තිබීමත් ලේඛනයේදී ඉතා වැදගත් බව සිය නිර්මාණවලින් පසක් කළ ලේඛිකාවකි.

 

මම කැමතිම නවකතාව හා

එය ලිවීමට මුල් වූ හේතුව

 

නවකතාවක් ලිවීමේදී ඒ අකුරු අතරේ මනුස්සකම්, ප්‍රේමය, මිතුරුකම්, සමාජ විෂමතා සේම ස්ත්‍රීත්වය ගැන කතා කරන්න වගේම යම් සමාජ පණිවිඩයක් නිවැරදිව සහ කතා රසය නොනැසෙන සේ එකතු කරන්නත් මම කැමතියි. ඒ අතරින් ´සඳ පළුවයි නිල් අහසයි´ පොතට මා වඩාත් ඇලුම් කරනවා.

හිරු එළිය හා බැඳි යම් චර්ම රෝගයක් නිසා බාහිර සමාජයෙන් මුලුගැන්වී ජීවිතය දරා ගන්නා නමුත් ශක්තිමත්ව ජීවිතය විඳින මුතුලි නම් සුන්දර තරුණියක් හා දිරිය මවක් ගැනයි එහි කියවෙන්නේ. ´xeroderma pigmentation´ නම් රෝගය හා බැඳි විද්‍යාත්මක පදනම සේම සංසාර චක්‍රයේ අප අතනොහැර එන කුසල් අකුසල් කර්ම ඵල ගැනත් ආත්මාර්ථය මත පදනම් නොවූ ප්‍රේමයට, බැඳීම්වලට යා හැකි දුරත් සියුම්ව පිරිමදින්නත් ඒ තුළින් මට හැකි වුණා. ගැහැනියක පිදුම් ලබන මාතෘත්වය හා බැඳුණු දරාගැනීමත් කැපවීමත් අවසන ඒ තුළින් අත්පත් කරගන්නා නිවීම, සැනසීම හා ජයග්‍රහණය ගැන මනුෂ්‍යත්වයේ දෑත ගැනත් ´සඳ පළුවයි නිල් අහසයි´ තුළ විසිරී තිබෙනවා.

මේ පොතට මුල් වුණේ මගෙ පෞද්ගලික අත්දැකීමක්. මට ඉන්නෙත් දුවක්. ඇය කුඩාම කාලයේ ඇතැම් කාරණවලදී මෑතක් වෙන තුරුම බෙහෙත් වර්ග වගේම ආහාර ආසාත්මිකතාවෙන් පෙළුණා. මුළු සිරුර පුරා රතු ලප වගේම හුස්ම ගන්නත් අපහසු වුණ නීරස අත්දැකීම්වලියකට මට මුහුණ දෙන්න වුණා. ඇය දැන් සුවයි. ඒත් මාත් ඇයත් අත්විඳි ඒ අවස්ථා සමඟ මවක් ලෙස මම බොහෝ සංවේදීව කම්පනය වුණා. ඒ අත්දැකීමත් සමඟ බොහෝ දුර යමින් තමයි "xeroderma pigmentation " රෝගී තත්ත්වය ගැන මං පීර පීරා සොයන්න වෙහෙසුණේ.

 

 

 

ඒ නවකතාවේ මා වඩාත් සිත්ගත් සහ

සංවේදී වූ අවස්ථාව

 

 

මා වඩා කම්පනය වූ සිදුවීමක් තමයි කතාවේ එන මුතුලී නම් යුවතිය තම නිවෙසේ සේවිකාව සමඟ රාත්‍රියේ නිවෙසින් පිටතට ඇවිදින්නට යන අවස්ථාවේ ආපසු ඇය නිවෙසට ඇරලවන්නේ ඇගේ තරුණ ගුරුවරයා දුර්ග විසින්. මුතුලි නැවත නිවසට යද්දී දියණිය වෙනුවෙන් විදෙස්ගත වෛද්‍යවරයා මුණගැහෙන්නට ගොස් සිටි ඇයගේ මව නොදන්වාම ඇවිදින්. ඒ අවස්ථාවේදී මවක ලෙස ඇගේ හැඟීම්බර හැසිරීමත් දරාගැනීමත් යුවතියගේ කම්පනයත් සෙනෙහසත් මාතෘ ප්‍රේමයත් අතර වෙන සිතිවිලි ඝට්ටනය වගේම තරුණයකු ලෙස දුර්ග බොහෝ සංයමයෙන් ඒ සියල්ල ශක්තිමත්ව දරාගන්නා හැඩයත් මා වඩාත් සංවේදී කළා.

"මේ ලෝකෙ හැම දේකටම වටිනාකමක් තිබුණාට මනුස්සකමට වටිනාකමක් දෙන්න බෑ. එහෙම පුළුවන්නම් ඔයාගෙ දුවගෙ සතුට... ඒ සතුට ඉස්සරවෙලාම මුතුලිට ගෙනත් දෙන්න.." හද ස්වර අමුණා දුර්ග කියන එවදන් තුළින් පසක් වන්නේ බැඳීම්, මනුස්සකම් හිතේ අහුමුලු අස්සේ සඟවාගෙන සිටියාට ඵලක් නැහැ, වටින්නේ ඒවා ඇහැරවා දොඩමලු කිරීම බවයි.

 

මා වඩාත්ම සංවේදී කළ පාඨක ප්‍රතිචාරය

 

කියවන ආදරණීයන්ගේ ප්‍රතිචාර මුහුණු පොත, දුරකතනයෙන් සේම වාර්ෂික පොත් මංගල්ල්‍යයේදීත් ලැබෙනවා. එහෙම ආදරණීය වළල්ලක් මා වටා හිඳීම ගැන හදවතින්ම තුටු වෙනවා. ඒ ආදරය, ගෞරවය ලැබුණේ අකුරු තුළින් මා කතා කළ අනුභූති ඇතුළේ තිබූ සංවේදී ඉසව් නිසා. ඒ නිසාම මගෙන් බිහිවෙන හැම නිර්මාණයකටම මා අසීමාන්තිකව වගකීමෙන් බැඳී සිටිනවා වගේම හැම පාඨක ප්‍රතිචාරයකටම මම වඩාත් සංවේදියි.

 

මගේ ඉදිරි නිර්මාණ සැලසුම්

 

මේ වසරේදී ´ස්වරාවී´ හා ´ස්නේහයේ දොරමඬලාවයි´ පොත් දෙක නිකුත් වුණා. කාලය රැගෙන නිහඬව නිර්මාණකරණයේ යෙදෙන විට පාඨකයන්ට උපරිම සාධාරණය ඉටුකළ හැකි බව මා විශ්වාස කරනවා. බොහෝවිට ජනවාරියේදී මගේ අලුත්ම වියමනක් මුණගැහේවි. පුංචි පැංචියන් වෙනුවෙන් ළමා කතා කිහිපයක් තිළිණ කරන්නටත් අදහසක් තියෙනවා.

 

 

 

Comments