කොවිඩ් හොඳ වෙලා ඇවිත් තාත්තා අලුත් සින්දුවකුත් කළා | Page 2 | සිළුමිණ

කොවිඩ් හොඳ වෙලා ඇවිත් තාත්තා අලුත් සින්දුවකුත් කළා

 

ප්‍රවීණ ගායන ශිල්පි සුනිල් පෙරේරා කොවිඩ්-19 රෝගයෙන් සුවය ලබා සිටියදී පසුව ඇති වූ නිව්මෝනියා තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී සැප්තැම්බර් 06 වැනිදා අලුයම අභාවප්‍රාප්ත විය. නොසිතූ මොහොතක සිදුවූ මේ වියෝව දරාගත නොහැකි ව සිටි දයාබර බිරිය හා දරුවන්ට අපගේ ශෝකය පළ කරමින් අපි ඔහුගේ පුත් සජිත් පෙරේරා සමඟ කතා බහ කළෙමු.

 

තාත්තා කොවිඩ් සුව වී හොඳ තත්ත්වයෙන් සිටියා නේද...?

"ඔව්. අගෝස්තු 25 තමයි සනීප වෙලා ගෙදර එක්කගෙන ආවේ. තාත්තා හොඳින් හිටියා."

 

අලුතෙන් ගීතයකුත් නිර්මාණය කළා නේද....?

"ඔව්. ඒක ඉංග්‍රීසි ගීතයක්. තාත්තා ගිටාර් එකත් වාදනය කරමින් ඒ සින්දුව ගායනා කළා. තාත්තාගේ කටහඬ පවා හොඳ තත්ත්වයේ තිබුණා."

 

ආයෙත් තාත්තාට අමාරු වුණේ කවද්ද...?

"සතියක් වගේ ගෙදර ඇවිත් හොඳට ම හිටියා. හදිසියේ ම පෙනහලු ආශ්‍රිත ව අපහසුතාවක් ඇති වුණු නිසා අපි ඉක්මනින් ම ආපහු රෝහලට ඇතුළත් කළා. ඊට පස්සේ නිව්මෝනියා තත්ත්වයක් ඇති වෙලා එයින් ඇතිවුණු හෘදයාබාධයකින් තාත්තා නැති වුණා."

 

මිය යන විට වයස කීයද....?

"අවුරුදු 68 යි. තව දවස් කීපයකින් ඒ කියන්නේ සැප්තැම්බර් 14 වැනිදා තත්තාගේ 69 වන උපන්දිනය යෙදී තිබුණා. ඒත් ඉතින් ඊට කළින් තාත්තා අපට නැති වුණා."

 

හුස්ම ගැනීමේ අපහසුතාවක් කලින් අවස්ථාවේදිත් තිබුණා ද...?

නෑ. කලින් එහෙම ප්‍රශ්නයක් තිබුණේ නෑ. ශරීරයේ ඔක්සිජන් තත්ත්වයේ අඩුවක් වෙලා අවස්ථා දෙක තුනකදී වගේ ඔක්සිජන් දුන්නා. නමුත් ඒක ශරීරයේ ඔක්සිජන් ප්‍රතිශතය මැනීමේදී වෛද්‍යවරු හඳුනා ගත් දෙයක් විතරයි. තාත්තාට හුස්ම ගන්න බැරිකමක් මතුපිටින් පේන්න තිබුණේ නැහැ."

 

ගෙදර අනිත් අයටත් කොවිඩ් අවදානම තියෙනවා නේද...?

"මට තමයි මුලින් ම හැදුණේ.

මම තමයි ගෙදරින් එළියට යන්නේ. බැංකුවට, ෆූඩ් සිටි එකට ගිය වෙලාවක කොහෙන් හරි මට වයිරස් එක එන්න ඇති."

 

වෙන කොහෙන්වත් තාත්තාට රෝගය බෝවෙන්න විදිහක් නැද්ද...?

"නෑ.... මුලින් හැදුණේ මටයි. ඊට පස්සේ තමයි තාත්තාට හැදුණේ. මගෙන් තමයි බෝ වෙන්න ඇත්තේ. මට රෝගය හැදෙන්න සති දෙකකට වගේ කලින් තාත්තා දෙරණ රූපවාහිනියේ වැඩසටහනකට සම්බන්ධ වුණා. ඒකෙන් පස්සේ තාත්තා කොහේවත් එළියට ගියේ නෑ. ඊට සති දෙකකට විතර පස්සේ මට හැදුණා. ඊටත් පස්සේ තමයි තාත්තාට කොවිඩ් හැදුණේ."

තාත්තාත් පරෙස්සම් වුණා ද...?

අපොයි ඔව්. ගෙදර හැමෝ ම හොඳට ම පරෙස්සම් වුණා. ඒත් කොහෙන් හරි මිස් වෙන්න ඇති. මේක ඉතින් ඇස් දෙකට පෙනිලා එන දෙයක් නෙවෙයිනේ. මිස් වෙන විදිහ කාටවත් හිතාගන්න බෑ."

 

ඔබේ දරුවෝ දෙන්නාත් අසනීප වුණා නේද...?

"ඔව් ඒ දෙන්නාටත් කොවිඩ් හැදිලා සනීප වුණා."

*තාත්තාට මුල් අවස්ථාවේ රෝග ලක්ෂණ තිබුණෙ නැද්ද..?

"තිබුණා. සැරෙන් සැරේට අඩු වෙන වැඩි වෙන උණ ගතියක් තිබුණා. එච්චරයි."

 

"තාත්තා අසනීප වෙන්න කලිනුත් නිර්මාණ කිහිපයක් ම කරමින් හිටියා නේද...?

"ඔව්. වොයිස් රෙකෝඩින්ග් ගොඩාක් පහුගිය කාලෙත් තාත්තා ගෙදර ඉඳන් කළා. ඒවා මම තමයි වට්ස් ඇප් හරහා යැව්වේ. ඒ වැඩවලදී තාත්තායි මායි ගොඩාක් සමීප ව වැඩ කළා. තාත්තාට රෝගය බෝවෙන්න ඒකත් හේතු වෙන්න ඇති. මගෙන් ඈත්වෙලා හිටියා නම් තාත්තාට රෝගය බෝ නොවෙන්නත් ඉඩ තිබුණා. දැන් ඒවා ගැන කතා කරලා තේරුමක් නෑ. කොහොමටත් හිතපු නැති දෙයක් වුණේ. තාත්තා ගෙදර ම යි හිටියේ. මාත් හරි ම අඩුවෙන් තමයි එළියට යන්නේ. අනේ මන්දා කොහොම බෝ වුණා ද කියලා."

 

තාත්තාට දියවැඩියා තත්ත්වය තිබුණා නේද.....?

"අවුරුද්දක් විතර ඇති සීනි ඇවිත්. ඒ වෙනකන් මුකුත් ලෙඩක් තිබුණේ නෑ. සීනිත් ගොඩක් වැඩි නෑ. එයාගේ වයසේ හැටියට එයාට ලෙඩ නම් නෑ."

 

*තාත්තා කිසි දෙයක් ඕනෑවට වඩා හිතට ගත්ත කෙනෙක් නෙවෙයි නේ..?*

"ඇත්තට ම එයා හරි ම සතුටින්, විනෝදෙන් තමයි හැම තිස්සේ ම හිටියේ. එයා හැම කෙනාට ම එයාගෙන් වෙන්න ඕනේ යුතුකම හරියට ම ඉටු කළා. හැම වෙලාවක් ම එයාගේ හිත පිරිලා තිබුණා. කාටවත් අඩුපාඩුවක් එයා කරලා නැහැ. තමන්ගේ සතුට උපරිමයෙන් පවත්වා ගත්තා."

 

*රෝහලේදී උපරිම සත්කාර තාත්තාට ලැබුණා ද...?*

"තාත්තා කොවිඩ් හැදිලා පළමු අවස්ථාවේ රෝහලේ දින 25ක් නැවතිලා හිටියා. අම්මා තමයි ළඟ ම හිටියේ. අම්මාටත් කොවිඩ් හැදිලා හිටියේ. මුල් වතාවේ සනීප වුණු වෙලාවේ තාත්තා නවලෝක රෝහලේ අධිපති ජයන්ත ධර්මදාස ඇතුළු එම රෝහල් කාර්ය මණ්ඩලයට විශේෂයෙන් ස්තුති කළා. ඒ තරම් පුදුම කැපවීමකින් අපි ව බලා ගත්තා. ඒ වගේ ම තාත්තාට ආදරය කළ රසික පිරිස තාත්තාට ලොකු ශක්තියක් වුණා. තාත්තා ඒ හැමෝම ගැන ලොකු සතුටකින් හිටියා. තාත්තාට ඒ සතුට දුන් සැමට ස්තුතියි."

Comments