සහල් මාෆියාවට තිත වැටෙන ලකුණු | සිළුමිණ

සහල් මාෆියාවට තිත වැටෙන ලකුණු

පි හැමදාම ලිව්වේ පොලොන්නරුවේ මහ මෝල් හිමියන් 5 - 6 දෙනෙක් මෙරට හාල් මිල පාලනය කරන බවයි. නමුත් ඒ මහ මෝල් හිමියන්ට අත තැබීමට කිසිම පාලකයකු ජගතෙකු සමත්කම් දැක්වූයේ නැත.

නමුත් වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂයන් වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනට හා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් සෙනරත් නිවුන්හැල්ලට ලබා දුන් උපදෙස් අනුව පසුගිය 8 වැනිදා මෙරට ප්‍රථම වරට මෙරට මහ මෝල් හිමියන් අට දෙනකු සඟවාගෙන තිබූ වී කිලෝ ලක්ෂ 12 ක් පමණ රජය බාරයට ගත්හ.

අත්‍ය­වශ්‍ය සේවා කොමසාරිස් ජන­රාල් මේජර් ජන­රාල් එන්.ඩී.එස්.පී. නිවු­න්හැල්ල හා
පාරි­භෝ­ගික ආර­ක්ෂණ අධි­කා­රියේ සභා­පති විශ්‍රා­මික මේජර් ජන­රාල් ශාන්ත
 දිසා­න­යක හා නිපුන සහල් මෝල අධි­පති රාජ්‍ය අමාත්‍ය සිරි­පාල ගම්ලත් යන අය
නිපුන සහල් තොග රජ­යට ලබා­ගැ­නීම පිළි­බඳ සාක­ච්ඡා­වක නිර­ත­වෙ­මින්.

ඒ අනුව නිපුන, ලත්පඳුර, අරලිය, හිරු, නිව් රත්න සහ සූරිය යන සහල් මෝල් සතුව පවතින තොග පවරා ගැනීම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් සෙනරත් නිවුන්හැල්ල හා ‍පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායකගේ අධීක්ෂණය ඇතිව 8 වැනිදා සිදුවිය.

මේ යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තිබූ එම මහා පරිමාණ හා සහල් මෝල්වලින් රජයට පවරාගත් සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 12 කි. අරලිය සහල් මෝල් සතුව තිබූ සහල් කිලෝ ලක්ෂ 4 ක්, නිපුන සහල් මෝල් සතුව තිබූ සහල් කිලෝ ලක්ෂයක් නිව් රත්න සහල් මෝල් සතුව තිබූ සහල් කිලෝ 175000 ක් ලත්පඳුර සහල් මෝල් සතුව තිබූ සහල් කිලෝ 75000 ක් ද මෙසේ රජයට පවරා ගෙන ඇත.

ඊට අමතරව අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සහ පොලිසිය එක්ව සිදුකළ වැටලීම්වලදී අනුරාධපුරයේ අනවසර සහල් ගබඩා 7ක සඟවාගෙන තිබූ සහල් කිලෝ ලක්ෂ ගණනාවකට මුද්‍රා තබා ඇත. රජය විසින් පසුගියදා සහල්වලටත් උපරිම පාලන මිලක් නියම කිරීමෙන් පසුව ප්‍රමාණවත් පරිදි නිෂ්පාදන ධාරිතාව පවත්වාගෙන යාම සහ හිඟයකින් තොරව සහල් වෙළෙඳ පොළට නිකුත් කිරීම පිළිබඳව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා මහ මෝල් හිමියන් සමඟ සාකච්ඡා කොට තීරණයක් ගෙන තිබිණ. නමුත් එකඟවූ පරිදි ඔවුන් පසුගිය දිනවල කටයුතු නොකර සහල් තොග වෙළෙඳ ‍පළට නිකුත් නොකිරීම හේතුවෙන් එම මහ මෝල් හිමියන් සතුව සඟවාගෙන ඇති සහල් රජයට පවරාගෙන ජනතාවට බෙදා හැරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ට හා පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් දී තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම වැටලීම් කළ බවත් රත්න සහල් මෝල් සතුව තොග පවරා ගැනීමේදී හිමිකාරිත්වය විසින් සැලසුම් සහගතව විරෝධතා මතු කළ බවත් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු පවසති.

කෙසේ වුවත් රත්න හාල් මෝල සතුව සහල් කිලෝ ලක්ෂ 410 ක් ඇති බව පරීක්ෂණවලින් හෙළිවී තිබේ. ඉන් පසුගිය දිනවල වෙළෙඳ පොළට නිකුත් කර තිබුණේ කිලෝ 60000 ක් පමණි. මෙලෙස රජය භාරයට ගත් නීති විරෝධී ලෙස සඟවාගෙන තිබූ සහල් තොග රජයේ සහල් තොග මිල යට‍තේ පවරා ගත් අතර සතොස වෙළෙඳසල් වෙත ඒවා ප්‍රවාහනය කිරීම 8 වැනිදා ම ආරම්භ කෙරිණි.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය පවසන්නේ මේ සහල් තොග හැකි ඉක්මණින් සතොස හා සමුපකාර මඟින් රජයේ පාලන මිල යටතේ රටේ සියලුම පාරිභෝගිකයන්ට ලබා දෙන බවයි. ඊට අමතරව දිසාපතිවරුන් විසින් පෞද්ගලික අංශයටත් මෙම සහල් තොග විකිණීමට ද කටයුතු සංවිධානය කරමින් පවතී.

මේ අතර අරලිය සහල් මෝල සතුව තිබූ සහල් තොග රජයට පවරා ගනිමින් සිටින බව දැනගත් රත්න හාල් මෝල අයිතිකරුවන් තම සහල් තොග රැගත් විශාල ලොරි රථ 15 ක් ඉක්මණින් පිටතට යැවීමට කටයුතු කර තිබිණි. නමුත් පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ නිලධාරීහු එම සහල් තොග පවරාගෙන සතොස වෙත යැවීමට කටයුතු කළහ. ඒ අත්‍යවශ්‍ය සේවා පනත හා පාරිභෝගික සේවා පනත අනුව ඔවුන්ට ලැබී ඇති බලතලවලට අනුගත වෙමිනි.

පාරිභෝගික සේවා අධිකාරියේ හා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාත් කාර්යාලයේ නිලධාරීන් පවසන්නේ පොලොන්නරුවේ මහ මෝල් හිමියන් සඟවාගෙන තිබූ සහල් තොග රජයට ගැනීමට තමන් පැමිණි අවස්ථාවේ තම පිරිසට එම මෝල් හිමියන් සැලසුම් සහගත ලෙස විරෝධතා එල්ලකර තම රාජකාරියට බාධා කළ බවයි. ජනපතිගේ උපදෙස් අනුව මෙලෙස සඟවාගෙන තිබූ අල්ලාගත් සහල් තොග පාරිභෝගිකයාට ලබාදීම පිණිස සුදුසු අලෙවි මධ්‍යස්ථාන වෙත ඉතා ඉක්මණින් ලබා දෙන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් නිවුන්හැල්ල පවසයි.

මේ අතර මෙම සහල් තොග පවරා ගැනීමට විරුද්ධව කටයුතු කළ ගොවියන් යැයි කියූ පිරිස සැබෑ ගොවියන් නොවන බව පොලොන්නරුවේ ගොවි සංවිධාන නායකයෝ පවසති.

ඒ සමඟම මේ පිළිබඳව කරුණු දැක්වූ කවුඩුල්ලේ ගොවි නායක එම්.කේ. ජයතිස්ස පැවසුවේ මෙම පොලොන්නරුවේ මහ මෝල් හිමියන්ගේ වී තොග රජය විසින් ලබාගැනීම නිසා දැන් මහ මෝල් හිමියන් වී තොග මිලට ගැනීම නවතා දමා ඇති බවයි.

“දැන් අපිට වී විකුණන්න බැහැ. කවුරුවත් මේ පැත්තේ වී ගන්නේ නැහැ. අපි මේ ගැටලුවේ එක පැත්තක්වත් ගන්නේ නැහැ. අපේ වී ටික පසුගිය දවස්වල කිලෝ 1 ක් රුපියල් 60 කට විකුණුවා. නමුත් දැන් 50 ට වත් ගන්න කෙනෙක් නැහැ. මේ පිළිබඳව කෘෂිකර්ම ඇමැතිවරයාත් අවධානය යොමු කළ යුතුයි. වී අලෙවි මණ්ඩලයත් හරියට ක්‍රියාත්මක නැහැ. මේවයින් පොලොන්නරුවේ සැබෑ ගොවියනුත් අපහසුතාවට ලක්වෙලා” එන්.කේ. ජයතිස්ස පවසයි.

අලුත් තොරතුරු අනුව මෙසේ පොලොන්නරුවේ මහ සහල් මෝල් හිමියන් සතුව තිබී පවරාගත් මුළු සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1000 කට අධිකය.

ඒ සියලු සහල් තොග සහල් සඳහා වැඩි ඉල්ලුමක් සහිත සතොස අලෙවිහල්වලට ප්‍රවාහනය කර ඇත. මේ පිළිබඳව කරුණු දක්වන වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසූයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් තමා හා කෘෂිකර්ම ඇමැතිවරයා සමඟ මීට මසකට පෙර පොරොන්දු වූ ප්‍රකාර සහල් තොග වෙළෙඳපොළට අඩු නැතිව සහල් ලබාදීමේ පොරොන්දුව කඩ කිරීම නිසා මෙලෙස අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ගේ බලතල අනුව මහ මෝල් හිමියන්ගේ සඟවාගෙන තිබූ සහල් යම් ප්‍රමාණයක් රජයට ගැනීමට සිදුවූ බවයි.

“කෝවිඩ් වසංගතය දරුණු ලෙස තිබෙන මේ වකවානුවේ අපේ රටේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දැරිය හැකි මිලකට ලබාදීමේ වගකීම රජයට පැවරෙනවා. නමුත් පසුගිය කාලයේදී සහල් මිල නොසිතූ අයුරින් ඉහළ ගියා. එයට පිළියමක් ලෙස යල කන්නයේ අස්වනු නෙළීම ආරම්භ වනවිටම පොලොන්නරුවේ මහ මෝල් හිමියන් සමඟ මමත් කෘෂිකර්ම ඇමැතිතුමාත් සාකච්ඡා පවත්වා එකඟතාවකට ආවා, නාඩු කිලෝවක් රුපියල් 98 ටත් සම්බා කිලෝවක් රුපියල් 103 කටත් කීරි සම්බා රුපියල් 125කටත් සහල් වෙළෙඳපොළට නොඅඩුව ලබාදෙන බවට.”

“නමුත් මහ මෝල් හිමියන් එම එකඟතාව කඩකර පසුගිය සතිය තුළදී තොග වෙළෙඳපොළට සහල් ලබාදීම නවතා දැමුවා. සතොස මඟින් සහල් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවූවත් ඒ ටෙන්ඩර්වලට සහල් දෙන්න මේ අය ඉදිරිපත් වුණේ නැහැ. මේ නිසා රටටම අඩු මිලට සහල් දුන්න සතොසට සහල් ඇටයක්වත් නැති තත්ත්වයක් උදාවුණා.”

“මේ තත්ත්වය අනුව අපේ රටේ ජනතාවට නියමිත පාලන මිලට සහල් ලබාදීමට ජනපතිගේ නියෝගයක් අනුව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ගේ මෙහෙයවීමෙන් ප්‍රධාන සහල් මෝල් හිමියන්ගෙන් යම් සහල් ප්‍රමාණයක් ලබාගන්නට අපට සිදුවුණා. ඒවා ක්ෂණිකව සතොසට ලබාදෙනවා. හරියට තොග වෙළෙඳ පොළට නියමිත පොරොන්දු පරිදි සහල් ලැබුණොත් යළි මෙවැනි දේ සිදුවන්නේ නැහැ.” වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන පවසයි.


 

Comments