අංග රචනා කලාව නිරන්තරයෙන් හැදෑරිය යුතු ක්ෂේත්‍රයක් | Page 2 | සිළුමිණ

අංග රචනා කලාව නිරන්තරයෙන් හැදෑරිය යුතු ක්ෂේත්‍රයක්

 

හැමෝම කැමති ලස්සනට ඉන්න. හැබැයි තවත් කෙනෙක් ලස්සන කරනවා කියන්නේ කලාවක්. අංගරචනා කලාව කියන්නේ අන්න ඒ විදියට කෙනෙක් තවත් කෙනෙක් ව හැඩ කරන අපූරු කලාවක්. අද වෙද්දී විවිධ නම් වලින් හඳුන්වන මේ අංගරචනා කලාවෙන් ඉදරියට ආව බොහෝ දෙනෙක් ඉන්නවා. අංගරචනා කලාව කියන්නේ මනා ශික්ෂණයකින් යුතුව හැදෑරිය යුතු සියුම් කලාවක්. ඒ නිසාම මේ කතා බහට අපි එකතු කර ගත්තේ කාලයක් විවිධ මාධ්‍ය ක්ෂේත්‍රයන්හි වැඩ කරමින් සිය නාමය ලකුණක් බවට පත් තරගත් ගගන ද සිල්වා. ඔබත් තිරෙන් පිටුපස සිට කරන මේ වෘත්තියට එන්නට උනන්දුවක් දක්වන කෙනෙක් නම් මේ ලිපිය ඔබට වැදගත් වේවි.

 

අංගරචනා ශිල්පය කියන්නෙ මොකක් ද?

මුහුණ මුල් කරගෙන, ශරීරය බාහිරට නිරාවරණය වන අංග, ශිල්පීයා ඉදිරිපත් කරන අදාළ චරිතයට සුදුසු පරිදි අංගරචනා මෙවලම් යොදා ගනිමින් හැඩගැන්වීම, අංගරචනා ශිල්පය යනුවෙන් මූලිකවම හඳුන්වන්න පුළුවන්. ඒ අතරින් නාට්‍ය කලාව තුළ අංගරචනා ශිල්පයට විශේෂ තැනක් හිමිවෙනවා.

කාලයත් සමග අද වෙද්දී අංගරචනා ශිල්පය විවිධ ක්ෂේත්‍ර හරහා දියුණුවෙමින් පුළුල් විෂයක් බවට පත්වෙනවා.

 

අංගරචනා ශිල්පියෙක් වෙන්න තිබිය යුතු මූලික දේවල් මොනවාද?

මෙහිදී චිත්‍ර ශිල්පය පිලිබඳ ඇති අවබෝධය වැදගත්. ඒවගේම අංග රචනා අමුද්‍රව්‍ය, මෙවලම් පිළිබඳ අවබෝධයත් නිර්මාණශීලි චින්තනයත් බෙහෙවින් ප්‍රයෝජනවත්. පිරිසිදුකම, පිළිවෙල සහ ස්වයං විනයත්, අංගරචනා ශිල්පය පිළිබඳ නිසි අධ්‍යාපනය සහ පුහුණුවටත් අමතරව, තමන් දායක වන නිර්මාණය වෙනුවෙන් තමන්ගේ උපරිම දායකත්වය ලබාදීමත් අවශ්‍යයයි.

 

වේදිකා නිර්මාණයකට අංගරචනාවක් කරද්දි සැලකිය යුතු මොනවාද?

වේදිකාවක් මත ඉදිරිපත් කරන ඕනෑම නිර්මාණයක් ප්‍රාසාංගීක කලා නිර්මාණයක්. ප්‍රේක්ෂකාගාරයේ මුල සිට අවසානය දක්වා සිටින සෑම ප්‍රේක්ෂකයකුටම වේදිකාව මත ඉදිරිපත් කිරීම කරන ශිල්පියාගේ මුහුණින් කරන්නාවූ සියුම් භාව ප්‍රකාශන දැකගත හැකි විය යුතුයි. ඒ නිසා ඒ ශිල්පියාට යොදන අංගරචනය මුහුණේ හැඩතල මැනවින් පෙනෙන ආකාරයට අංගරචනය කළ යුතුයි.

 

වේදිකා නිර්මාණයකට යොදන අංග රචනාවම රූපවාහිනී තිරයට ගැළපෙනවද?

නැහැ. රූපවාහිනී මාධ්‍යයේ දී ඒක වෙනස් වෙනවා.එතනදී කැමරාවක් ඔස්සේ සජීවී හෝ පටිගත කළ දර්ශන තමයි පෙන්වන්නේ. එතනදී ඕනෑම කෙනෙකුගේ සමීප රූප ප්‍රේක්ෂකයාට ලබාදීමේ හැකියාව තිබෙනවා. රෑපවාහිනී වැඩසටහනකදී අපි සැලකිලිමත් විය යුතුයි ශිල්පීයාගේ ස්වාභාවික පෙනුම ආරක්ෂා වන ආකාරයෙන් සරල අංගරචනයක් සිදු කරන්න.

 

සිනමාවේ අංගරචනා කිරීමේදි සැලකිය යුතු කරුණු මොනවාද?

සිනමාවේදි අපි රංගන ශිල්පීයාව දකින්නේ පුළුල් තිරයක් මත. ඒ නිසා අපි යොදන අංගරචනය සියුම් විය යුතුයි. සරලව කියනවා නම් මේකප් කළ නොකළ මට්ටමේ තිබිය යුතුයි. සිනමාවේදි අපි ප්‍රධාන වශයෙන් සරල අංගරචනා, චරිතාංග අංග රචනා, විශේෂ ප්‍රයෝග අංග රචනා භාවිත කරනු ලබනවා.

 

මංගල දිනයක යොදන මේකප් එක සහ සාමාන්‍ය උත්සව අවස්ථාවන්ට යොදන මේකප් එක අතර වෙනස කොහොමද?

පැහැදිලි වෙනසක් තිබෙනවා. මනාලියක් කියන්නේ පෙර සූදානම සහිතව කරන්නාවූ හැඩගැන්වීමක්. මනාලියක් වීම ඕනෑම යුවතියකගේ සිහිනයක්. ඒ සිහිනය යථාර්ථයක් කරදීමට රූපලාවණ්‍ය ශිල්පීයාට හැකිවිය යුතුයි. ඉතින් ඒ සඳහා සුදුසු කාලසීමාවක සිට සූදානම්වී, ඇගේ මංගල දිනයදා යුවතිය දෙව්දුවක් සේ සරසා, හැඩගැන්වීම රූපලාවණ්‍ය ශිල්පීයා සතු වගකීමක්. ඒ වගේම මංගල උත්සවයකට යාමට කෙනකු සූදානම් කිරීමේදී අප සිදු කරනු ලබන්නේ, ඕනෑම කෙනකු සතු ස්වභාවික ලස්සන සරලව ඉස්මතු වනසේ හැඩගැන්වීමයි.

 

මේ කාලේ බොහෝ දෙනා කැමති නැචුරල් එහෙමත් නැත්නම් ස්වභාවික හැඩගැන්වීමට. ඒ දේ ඔබ දකින්නෙ කොහොමද?

එය ඉතාම හොඳ ප්‍රවණතාවක්. යුගයෙන් යුගයට විවිධ විලාසිතා, මේකප් වර්ග අප අතරට එනවා. ඉතින් නැචුරල් මේකප් කියන සංකල්පය කොයි යුගයටත් ඔබින දෙයක්. අද ගොඩක් යුවතියන් කැමතියි සරල මේකප්, සරල හෙයාර් ස්ටයිල්, සරල ඇදුම් නිර්මාණ, සහ අවම ආභරණ භාවිත කරන්න.

 

මේ කලාවට න්‍යායාත්මක පසුබිම ප්‍රමාණවත් ද?

වෘත්තීමය අංගරචනා ශිල්පියෙක් විදිහට කෂේත්‍රයට පිවිසීමට නම් සුදුසුකම් ලත් ආයතනයකින් අංගරචනා ශිල්පය පිලිබඳ මූලික අධ්‍යාපනය ලබා ගත යුතුයි .

එසේත් නැත්නම්, ප්‍රවීණ ශිල්පීයකු යටතේ දීර්ඝ කාලයක් ශිල්පය පිලිබඳ අධ්‍යයනය කළ යුතුයි.

 

ප්‍රායෝගික අංගරචනා කලාවේ පවතින අර්බුද මොනවාද?

නිසි වෘත්තීය නිපුණත්වයක් නොමැති ශිල්පීන් අඩු මුදලට තමන්ගේ සේවය ලබාදීමට ඉදිරිපත් වෙනවා. ඒ හේතුවෙන් වෘත්තීමය ශිල්පීන්ගේ වටිනාකම අවතක්සේරුවට ලක්වෙනවා. ඒවගේම, නිර්මාණයේ ඇති ගුණාත්මකභාවය අඩුවෙනවා.

 

ඔබ මේ කලාවෙන් සැලසුම් කරපු ඉලක්කයට ඇවිත් ද තියෙන්නේ

 

අද මම ඉන්න තැන ගැන මට නිහතමානී සතුටක් තියෙනවා. මම මගේ සෑම නිර්මාණයක් වෙනුවෙන්ම උපරිම දායකත්වය ලබා දෙනවා . හදවතින්ම ඒ වෙනුවෙන් කැපවෙනවා. ඒවගේම මට මේ ගමන වෙනුවෙන් විශාල පිරිසක් නන් අයුරින් උපකාර කරලා තිබෙනව. මම ඒ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඒවගේම, වෘත්තීය දිනෙන් දින දියුණුවෙන දැවැන්ත කෂේත්‍රයක්. අද වෙද්දී විවිධ මාධ්‍ය හරහා මේ සම්බන්ධයෙන් දැනුම ලබා ගන්න මාර්ග විවෘත වෙලා තියෙනවා. මම අදටත් අලුත් ක්‍රම අධ්‍යනය කරමින් ඒ දේවල් අත්හදා බලමින් පුරුදු පුහුණු වෙනවා.

අද වෙද්දී බොහො දෙනා මෙ ක්ෂේත්‍රයට එන්න කැමතියි, අලුතින් එන අයට මොන වගේ උපදෙසක් ද දෙන්නෙ

මේ ක්ෂේත්‍රයට එන ඕනෑම අයකු ඒ සදහා මූලික අධ්‍යාපනයක්, නිසි පුහුණුවක් ලබාගත යුතුයි. ඉන් අනතුරුව දැනට පවතින අංගරචනා තාක්ෂණය පිළිබඳවත්, යාවත්කාලීන වන තාක්ෂණයන් පිළිබඳවත් නිසි අවබෝධයෙන් සිටිය යුතුයි. ඒ වගේම, නිරතුරුවම සතත අභ්‍යාසයේ යෙදීමත් ඉතාම වැදගත් .

ඒ එක්කම අප විසින් අප ජීවිතේ ගොඩනඟා ගන්නා වූ ආචාරධර්ම පද්ධතියක ඉඳගෙන, අප කරන්නාවූ නිර්මාණය හදවතින්ම, අපගේ උපරිමය යොදා ඉටුකළ යුතු අතර, සුහදශීලී කාරුණික බව, ආචාරශීලීබව, නිහතමානීකම, ඉවසීම සහ හොඳින් ඇහුම්කන්දීම වගේ ගුණාංගයන් හරහා අප වෙත පැමිණෙන සේවාදායකයාට ඉතාමත් හොඳ සේවයක් ලබාදීමට හැකිවෙනවා මෙන්ම, කෂේත්‍රයේ ඉතා හොඳ ස්ථාවරත්වයක් නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා.

Comments