රටම හෙල්ලූ රන් හෙල්ලය දිනේෂ් ප්‍රියන්ත ගැන බිරිය ඉෂංකා කියන කතාව | සිළුමිණ

රටම හෙල්ලූ රන් හෙල්ලය දිනේෂ් ප්‍රියන්ත ගැන බිරිය ඉෂංකා කියන කතාව

ඡායාරූප - චිත්‍රරත්න කලුආරච්චි සහ ටී. කේ. ජී. කපිල

 

පැරාලිම්පික් උලෙළ වර්ණවත් කරමින් ශ්‍රී ලාංකේය නාමය ලොව ඉදිරියේ බබළවන්නට සමත් වූ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම දිලෙන තරුවක් වූ දිනේෂ් ප්‍රියන්ත හේරත් ආ ගමන දිලිසෙන පලස් මතින් ආ ගමනක් නොවේ. එය කටු කොහොල්, රිදවීම්, දරා ගැනීම් හා අපමණ ධෛර්යයයේ ලකුණු ඒ ජීවිතය පුරාම මොනවට සටහන් වේ. එය අප වෙත දිනා දුන් රන් පදක්කමක් ම පමණක් නොවේ; ලෝකය ඉදිරියේ රන් ලකුණින් සටහන් වූ රන් නාමයක් ම විණි. ජීවිත ගමන ද ඒ රන් පදක්කම් කරා ආ ගමන සේම කටු කොහොල් මෙන්ම ආදරය හා සතුට ද රැඳුණකි. සෑම ජීවන ගමනක් ම එසේ ය.

 

දිනේෂ් ප්‍රියන්ත ද සිය කුටුම්බගත ජීවිතයේදී සැනසිල්ල, සතුට හා දිනුම සෙවූයේ සිය බිරිය, දරුවන් හා පවුලේ සැම සමඟිනි. ඒ රන්පදක්කම කරා ආ ගමනේ දිරිය කතාව සිළුමිණ වෙනුවෙන් අප ඇසූවේ දිනේෂ්ගේ ප්‍රිය බිරිය ඉෂංකා මධුවන්තිගෙනි. හිත පුරා දෝරේ ගලන සතුටේ ප්‍රහර්ෂය විඳිමින් ඉෂංකා සිය අභිමානනීය සැමියා ගැන කියූ කතාව අප මෙසේ සටහන් කරන්නේ ජීවිතයක් ගොඩනැඟීමට සෙනෙහස කෙතෙක් බලපාන්නේ ද යන්න ඔබට පසක් කිරීමට ය. අනුරාධපුර, ඉපලෝගම පිහිටි කාගම කියන කුඩා ගම්මානයේ ඉපදුණ දිනේෂ් පාසල් අධ්‍යාපනය ලැබ තිබෙන්නේ කාගම ධාතුසේන මහා විද්‍යාලයෙනි. කටුක මාර්ගයක් ඔස්සේ බොහොම සීරු මාරුවට දිනේෂ් ආ ගමන් මඟ ගැන ඔහුගේ ආදරණිය බිරිය ඉෂංකා මධුවන්ති බෙහෙවින් ආඩම්බර වන්නීය.

‘ඉෂංකා කියන්නෙ අනුරාධපුර කාගම ගමේ උපන් දා සිට එකම ගමේ එකට ම හැදෙන වැඩෙන දිනේෂ්ගේ ඇවැස්ස නෑනා. දිනේෂ්ගේ තාත්තා දිනේෂ්ට වයස අවුරුදු 12දී මෙලොව හැර ගිහින්. එදා පටන් දිනේෂ්ට තියෙන්නේ අම්මාගේ රැකවරණය යටතේ අක්කා සහ මල්ලි සමඟ ජීවිතයට එන දුක සතුට අභියෝග බාධක මැද පැමිණි බොහොම දුෂ්කර ගමනක්.

ඇවැස්ස නෑනා මස්සිනා නිසාම පුංචි සන්දියේ පටන් දැන හඳුනන දිනේෂ් සමඟ ඇති සෙනෙහස ආදරයක් බවට පත්වෙන්නේ වයස අවුරුදු 16 දී පමණ කියලයි ඉෂංකා කියන්නේ. මේ ආදරය දැන ගත් මුල් කාලයේ ඉෂංකාගේ අප්පච්චි නම් මුලින්ම එතරම් කැමැත්තක් දක්වලා නැහැ. කොහොම වුණත් කවදා හරි මේ ආදර කතාවම ජය ගන්නවා කියන අදහසින් දෙන්නම ආදරේ බිඳුවකුත් අඩු නොකර පවත්වාගෙන ගිහින් තියෙනවා.

දිනේෂ් මේ රන් පදක්කම දක්වා ආ ගමන් දිහා ආපස්සට හැරිලා බලද්දී ඕනෙම කෙනෙක්ට පැහැදිලි වන කරුණක් තිබේ. අරමුණක්, ඉලක්කයක් සහ ඒ වෙනුවෙන් නොපසුබසිනා උත්සාහයක් තියෙනවා නම් කළ නොහැක්කක් නැහැ යන්න නැවත නැවතත් ඔප්පු කළ අපේ කාලයේ විශිෂ්ට විරුවෙක් ලෙස දිනේෂ් ප්‍රියන්තව හඳුන්වා දීමට හැකිවන්නේ ඒ නිසාය. ආදර කතාව ගත්තත් එහෙමයි.

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝක වාර්තාවක් සමඟ ජයග්‍රහණය කරමින් පළමු පැරාලිම්පික් රන් පදක්කම ලංකා මාතාවට දිනා දෙන්නට දිනේෂ් ප්‍රියන්ත හේරත් පසුගිය (30) දා සමත් විණි. ඒ එක් අතක් අක්‍රීය වූ අය තරඟ කළ, F46 කාණ්ඩය යටතේ හෙල්ල විසි කිරීමේ තරඟයෙනි. දිනේෂ් ප්‍රියන්ත මෙලෙස ලබා ගත්තේ පැරා මලල ක්‍රීඩකයකුට තම ජීවිතයේ දිනාගත හැකි උපරීම ජයග්‍රහණයකි. මේ ජයග්‍රහණය දිනේෂ් ලබා ගන්නේ අපිරිමිත කැපවීමක ප්‍රතිඵලයක් ලෙසිනි. මේ කිසිවක් එක් රැයකින් ගොඩනැඟෙන්නක් නොවේ. ඒ සියල්ල අසීමිත කැපකිරීම්වල ප්‍රතිඵලයි. ඒ සියල්ලට පාර කැපෙන්නේ මෙලෙසිනි.

දිනේෂ් ගෙදර පවතින ආර්ථික අපහසුතා නිසා සහ යුද හමුදාවට ඇති කැමැත්ත නිසාම යුද හමුදාවට බැඳෙන්න තීරණය කරයි. වසර ගණනක් තිස්සේ පවතින කුරිරු යුද්ධයේ සතුරාට එරෙහිව සටන් වදින්න තමන් පණ මෙන් ආදරය කරන පෙම්වතා යුද හමුදාවට යනවා කියද්දී කොහොමද හිත හදා ගත්තේ කියලා ඉෂංකාගෙන් ඇහුවම ඇය දුන්නේ අපූරු පිළිතුරකි.

"දිනේෂ්ට ඒ වෙලාවේ තිබ්බ ආර්ථිකය සහ පවුල් පසුබිම එක්ක රැකියාවක් ඕනේ වෙලාවක්. ඒ නිසා ඔහු ගත්ත ඒ තීරණයට මට විරුද්ධ වෙන්න හිතුණේ නැහැ. 2005 දී තමා දිනේෂ් යුද හමුදාවට බැඳුණේ. එදා මම දිනේෂ්ට ආශිර්වාද කළා."

දිනෙන් දින යුද වාතාවරණය වැඩි වෙද්දී පුංචි කාලේ ඉඳන් උදේ හවස දැක්ක ආදරය කාලයකට සැරයක් දකින්න ලැබෙද්දී කොහොමද දරා ගත්තේ මම ඇගෙන් ඇසුවෙ කල් යල් බලලා.

"මට තාම මතකයි නිවාඩුවට ඇවිත් යද්දී අපේ ලොකු අත්තා පිරිත් කියලා පිරිත් නූලක් බඳිනවා. ඒ යන වෙලාවට පවුලේ හැමෝම අඬනවා. දිනේෂ් වුණත් යන්නේ හැඬු කඳුළින්. ඇත්තටම කියනවා නම් ඒ දවස්වල නිවාඩුවට ඇවිත් ඊළඟ නිවාඩුවට එනකම් විශ්වාසයක් නැහැ. මට මතක විදියට යාපනය ප්‍රදේශයේ රාජකාරී කරන කාලයේ එක සැරයක් මාස පහක් යනකම් කිසිම තොරතුරක් නැතුව අපි බයේ හිටියා. මාස පහක් ගිහිල්ලත් එයාගේ යාළුවෙක් කතා කරලා කිව්වේ එයා හොඳින් ඉන්නවා කියලා." මේ හැමදෙයක් අතරේම දිනේෂ් - ඉෂංකාගේ ආදර කතාව ට දෙපාර්ශ්වයෙන්ම ආශීර්වාදය ලැබෙනවනේ, එතනින් එහාට පටන් ගත්ත ජිවිතේ අද දක්වා ආ ගමන් මඟ ගැන කියන්න ඉෂංකාටම ඉඩ දීලා මම ඒ කතාව අහගෙන හිටියා.

‘ඔව්. කාලයත් එක්කම අප්පච්චිත් අපේ ආදරේ තේරුම් අරන් අපිට ආශිර්වාද කළා. ඒ ආශීර්වාද එක්ක අපි 2008 අප්‍රේල් විවාහ වුණා. එතකොට දිනේෂ් සේවය කළේ කිලිනොච්චි ප්‍රදේශයේ. ඒ අවුරුද්දෙම නොවැම්බර් මාසයේදී තමා කිලිනොච්චි මානුෂික මෙහෙයුමේදී මෝටාර් ප්‍රහාරයක් වැදිලා කියලා දැන ගන්නට ලැබුණේ. අපි බලන්න යද්දී අනුරාධපුර වික්ටරි එකේ එයා හිටියේ. වම් අතට තමා වෙඩි වැදිලා තිබ්බේ. ඒ නිසා වම් අත ආබාධයට ලක් වෙලා තිබුණා. මට ඒ මොහොත නම් අමතක වෙන්නේ නැහැ.

අපි ඇඬුවත් එයා නම් එදත් කිව්වේ අපිට අඬන්න එපා කියලා. වසර 4ක පමණ කාලයක් ප්‍රතිකාර ලබා ගත්තා. ඊට පස්සේ 2012 දී තමා යුද හමුදාවේ ක්‍රීඩා අංශයට එයාව තෝරා ගෙන තිබ්බේ. එතැනදී දිනේෂ්ව තෝරා ගෙන තියෙන්නේ ගජබා රෙජිමේන්තුවේ පැරා ක්‍රීඩා කණ්ඩායමට.

හෙල්ල විසි කිරීම සහ යගුලිය වගේ ක්‍රීඩා අංශ යටතේ එදා ඉඳන්ම යුද හමුදා පැරා තරග වෙනුවෙන් ක්‍රීඩා කරලා 2014 දී යුද හමුදාවෙන් අයින් වෙනවා. ඊට පස්සේ 2016 දී තමයි මුලින්ම ඔලිම්පික් තරගයට සහභාගී වෙන්නේ. එතැනදී තුන්වෙනි තැන ලබා ගන්නවා. ක්‍රීඩාව වෙනුවෙන් ලොකු කැපවීමක් කරපු කෙනෙක්. 2017 ලන්ඩන් ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ රිදී පදක්කමත්, 2018 අවුරුද්දේ ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කමත් 2019 ඩුබායි ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ දී රිදී පදක්කමත් එයා ලබා ගන්නවා. ඒත් එයාට ඕනේ වුණේම ලංකාවට රන් පදක්කමක් අරන් එන්න. ඒ අධිෂ්ඨානයෙන් තමා 2020 පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් සහභාගී වෙන්නේ.

ජිවිතේ දිහා ආපස්සට හැරිලා බලද්දී ලොකු සතුටක් තියෙනවා. එයාගේ පොඩි කාලේ සහ අපි විවාහ වුණු මුල් කාලය ගත්තම ඒ කාලය දුෂ්කරව ගෙවුණු කාලයක්. අද ඒ සියල්ල වෙනස් වෙලා ලස්සනට ජීවත් වෙන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ටික කාලයක් අපිට දරුවන් නැතුව හිටියා. කාලයකට පස්සේ අපිට පුතෙක් ලැබුණා. ඒ ප්‍රමාද මෙනුවන්. එයා ලැබුණට පස්සේ දිනෙන් දින අපේ ජිවිත එළිය වුණා. ඊට පස්සේ අපිට දුවෙක් ලැබුණා. ඇය මිතුනි වර්ෂණා. දැන් තව පුංචි පුතෙක් ලැබිලා ඉන්නවා. ඒ සස්ඳුල චනුල්‍ය. අම්මා කමලාවතී, තාත්තා ලොකු බණ්ඩා සමඟ අපි හැමෝම ආදරෙන් ජීවත් වෙනවා. සාමාන්‍ය ජිවිතේ දී සරලව ජීවත් වෙන්න කැමති හැමෝම එක්කම සුහදශීලිව කටයුතු කරන උත්සාහවන්ත කෙනෙක්. නිවාඩුවට ආවම වුණත් යාළුවො එක්ක වොලිබෝල් සෙල්ලම් කරන්න යනවා. ඒ වගේම ලොකු පුතා ක්‍රිකට් සෙල්ලම් කරමු කිව්වම එයා එක්ක සෙල්ලම් කරනවා.

එයාගේ අම්මා අද ගොඩක් සතුටු වෙනවා එයාගේ ලොකු පුතා මේ රටට අත් කරලා දුන්න කීර්තිය ගැන. ඒ වගේම එයාගේ අක්කා සහ මල්ලිත්, ගමේ නෑදෑයින් අද ආඩම්බර වෙනවා දිනේෂ් ගැන. ඒ දේවල් පුංචි කාලේ ඉඳන්ම දැක්ක කෙනෙක් විදියටත් අද එයාගේ බිරිඳ විදියටත් මට දැනෙන සතුට කියන්න වචන නැහැ. මට ආඩම්බරයි මගේ මහත්තයා ගැන.

එයාගේ පොඩි කාලේ ඉඳන්ම තිබ්බේ කරන දේට උපරිම කැපවීමක් කරන්න ඕනේ කියන දේ. ඒ කැපකිරීම් තමා අද එයාව මේ තැනට අරන් ආවේ. ඒ තරගය යන වෙලාවෙත් මම නම් හිටියේ හිතේ බයෙන්.

එයාට නම් එහෙම හිතේ කිසිම බයක් තිබ්බෙම නැහැ. ලොකු විශ්වාසයකින් සහ දැඩි අධිෂ්ඨානයකින් හිටියේ. ඒත් ගියවර දිනපු ඉන්දියාවේ තරගකරුත් ඉන්න නිසා මගේ හිතේ බයක් තිබ්බා. තරගය ඉවර වෙනකම් බලාගෙන හිටියා. අන්තිමට රන් පදක්කම දිනේෂ්ට කියලා දැන ගත්තම ලොකු සතුටක් එක්කම මගේ මහත්තයා ගැන මටම නිහතමානී ආඩම්බරයක් දැනුණා.

තරගෙට යන්න කලින් ඉඳන්ම දිනේෂ්ගේ හිතේ ලොකුම විශ්වාසයක් තිබ්බා එයාට රන් පදක්කම ගන්න පුළුවන් කියලා. එයා පුහුණු වීම් කළේම රන් පදක්කම ලංකාවට අරන් එනවා කියන දැඩි විශ්වාසය එක්ක. ලොකු කැපකිරීමක් කරලා අද ඉන්න තැනට ආව කෙනෙක්. එයා ජිවිතේ ලද සියලු බාධක එක්ක නැඟිටින්න උත්සාහ කරපු කෙනෙක්. අද හොඳ ජිවිතයක් ගත කරන්න ලොකු දුකක් වින්ද කෙනෙක්. ඒ වින්ද දුක් නිසාම තමා ඔහු ශක්තිමත් වුණේ කියලයි මට හිතෙන්නේ. අද දිනේෂ්ට ජිවිතේ ලද හැම අත්දැකීමක්ම සතුටින් මතක් කරන්න පුළුවන් කාලයක් ඇවිත්. දැන් අපි දෙන්නගෙම එකම අනාගතය දරුවෝ තුන් දෙනා. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙමින් දරුවන් කැමති අංශයකින් ඉදිරියට යන්න අපි නිදහස ලබා දෙනවා."

රන් පදක්කම දිනූදිනේෂ් ප්‍රියන්ත (දකුණු පස) ලෝකඩ පදක්කම දිනූ සමිත දුලාන් (වම්පස) ඇතුළු පිරිස 
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළින් 7 දා ශ්‍රී ලංකාවට පැමිණි අයුරු
 

 

වමේ සිට දිනේෂ්ගේ මව කමලාවතී, දිනේෂ් ප්‍රියන්ත, පුතු ප්‍රමාද මෙනුවන්, බිරිය ඉෂංකා දුව මිතුනි වර්ෂණා

 

 

Comments