ඔබේ නියපෙළෙන් පෙන්වන රෝගී නිරෝගී ලක්ෂණ | සිළුමිණ

ඔබේ නියපෙළෙන් පෙන්වන රෝගී නිරෝගී ලක්ෂණ

 

 

සුන්දර දෑතක් සුන්දර දෙපා දෙකක් කියන්නෙ හැම යුවතියකගේම සිහිනයක්. නමුත් එම සුන්දරත්වයට බාධා කරන ප්‍රධාන සාධකයක් තමයි ප්‍රසන්න බවින් අඩු නියපොතු .නියපොතු වැවීම අලංකාර වුවත් එය බොහෝවිට අනතුරුදායකය. නියපොතු වැවීම මඟින් විසබීජවලට පහසුවෙන් නියපොතු තුළට ඇතුළු වීමට හැකි අතර සිරුරේ කැල්සියම් විටමින් සහ යකඩ ඌණතා නිසා බොහෝවිට ඔබගේ නිය පෙළ සුන්දරව තබා ගැනීමට බාධා පමුණුවා ඇත.

 

ඉතින් කෙනෙකුගේ දෙපාවල නිය පෙළ දුටු පමණින් ඇගේ හෝ ඔහුගේ පිරිසිදුකම තීරණය කළ හැකි බව කතාවක් තිබෙනු ඔබ අසා ඇත. මුහුණෙ කොපමණ දේවල් ආලේප කළත් හිසකෙස් වල කුමක් ආලේප කළත් බොහො දෙනෙකු නියපෙළට දක්වන්නෙ අඩු අවධානයකි. නිය පෙළ ආශ්‍රිත රෝග ඒවා සෑදීමට හේතු සහ ඒවාට කළ හැකි පිළියම් පිළිබඳ අද රසඳුන රූ රහස් ඔස්සේ ඔබව දැනුම්වත් කරන්නට අපි සුදානම්.

ඒ සඳහා රසඳුන සමඟ පිළිසඳරට එකතු වෙන්නෙ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සේම ආයුර්වේද වෛද්‍යවරියක් ද වන අයෝමි ශානිකායි.

අද මම ඔබව දැනුම්වත් කරන්නේ ඔබ අඩු අවධානයක් දෙන සහ නමුත් ඔබ වැඩි අවධානයක් දිය යුතු ඔබේ නියපෙළ පිළිබඳයි. බොහෝ දෙනෙකු සිතන්නෙ නියපොතු ශරීරයේ තිබෙන සුළු අංගයක් යනුවෙනි. මෙහිදී පවසන්නට අවශ්‍ය විශේෂම දෙයක් තමයි අපගේ ශරීරයේ තිබෙන කුමක් හෝ ලෙඩ රෝගයක් පිළිබඳ පණිවිඩයක් නියපොතු මඟින් අපට ලබා දෙයි. මෙහිදී බොහෝ විට මතුවන ගැටලුවක් තමයි ගැහැනු පිරිමි භේදයකින් තොරව මුහුණ දෙන නියපොතු දිරායෑමේ ගැටලුව. මෙයට ප්‍රධානම හේතුවක් වන්නේ නියපොතු වල බැක්ටීරියා දිලීර වර්ධනය වීමයි. මෙයට ප්‍රධානම වශයෙන් බලපානු ලබන්නෙ අපගේ නොසැලකිලිමත් බවයි.

නියපොතු දිරා යෑමට බලපාන හේතු ලෙස,

සිරුරේ පවතින ඌෂ්ණ රෝග, නියපොතු කැපීමේදී නියමල ආශ්‍රිතව තුවාල වීම, සබන් වර්ග වලින් නිතරම අත් පා සේදීම, නියපොතු අග අනවශ්‍ය ලෙස පිරිසිදු කිරීම, සිරුරේ කැල්සියම් ඌණතාව හේතු විය හැකිය.

නියපොතු දිරා යෑම අපට හඳුනාගත හැකි වෙන්නේ නියමුල රතුපැහැ වීම, අධික වේදනාවක් ඇතිවීම, ඉදිමීම හෝ ඇඟිල්ල අඟ දැවීම, ඇඟිලි තුඩු ඇඳුම් කන ස්වභාවය, නියපොත්තෙහි කොන් වලින් කැඩී යෑම, නියපොත්තෙහි කොටසක් හෝ මුළු නියපොත්තම සුදු පැහැ වීම, නියපොතු මුල සහ කොන් කළු වීම ආදී වශයෙන් පෙන්නුම් කරන රෝග ලක්ෂණ අනුවය.

ඔබ විලාසිතාවකට හො ඔබේ අවශ්‍යතාවකට නියපෙළ දික් කළත් එය පිරිසිදුව කුණු නොරැදෙන සේ තබා ගැනීම ඔබ සතු වගකීමකි. නියපොතු පොලිෂ් කර හැමවිටම පිරිසිදුව තබා ගැනීමට උත්සාහ කළ යුතුය. නියපොතු ඇතුළත කුණු රැදීම මඟින් ස්භාවිකවම බැක්ටීරීයා ක්‍රියාත්මක වීම ආරම්භ කරනවා වගේම ඒවාගෙන් නියමල් ආසාදනය වීම සහ නියමල් වැටීම වැනි වේදනාකාරී ගැටලුවලට ඔබට නිරන්තරයෙන් මුහුණ පෑමට සිදුවෙයි. ඔබ දිනපතා රැකියාවකට යන අයෙක් නම් බොහෝවිට දිනපතාම නිය ආලේපන සහ නිය අලේපන මකා දැමීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍යය ද්‍රව්‍යය භාවිත කරනවා ඇති. එයින් කලක් යන විට ඔබගේ නියපොත්තෙහි ස්භාවික එනමලය ගොස් නියපොත්තෙහි කහපාට වර්ධනය වීමට පටන් ගනියි. හැකිනම් සතියකට වතාවක් නියපොතු ආලේප කරන්න. එසේම නියපොතු වලින් පෙන්නුම් කරන අසාමාන්‍ය ලක්ෂණවලින් රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව ඔබ දන්නවාද? ඒ අනුව පහත ලක්ෂණ ඔබේ නියපොතුවලත් තිබේ දැයි ඔබම පරීක්ෂා කරගන්න.

 

දුඹුරු පැහැති සිරස් අතට ඉරි

මෙය මොලනොමා (melanoma) යනුවෙන් හඳුන්වන පිළිකා තත්ත්වයක් වගේම ඔබ බාහිරින් නිය ආලේපන කරනවා නම් වඩාත් සැලකිලිමත් වන්න. මක් නිසාද යත් ඒ මගින් ඔබට මෙම රෝග ලක්ෂණ මග හැරෙන්නට පුළුවන.

 

සුදු පැහැති ලප

ඔබ ගන්නා ආහාරවල පෝෂණය මදි සහ පෝෂණ ඌණතා ඇත්නම් එය නිය වර්ධනයට බලපානු ලබයි. ඒ මඟින් මෙම රෝගී තත්ත්වය හට ගනියි.

 

හැදිදැඩි නියපොතු

හැන්දක් ආකාරයෙන් නියපොතු වකුටුවී තිබීම මේ රෝගී තත්ත්වයේ ලක්ෂණයක් වන අතර මෙය යකඩ අඩුවීම නිසා ඇතිවන රක්තහීනතාවයේ ලක්ෂණයකි.

 

 

 

ඔබගේ නියපෙළ වඩාත් සෞඛ්‍යාරක්ෂිතව තබා ගැනීමට පහත් උපදෙස් පිළිපදින්න.

 

ඔබේ නියපොතු තෙත්ව තබා ගන්න.

නියපොතු දාර සුමට කරන්න.

ඇඟිලි සඳහා ප්‍රමාණවත් සුවපහසු පාවහන් පලැඳින්න.

කුමක් හෝ කටයුත්තක් කරන විට අත්වැසුම් පලැඳිින්න.

නිය ආශ්‍රිතව චර්ම රෝගයක් ඇත්නම් ඉක්මනින් ප්‍රතිකාර ලබා ගන්න.

කෙරටින් ලබා ගත හැකි විටමින් ඊ මාළු හා ඇට වර්ග ඔබේ ආහාර වේලට එකතු කර ගන්න.

නියපොතු කැපීමට ගන්නා නියකටරය පිරිසිදුව තබා ගන්න.

ඔබ නියපොතු වල ගැල්වූ ආලේපන සඳහා ආරක්ෂිත ක්‍රමවේදයක් භාවිත කරන්න.

දෙහි දලු ,අමුකහ, උඳුපියලිය ගෙන සිහින්ව අඹරා ගන්න.එය රාත්‍රියේදී නියපොත්තෙහි ගා බුලත් කොළයකින් වසා රැයක් තබන්න. නොකඩවා දින 21 මෙම ප්‍රතිකර්මය කරන්න.

වෙනිවැල්ගැට තැම්බු වතුර අමුකහ ආදිය ආදිය තැම්බු වතුර වලින් අත් පා සෝදන්න.

මොයිස්වරයිසර් ක්‍රීම් එකක් දිනපතා ආලේප කරන්න.

නියපොතු කළු පැහැ සහ නියපොතු වලින් දුර්ගන්ධයක් එනවා නම් ඇපල්සයිඩ් විනාකිරි සහ මඳ උණුසුම් ජලය මිශ්‍ර කොට පැය බාගයක් පමණ එහි දෙපා හෝ ඇඟිලි ඔබාගෙන සිටින්න. පසුව හොඳින් තෙත මාත්තු කරන්න.

ඇපල්සයිඩ විනාකිරි සහ හාල්පිටි මේස හැන්දක් ගෙන තලපයක් සේ සාදා ආසාදිත නියපොත්ත වටේට ආලේප කරන්න. විනාඩි විස්සකින් සෝදා හරින්න.

බේකින්පවුඩර් මේස හැදි දෙකකට මඳ උණුසුම් ජලය දමා මිශ්‍ර කර පුළුන් කැබැල්ලකින් පොඟවා නියමත ආලේප කර විනාඩි විස්සකින් සෝදා හරින්න.

සුදූලුනු බික් හතක් අටක් ගෙන හොඳින් අඹරා එයට මඳ උණුසුම් ජලය දමා කකුල් දෙක ගිල්වා තබන්න. විනාඩි විස්සකින් දෙපාවල තෙතමාත්තු කර එහි මොයිස්වරයිසර් ක්‍රීම් එකක් ආලේප කරන්න.

සුදුලූනු බික් දෙක තුනක් ඔලිව් ඔයිල් සමඟ අඹරා පුළුන් කැබැල්ලක් ගෙන නියපොත්තෙහි ආලේප කරන්න.

වියළි කහ අඹරා එය පේස්ට් එකක් සේ සාදා නියපොත්තෙහි ආලේප කරන්න.

රතුලූනු ගෙඩිය කපා එයින් නියපොත්ත හොඳින් තවන්න.

පිරිසිදු පොල්තෙල් ස්වල්පයක් ගෙන එය ආසාදිත නියපොත්තෙහි ආලේප කරන්න.

Comments