නාඳුනනා ලෙස ආපසු යනවිට සුසුම් නැඟෙනවා හද උතුරන්නට | සිළුමිණ

නාඳුනනා ලෙස ආපසු යනවිට සුසුම් නැඟෙනවා හද උතුරන්නට

මගේ හිත දශක හතරක් විතර ඈතට දිව යනවා. ඒ කාලෙ මං කොළඹ ආනන්ද විද්‍යාලෙ උසස් පෙළ හදාරනවා. අපේ ඉස්කෝලෙ පිරිමි ඉස්කෝලයක් නිසා බාලිකාවන් මුණ ගැහෙන්නෙ ටියුෂන් පන්තිවල විතරයි. ඔන්න ඔය කාලෙ ආනන්ද බාලිකාවෙ ගෑනු ළමයකුට මගෙ හිත ඇදිල ගිහිල්ලයි තිබුණෙ. අද කාලෙ වගේ ප්‍රේමයට යටිතල පහසුකම් ඒ කාලෙ තිබුණෙ නෑ. කොටින්ම ජංගම දුරකථන ගැන අහලවත් නෑ. ඇල්ම බැල්ම ඇති වුණාට ප්‍රේමය ප්‍රකාශ කරන්න පුදුම බයයි. ප්‍රේමය ප්‍රතික්ෂේප වුණොත් කියන බය තමයි වැඩිපුරම තිබුණෙ. මේ ගෑනු ළමයා හිටියෙ ආනන්ද බාලිකා නේවාසිකාගාරෙ. හැම පෝයටම නේවාසිකාගාරයේ ගෑනු ළමයි කුප්පියාවත්ත ජයශේඛරාරාම පන්සලට එනවා. මාත් මගෙ යාළුවොත් එක්ක නොවරදවාම රෑට පන්සල් යනවා. ඇත්තටම ඒ යන්නෙ මල් පහන් පිදීමේ ශ්‍රද්ධාවකින් නොවේ. අර ගෑනු ළමයගෙ මුහුණ දැක ගැනීමේ තෘෂ්ණාවකින්.

 

පන්සල් ගිහින් ඒ ගෑනු ළමයා එනකන් චෛත්‍යය ගාව හරි බෝධිය ගාව හරි විහාරෙ ගාව හරි බලාන ඉන්නවා. ඔන්න ඉතින් ගෑනු ළමය එනවා. මාව දැකපු ගමන් ගස්සලා අහක බලනවා. පපුව හෝස් ගාල පත්තු උනත් ඊළඟ පෝයටත් එනවා. ඒ කාලෙ ඔහොම තමයි.

මෙන්න මේ සින්දුව ඇහෙන වාරයක් ගානෙ ඒ අතීත ජවනිකා චිත්‍රපටියක් වාගේ දිගහැරෙනවා. සින්දුව ලියල තියෙන්නෙ කුලරත්න ආරියවංශ. එයත් අපේ ඉස්කෝලෙ අයියා කෙනෙක්. මං හිතන්නෙ මං ලබපු අත්දැකීම මට කලින් එයා ලබල ඇති.

අපට මැවිල පේන්නෙ පෝයදාක රාත්‍රියක්. පැහැදුල් ආකාසෙ සඳ තරු හොඳට බබළනවා. මේ තරුණයා පන්සලට යන්නෙ ප්‍රබෝධයකින්. තමාගෙ හිත දිනාගත් තරුණිය එහි දැක ගැනීමේ නොතිත් ආශාවක් ඔහු තුළ තිබෙනවා.

දැන් ඔහුත් සමඟ සඳ කතා කරනවා. ඔහුත් එක්ක තරු හිනාවෙනවා. ඒත් ප්‍රශ්නයක්.

 

සඳ මා හා සිනාසුණා

තරු මා හා කතා කළා

ඔබ මා හා සිනාසුණේ නෑ

ඔබ මා හා කතා කළේ නෑ

 

ස්වභාව ධර්මයම ඔහුට ආශිර්වාද කරද්දි ස්වභාව ධර්මයටම අයත් එක් තැනැත්තියක් ඔහුව ප්‍රතික්ෂේප කරනවා. එතැන් සිටන් මේ තරුණයා පාපොච්චාරණයක් කරනවා. ඒ ඇයට ද? අපට ද? ඇය ඔහුට සවන්දෙන්න සූදානම් නෑ. එහෙනම් ඔහු මේ දුක කියන්නෙ අපට යි.

 

පුරා පෝය හඳ අහසට එනවිට

මා යනවා බෝ මළුව දිහාවට

බෝ මළුවේ සුදු පහන් කුළුණ යට

පෙරුම් පුරනවා ඔබ දැකගන්නට

 

කෙලෙස් නසන තැන්වල උනත් කෙළෙස් වැඩෙන්න පුළුවන්. සිද්ධාර්ථ ගෞතමයන් බෝමළුව යට කෙළෙස් නැසුවා. මේ තරුණයා කෙළෙස් වඩනවා. සැබෑ අනිත්‍ය ධර්මතාව ඔහු පසක් කර නොගත්තත් මේ ප්‍රේමය අනිත්‍ය බව ඔහු පසක්කර ගන්නවා.

තාරුණ්‍ය පුදුමාකාරයි. තාරුණ්‍යය හිතුවක්කාරයි. අපේ කාලෙ නම් තවත් දෙයක් තිබුණා. අපේ තාරුණ්‍යය අවංකයි. රිදුණොත් රිදුණාමයි. පන්සලකට තරුණියක බලන්නට පැමිණීම මහා පාපකර්මයක් වත්ද කියලවත් අපිට ඒ කාලෙ හිතුණෙ නෑ. එහෙම හිතන්න තරම් විචාර බුද්ධියක් අපට තිබුණෙත් නෑ. කොටින්ම කියනවා නම් චින්තනය සරලයි. ඒත් ළෙන්ගතුකම් ගැඹුරුයි.

එහෙත් මේ තරුණයා ඉතා ඉක්මනටම අපේක්ෂා භංගත්වයට පත්වෙනවා. ඉස්සර මට සිද්ධ උන දේමයි.

 

“පුරා පෝය හඳ පායන විලසට

ඔබ එනවා බෝ සමිඳු පුදන්නට

නාඳුනන ලෙස ආපසු යනවිට

සුසුම් නැගෙනවා හද උතුරන්නට“

 

මේ තරුණයා තුළ උපේක්ෂාව තිබෙනවා. ඔහු ඇය උදුරාගන්න හදන්නෑ. ඇයට මානසික පීඩාවක් දෙන්න හදන්නෑ. අපේ ජනශ්‍රැතිය සුනිල් ආරියරත්නයන් මේ උපේක්ෂාව වෙනුවෙන් භාවිත කළ ආකාරය මට මතක් වෙනවා.

 

“සයුර මොටද දිය දෝතක් බොන්න බැරී

ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී

දෑස මොටද සිතුසේ දැකගන්න බැරී

කුසුම මොටද ළංවී රොන් ගන්න බැරී“

(සුනිල් ආරියරත්න)

 

මෙතැන “කුසුම“ කාන්තාවකගේ සංකේතයක් ලෙස ඇතැමුන් වැරදි ලෙස අර්ථ කථනය කරනවා. නෑ. එහෙම නොවෙයි. නොලැබීම අර්ථවත් කරන්න ජනකවියා යොදා ගන්න ප්‍රකාශයක් පමණයි. අන්න ඒ උපේක්ෂාව මේ ගීතය තුළ තිබෙනවා.

පන්සලක් බෝමළුවක් මට මැවිල පේනවා. තරුණයෙක් පහන් ටැඹක් අසල ඇස් දල්වා සිත් දල්වා බලා ඉන්නවා. සුන්දර යුවතියක් ඔහු දෙස නොබලාම එතැනින් ඇදී යනවා. ඔහුගේ සුසුම්වලට දැල්වෙන පහන් උනත් නිවෙන්න පුළුවන්. මට මාවම මතක් වෙනවා.

 

සඳ මා හා සිනාසුණා

තරු මා හා කතා කළා

ඔබ මා හා සිනාසුණේ නෑ

ඔබ මා හා කතා කළේ නෑ

 

පුරා පෝය හඳ අහසට එනවිට

මා යනවා බෝ මළුව දිහාවට

බෝමළුවේ සුදු පහන් කුළුණ යට

පෙරුම් පුරනවා ඔබ දැක ගන්නට

 

පුරා පෝය හඳ පායන විලසට

ඔබ එනවා බෝ සමිඳු පුන්නට

නාඳුනනා ලෙස ආපසු යනවිට

සුසුම් නැඟෙනවා හද උතුරන්නට

 

ගායනය හා සංගීතය -

දයාරත්න රණතුංග

ගී පද - කුලරත්න ආරියවංශ

 

Comments