එන්නත්කරණ දැන්වීම ‘කූඹියෝ’ මාර්කටින් වැඩක්ද? | සිළුමිණ

එන්නත්කරණ දැන්වීම ‘කූඹියෝ’ මාර්කටින් වැඩක්ද?

 

ජනප්‍රිය නළුවා සම්මානය ද හිමි කර ගනිමින් අතිශය ප්‍රේක්ෂක පිරිසකගේ ආකර්ෂණය දිනා ගත් "කූඹියෝ" ටෙලි නාට්‍යයේ ආකෘතිය සහ ප්‍රධාන රංග ශිල්පීන් දෙදෙනාව මේ දිනවල රටේ පවතින වසංගතය පාලනය කිරීමේ ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගෙන තිබෙන අයුරු අපි දුටිමු. එහි ප්‍රධාන භූමිකාව නිරූපණය කරන තුමිඳු දොඩන්තැන්න ගෙන් අපි ඒ ගැන ඇසුවේ එන්නත්කරණය වැනි කාලීන දෙයකට සිය නිර්මාණශීලි දායකත්වය ලබා දීම ගැන වන පහන් සිතිනි.

 

මොකක්ද මේ කොරෝනා කූඹියෝ 1 සහ 2...?

"කොරෝනා පළමු රැල්ල ආව වෙලාවේ රට දැඩි ලෙස වසා දැමුවා. ඒ වෙලාවේ තැන් තැන්වලින් කොවිඩ්-19 රෝගීන් හමු වෙන්න පටන් ගත්තා. ගොඩක් මිනිස්සු රෝගය තමන්ගෙන් සමාජයට සඟවන්න උත්සාහ කළා. මේක සැඟවිය යුතු දෙයක් නොවන බවත්, රෝගය වැලඳී ඇත්නම් දින දාහතරක් නිරෝධායනය විය යුතු බවත් සෞඛ්‍ය අංශ නිරතුරුව ප්‍රචාරය කළා. නමුත් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න සෞඛ්‍ය අංශවලට පහසු වුණේ නැහැ. "කූඹියෝ කණ්ඩායම" මුලින් ම මැදිහත් වුණේ ඒ සමාජ කාර්ය ඉටු කිරීම සඳහා යි."

 

කොරෝනා කූඹියෝ 2 කොටසකුත් ජනගත කරලා තියෙනවා නේද..?*

"අපේ රටේ මිනිස්සුන්ට එන්නත්කරණය සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති වෙලා නැහැ. මොකද පාරම්පරික දේවල් එක්ක තමයි අපේ රටේ මිනිසා කාලයක් තිස්සේ ජීවත් වෙන්නේ. නමුත් මේක ලෝක වසංගතයක්. එන්නත තමයි විසඳුම කියලා සෞඛ්‍ය අංශ දිගින් දිගට ම පැවසුවත් ජනතාවට ඒ ගැන විශ්වාසයක් නෑ. නමුත් ජනතාව කූඹියෝ ටෙලි නාට්‍යයේ ජෙහාන්ට ආදරය කළා. ඒ නිසා දෙවනුව එන්නත්කරණය ගැන ජනතාවට විශ්වාසයෙන් කියන්න කූඹියෝ ටෙලි නාට්‍යයේ ආකෘතිය සමඟ ජෙහාන් ව සහ ප්‍රියන්ත ව පාවිච්චි කළා."

 

කූඹියෝ කණ්ඩායමට මෙහෙම දෙයක් කරන්න සිතුණේ ඇයි...?

"ඇත්තට ම අපට මෙහෙම දෙයක් කරන්න සිතුණෙ නෑ. නිරෝධායනය වීම පිළිබඳ පණිවුඩය ජනතාවට වඩාත් හොඳින් දෙන්න කූඹියෝ නාට්‍යයේ ජනප්‍රියත්වය පාවිච්චි කරමු කියලා පළමු යෝජනාව අපට කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය මගිනුයි."

 

ඒ ඉල්ලීම අනුව කූඹියෝ නාට්‍ය ආකෘතිය ඔවුන්ට අලෙවි කළා ද....?

"නෑ නෑ. එහෙම කළේ නෑ. ඒ ආකෘතිය පාවිච්චි කරලා මාවයි, කලණ ගුණසේකරවයි අරගෙන කූඹියෝ නාට්‍යයේ පිටපත ලියමින් එය අධ්‍යක්ෂණය කළ ලක්මාල් ධර්මරත්න කොරෝනා පණිවුඩය සහිත නව පිටපත් ලියලා කොරෝනා කූඹියෝ 1 සහ 2 නිර්මාණය කළා. නිරෝධායනය සහ එන්නත්කරණය පිළිබඳ පණිවිඩ මේ හරහා සරල සාමාන්‍ය මිනිසුන්ට බොහොම සුහදශීලීව අරගෙන ගියා. ඒක සාර්ථක වුණා."

 

මේවාට වියදම් කළේ කවුද...?

"ලොකු වියදමක් ගියේ නෑ. සංස්කරණයට තමයි ටිකක් වැඩිපුර වියදම් වුණේ. මේකෙ පළමු කොටසට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය මඟින් වියදම් දැරුවා. දෙවන අවස්ථාවේ දී කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මිය සහ ශ්‍රීපාලි මණ්ඩපයේ අධිපති මහාචාර්ය ප්‍රතිභා මහානාම මහතාගේ ඉල්ලීම, මඟපෙන්වීම සහ එම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන යටතේ දෙවැනි කොටස නිර්මාණය කළා."

 

කලා නිර්මාණයේ ජනප්‍රියත්වය ප්‍රචාරණ කටයුත්තකට යොදා ගත්තේ ඇයි...?

"රටේ පවතින වසංගත තත්ත්වය ගැනත්, මිනිස්සුන්ට වඩාත් පහසුවෙන් ආමන්ත්‍රණය කරන්න පුළුවන් විදිය ගැනත් හිතලා තමයි අපි මේ වෙලාවේ කොරෝනා වසංගතයෙන් ජනතාව මුදවා ගැනීමේ කාර්යයට සත්භාවයෙන් සම්බන්ධ වුණේ. මේක වෙළෙඳාමක් සඳහා වුණා නම් අපි කණ්ඩායම මේකට සම්බන්ධ වෙන්නේ නැහැ."

 

කූඹියෝ ටෙලි නාට්‍යය අපරාධ ගණයට අයත් වන, සමාජයේ සැඟවුණු ගේම් කාරයෙක් ගැන කියවෙන නිර්මාණයක් හැටියට එවැනි කථා සාරයක් සහිත නාට්‍යයක් සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු සඳහා පාවිච්චි කිරීම ඵලදායී ද...?

"ඇත්තටම කූඹියෝ නාට්‍යයේ ජනප්‍රියත්වය තමයි අපි මෙතැනදී පාවිච්චි කළේ. ජනප්‍රියත්වයෙන් පණිවිඩයක් දෙන්න පහසුවක් වුණා. විශේෂයෙන් ම මම රඟපෑ ජෙහාන් කියන චරිතය කූඹියෝ ටෙලි නාට්‍යයේ හැටියට සමාජයේ සැඟවුණු වීරයෙක්. එවැනි වීරයන්ට ජනප්‍රසාදය ඇති වන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. නෛතිකභාවයට පටහැනි වුණත් සමාජ ආදරය, පිළිගැනීම ලැබෙන චරිත තියෙනවා. ඒ නිසා මෙම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යයේදී "කූඹියෝ" සාර්ථක සන්නිවේදන මෙවලමක් වුණා."

 

මෙයින් කූඹියෝ ටෙලි නාට්‍යයට වෙ‍ෙළඳ වටිනාකමක් ඇති වුණා නේද....?

"ඔව්. නමුත් මේක වාසියක් වටිනාකමක් විදියට සලකන්නේ නැහැ. මේක රටේ අවශ්‍යතාවක් ඉටු කිරීමක් පමණයි.

අඩු තරමේ අපි මේ නිර්මාණයේ දී අපේ නම් ගම්වත් පාවිච්චි කළේ නෑ.."

 

කූඹියෝ ටෙලි නාට්‍යයේ 2 කොටසක් ඉදිරියේදී එන්න තියෙනවා නේද...?

"ඔව්. මේ දවස්වල ඒ සඳහා සූදානම් වෙනවා. රටේ තත්ත්වය සාමාන්‍ය වුණා ම රූගත කිරීම් ආරම්භ කරන්නයි අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්න බලාපොරොත්තු වෙන්නේ."

 

කූඹියෝ දිගට ම මාර්කට් වෙයිද..?

"කොහෙත් ම නැහැ. මේ වගේ මැදිහත් වෙන්න අත්‍යවශ්‍ය ම වෙලාවක හැරෙන්න අපි කූඹියෝ මාර්කට් කරන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ."

 

Comments