සරාගේ ලෝකය | සිළුමිණ

සරාගේ ලෝකය

හැන්දෑ අන්ධකාරය මඳින් මඳ දැඩි වුවද වැව් දියෙහි ඒ හැටි සිහිලසක් නැත. දිවාකල මුළුල්ලේ චණ්ඩ හිරු රැසින් බැටකෑ බවට දෙස්දෙන මඳ උණුසුම් දියෙහි ගිලෙන්නට නොඉවසිලිමත් සිරුර වෙනදා මෙන්ම සිතට පරිදි .සිතන්නට හා තැවෙන්නට කරුණු කාරණා එමට ඇතත්, ඇය හොද්ද හැඳිගාන්නාක් මෙන් සිත හාරා පාරා පිරික්සන්නට ප්‍රිය නොකරයි. බාලේ තවම බොඳ නොවූ ගැඹුරු ළිඳේ මතකය සංත්‍රාසය දනවයි.

එදා ජංගිපොඩිය තෙමා දැමූ, සන්ත්‍රාසය මෙදා ඒසා දැඩි නොවෙතත් එහි ස්මරණය තවම බිය ජනකය.

" එන්නෙ එහෙම නෑ තනියම ළිඳට.."යි තරවටු කරන්නට ඔහු අමතක නොකළේය. ඒද හතිලමිනි. කළගෙඩිය පුරවාගන්නට දැරූ ප්‍රයත්නය අතිශයින් වෙහෙසකරවූ බැවිනි. එහෙත් හතිලමින් පමා වන්නට ඉසිඹුවක් නැත්තේය. හෙවණැල්ල වාගේ. පස්සෙන් වැටෙන කෙල්ල ඉස්කෝලෙට තල්ලුකරදමා, බඩ රස්සාවට යායුත්තේය.

"කෙල්ල ඉස්කෝලෙ යවන්ඩ ඕනෑ හැමදාම"

මරණ මංචකයේදී ඇය මහත් වෙරවීරියෙන් කළ ඉල්ලීම පැහැර හරින්නට ඔහුට නොපුළුවන.

කිරිකැටියෙකු දැඩිමේනි කරන්නට නොමසුරුව කිරි වඟුල දෙතනම බිරින්දෑට මියපරලොව යන්නට හේතුභූත වනු ඇතැයි ඔහු කිසිකලෙකත් නොසිතුවේය. ඉතා සෙමින් වුවද වැඩෙමින් ඇගේ තාරුණ්‍ය හා ශක්තිය සහමුලින්ම උදුරාගන්නට ඒ නිහඬ මරුවා සමත්විය. පියයුර ඉවත් කිරීමෙන් පවා, ඇය දිවි ගලවාගන්නට භාග්‍යමත් නොවුවාය.

"කෙල්ල ඉස්කෝලේ ඇරලෝලම ඔයාට පොල් කඩන්ඩ යන්ඩ පුළුවන් නෙ.."

මනුස්ස ඇසකට විඳදරාගන්නට බැරිතරමට කෘශව සිටියදී, ඇය හෙළු ආයාචනාත්මක බැල්මෙන් ඔහු සසලව ගියේය. ඒ යට ගිලුණු ඇස් ඔහුගේ හදවත පසාරු කළේය. හිස සැලීමෙන් නොනැවතී කුමක් හෝ සැනසිලි බසක් තෙපලන්නට වුවමනා වුවද, ඔහු නිහඬවම පසුවිය.

" සාරා.."

ඔහු මේ උදෑසන බෙරිහන් දුන්නෙ දියණියගේ පා ගැටෙන හඬක් කන නොවැකි බැවිනි.

"සාරා.." යි

ඔහු තොල්මතුලේ වටපිට නොබලන්නට වගබලා ගනිමිනි. වාට්ටුව සිසාරා බැල්මක් හෙළන්නට ඔහු පැකිළේ. ඇඳක් පාසා විඩාබර හා වේදනාකාරී ගැහැනුද අලුත උපන් බිලිඳුන්ද දකින්නට ඔහු බියවේ. අඩි තිහ හතළිහක් උස පොල්ගසක නගින්නට බිඳකදු නොපැකිළෙන මිනිසා තැති ගන්වන්නට රෝහලද විශේෂයෙන් මේ වාට්ටුවද සමත්වෙයි.

"සාරා සංදීපනී..."

නන්දනී අඩ සිනාවෙන් පැවසුවාය.

"අනේ මංදා.. සංදීපනී නං හොඳයි.. සාරා..?"

"සාරා කියන්නෙ රාජ කුමාරිකාවක්,"

පොතපත කෙසේ වෙතත් සිනමා පත්තර මහත් රුචියෙන් කියවන නන්දනී, ගස්ගෙඩි කඩන තමාට වඩා නුවණැති බව ඔහු සිතයි. ඒ සිතිවිල්ලෙන් ඔහු නොකිපෙයි ගංගොඩේ උදවිය ගස් ගෙම්බායි තමාට අවමන් කරනබව ඔහු දනී.

"වන්නං දහඅටම නටලා උඹේ කරේ එල්ලුනානෙ නන්දනියා. "යි ජංගල් ධරුමේ හිනැහෙන්නේ කසිප්පු පැකැට්ටුවක් හිස් කිරීමෙන් පස්සේ.

"එව්වා මට වැඩක් නෑ ධරුමේ.... ඒකි දැං ඉන්නෙ මාත්තෙක්ක.. එච්චරයි කතාව"

එහෙත් ඒ කතාව එතෙකින් නවතා දමන්නට ජංගල් ධරුමේ සූදානම් නැත. ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග යන කතා බහ කෙළවර වන්නේ මැදියම් රැයෙහි නන්දනීගේ විලාපයෙනි.

"මං කලිංම කිව්වනෙ .. මං හැංගුවෙ නෑනෙ.. ඒ මිනිහා මාව කසාඳ බදිනවා කියලා මාව රැවැට්ටුවා තමා, ... ඒකට ගහන්ඩ ඕනෑ ඒ මිනිහටනේ... මට ගහන්නෙ ඇයි.?" යි හඬගා අසන්නට තරම් ඇය දිරිමත් වූවාය. ඒ පුරා සයමසක් සිය සැමියාගෙන් පහර කෑමෙන් පසුය.

"ගහන්ඩ එපා.... ආයෙ ගැහුවොත් නං මාත් ගහනවා.." යි ඇය දිදුලන දෑසින් තර්ජනය කළ රාත්‍රියේ ඔහු පසුබැස්සේය. ගැහැනියකගෙන් පහර කෑමට වඩා නිහඬව ඇඳේ වැටී නිදාගත යුතුබව ඔහු තීරණය කළේය.

"සාරා..."

ගුණසිරි පෙරට වඩා උස් හඬින් කෑගෑවේය.

"මේ එනවෝ..." යි කියා ගන්නටවත් බැරි තරමට කෙල්ල තැතිගෙන සිටියාය. ඇයට කළහැකි වූයේ බිම හිදගෙන හඬාවැටීම පමණි.

"සාරා.... ඇයි?. ඇයි මොකද? "

ඔහු ප්‍රශ්න කළේ කෝපයෙනි. ඉර මුඳුන්වූ පසු ගස් නැඟීම පහසු නැත.පොළවේ පයගසා හිඳීමෙන් සහ පොල්ගසක් මුඳුනේ රිළවෙකුට, දඬුලේනෙකුට වඩා කඩිසරව පොල්වලු කපා හෙළීමේ අතර වෙනසක් ඔහුට නැත්තේය.

"ඇයි අඬන්නෙ...?"

මුදු වදනින් ඇය සනසාලන්නට ඔහු වෑයම් නොකරයි. බිරින්දෑට පොරොන්දු වූ ලෙසින්ම ඇය පාසල් යවන්නට ඔහු වගබලා ගනී.

"සාරා......"

ඔහු ප්‍රිය නොකළද ඔහුගේ මුවින් ගිළිහෙන්නෙ "සාරා"යන නමම ය. "සංදීපනී"යි කියනවාට වඩා සාරායි කීම පහසුබව ඔහුට සිතේ.

"බයයි... මට බයයි."යි. සාරා ඉකිබිඳිමින්ම කී කළ ඔහු පුදුමයට පත්විය.

"බය වෙන්නෙ මොකටද?"

ඇය අත දිගු කළාය, ඒ ඔස්සේ හැරී බැලූ ඔහු දුටුවේ ළිඳ විනා අන් කිසිවක් නොවේ.

"ඇයි.. මොකෙක්ද.?" ඇය හිස දෙපසට සළමින් ඉකි බින්ඳාය. ඔහු හාත්පස සිසාරා බැල්මක් හෙළුවේය. එහෙත් ඇය බිය ගැන්විය හැකි කිසිවක් ඔහුගේ දෙනෙතට හසුනොවිණ.

"සාරා... මට උඹව හුරතල් කරකර ඉන්ඩ වෙලාවක් නෑ.. තේරුණාද.?. මං දැන් අක්කර හැත්තෑවට යන්ඩ ඕනෑ... ඉස්කෝලෙ මහත්තයාගේ පොල් මුරේ අද.. හරිනං මං මෙලහට ගස් දහයක්වත් බඩගාලා ඉවරයි."

ඇය කඳුළුත් සොටුත් එක්ක නැගිට ගත්තාය. එවන් ගර්ජනාවකට පස්සේ අතුල් පහරක් ⁣හෝ ටොක්කක් නොවරදින බැවිනි.

"නන්දනී.. මං උඹේ කුමාරිකාවට අත ඉස්සුවා."යි

පාපොච්චාරණය කරන මිනිසාගේ නෙතඟ කඳුළ නොදකින සාරා සංදීපනී ඒකාකාර රිද්මයකට හුස්ම ඉහළ පහළ හෙළයි. ඒ නිද්‍රාවේ ඇය, ඇගේ මවගේ තුරුලේ සැනහෙන බව ඔහුට නිසැකය.

"බලාපන් උඹේ මුහුණේ හැටි... මං දැන් කොහොමද උඹව ඔහොම ඉස්කෝලෙට එක්කාන යන්නෙ?"

දියණියගේ මුහුණකට බලාකියා ගන්නට ඉස්පාසුවක් ලද කෙනෙහි ඔහු අසන්නේ ළතැවුලෙනි.

"යමං.. ළිඳට බොන්ඩ ගෙනා වතුර කළේ නැති නාස්ති කරලා බෑ නෙව..." යි කියමින් ඔහු ඇගේ කුඩා අතකින් ඇද්දේය. එහෙත් ඇය ළිඳ වෙත යාම ප්‍රතික්ෂේප කරමින් යළිත් හඩා වැටුණාය. ඔහු සමඟ පොර බැද්දා ය.

"මේකිට මේ මොකද වෙලා තියෙන්නෙ.. ළිඳට නොයා කොහොමද මූණකට හෝදා ගන්නෙ,,?"යි ඔහු විමතියෙන්ද කෝපයෙන්ද කෑගෑවේය. එහෙත් මොහොතකට පෙර ළිඳට එබී බැලූ කෙල්ල යළි ඒ වෙත යන්නට කිසිසේත් කැමති නොවූවාය.

"ළිඳ ගාවට තනියෙන් යන්ඩ එපා ... ළිඳට එබෙන්ඩ එපා.." යි තාත්තා මන්තරයක් මතුරන්නා වාගේ කොතෙකුත් කියන්නෙ මන්දැයි පසක් කරගන්නට ඇයට ඒ එක් ඇසිල්ල ප්‍රමාණවත් විය.

එය ළිඳකට වඩා අඳුරු කුහරයක වෙස් ගත්තේය. ළිඳක් ඒ සා ගැඹුරු විය හැකිදැයි කෙනෙක් තුළ විස්මය මුසු සැකයක් ජනිත කරවනසුලුය. බැම්මක් බැඳ නොතිබුණෙන් ඊට එබෙන්නට කොට කැබැල්ල මත පය තැබිය යුතුය. කවාකාර බව හැරුණු විට පත්ලේ තවම නොසිඳි දිය එය ළිඳක් බව කියාපාන්නක් වැනිය. ඉහළ ලිහිල් පසෙහි විවිධාකාරයේ පැළෑටි වැසී තිබූ අතර පහළ කළුගල දිලිසුණේ එක්තරා අන්දමක සාහසික බවක් දරමිනි. කටුක නිකිණියේ සිඳී යන බැවින් ගුණසිරි කළුගල හාරා සාරා දැමීම සඳහා අපමණ වෙහෙසක් දැරුවේය.

ළිඳේ ගැඹුරත් පත්ලේ දියත් දරුවෙකු තැතිගන්වන තරමට භයංකර වීමේ අරුමයක් නොවිණ.

“මොකට මෙච්චර ඇට්ටරද මං දන්නෑ...“ යි ගුණසිරි පහර දුන්නේ බියෙන් හා ශෝකයෙන් පීඩිත කෙල්ලකටය.

වැව්තෙර වැඩුණු තරුණිය එවන් අතුල් පහරක මතකයෙන් පීඩා නොවින්ඳාය. ඒ රළු හා සවිමත් සුරත පොළෝ පස් අතරේ දිරාපත්ව යන බව ඇය අමතක කළාය.

ගුණසිරිගේ මරණය...! එය සිදුවූයේ ක්ෂණිකවය. බඩ වියත රැක ගන්නට පිහිට වූ පොල් ගසම ඔහු වෙත මරණය ප්‍රදානය කළේය. ඒ සඳහා ගැඹුරු ළිං පත්ල දැකීමෙන් තැතිගත් කෙල්ලද යහමින් දායක වූවාය. ඇගේ හැඬුම හේතුකොටගෙන නැති නාස්ති වූ කාලයම ඔහු උදෙසා ඒ සා විපතක් සූදානම් කර තිබිණ. අඩි තිහ හතළිහක් ඉහළ පොල් ඉති මත පය ලිස්සා ගියා නොවේ.

ඔහුගේ හතළිස් අවුරුද්දක ජීවිතය සැණින් හමාර කරන ලද්දේ ඇයට තැළුම් දුන් දෑතමය. කිලෝග්‍රෑම් පනස් පහක පංචස්කන්ධයක් හිස් අවකාශයේ අසරණව අනාථව පොළොවේ ගැටීමෙන් අත්පත් විය හැකි මරණය හෝ කොඳුඇටපෙළේ භග්නය වෙනුවෙන් ගතව ගියේ ඇසිපිය හෙළන නිමේෂයක් පමණි.

සාත්තු සප්පායම් කරන්නට බිරින්දෑ හුස්ම ඉහළ පහළ නොහෙළන බව දැන සිටියාක් මෙන් රළු පොළොව ඔහුට මරණය අත්පත් කර දුන්නේය.

“ඊටපස්සේ අතන මෙතන... යලට මහට ඉස්කෝලේත් ගියා.“ යි සාරා පාපොච්චාරණය කළේ පයැඟිලි තුඩු විකන මින් රැළ එක්කද...? නොඑසේනම් නුදුරෙහි ඕලු මල් යායට ඇහෙන්නද?

පිළිකාවට පරාජය වූ අම්මා ගැනද බඩ සා නිවා දැමූ පොල් ගහෙන් ඇද වැටී මිය ගිය තාත්තා ගැනද කියන්නට ඇයට වුවමනා වී තිබිණ. එහෙත් ඒ සඳහා තමා තෝරා ගත්තේ නිවැරදි මිනිසාමදැයි ඇය යළි යළිත් සිතුවාය.

“දුරින් නෑදෑකමක් තිබ්බ හිංදම නෙමේ. උඹ අර උඹේ බැන්දා කියන එකීගෙං ගුටි කනවා බලා ඉන්ඩ බැරුව මං එක්කාන ආවේ... දැං හොඳයිනෙ මට විච්චි දේ...“

තමාට කාරුණික වූ එකම ගැහැනිය හඬා වැටෙන අයුරු ඇය අකම්පිත හදවතින් බලා සිටියාය.

“දරු දෙන්නෙක් විච්චි... අප්පේ මං දැං මොකද කරන්නෙ?“

අම්මාගේ හැඬුම බෝ වූවා වාගේ දරු දෙන්නාද හඬා වැටෙන්නට වූයෙන් සාරා වහා නැඟී සිටියාය. ඇය මෙතෙක් වේලා හිඳගෙන සිටියේද කවර හෝ ගුටිබැට ප්‍රහාරයක් අපේක්ෂාවෙනි. එහෙත් ඒ වෙනුවට කඩා වැටුණේ කඳුළු බින්දුය. ඉවසිය නොහැක්කේ දරු දෙන්නාගේ ඉකි බිඳුමය. අම්මා හඬා වැටෙන්නේ මන්දැයි නොදත් කොල්ලත් කෙල්ලත් පිළිබඳව සාරා තුළ උපන්නේ මහත් සංවේගයකි.

“මං මැරෙනවා“ යි ඇය අප්‍රමාදව තීරණය කළාය. සිරවෙන සුසුම්ලන හදවතට යම් අස්වැසිල්ලක් අත්පත් වූයේ එකී තීරණයේ එල්බ ගැනීමෙන් අනතුරුවය. මරණය ළඟා කරගත හැක්කේ කෙසේදැයි කල්පනා කරන්නට කාලය මිඩංගු නොකළ යුවතිය වහා රෙදි පෙරෙදි ලක ලෑස්ති කරගත්තාය.

“මැරෙන්ඩ යන එකීට රෙදි මොකටද?“ යි අසන්නට අයෙක් ඒ වහල යට නොසිටියේය. තමාට ද්‍රෝහි වූ සැමියා සහ ඥාති දියණිය පිළිබඳව සිතමින්, දැවෙමින් හා තැවෙමින් හුන් ගැහැනිය දරු දෙදෙනා පවා නොදුටුවාය. සිරුරේ වෙළෙන ඒ ඇබිත්තං සිරුරුවල උණුසුම නොවින්දාය.

“සාරක්කෙ මාත් එනවා...“

“මාත්...“ යි වෙනදා මෙන් කොල්ලාත් කෙල්ලත් පස්සෙන් නොවැටුණු බැවින් ඇය පය ඉක්මන් කළාය.

ඇය වැව කරා ගමන් කළේ දිය නාන අදහසින් නොවේ. සැබැවින්ම ඉහළ නිල් අහසේ විරාජමාන මහෝත්තමයාගේ අනුහසින් වැව කෙසඟව කේඬෑරිව ගොසිනි. එහෙත් ඇගේ පමණක් නොව ඕනෑම කෙරුම්කාරයකුගේ පණනල උදුරා ගත හැකි තරමේ ගැඹුරක් හා සාහසිකත්වයක්ද ඒ වෙත තිබෙන බව ඇය දැන සිටියාය.

“නැ...නැන්දා... පව්...“

ඔහුගේ ආලිංගනය ඉවසමින් හා ඊට ලොබ කරමින් ඇය කොඳුළාය.

“මං ඒ ගෑනිට කිසි අඩුපාඩුවක් කරන්නෑ බං..“ යි ඔහු සපථ කළ කල්හි ඇය සිය දුබල විරෝධයද මැඬගත්තාය.

“මං මැරෙනවා... එතකොට ඔක්කොම හරි....“ යි යළි යළි මුමුණමින් ඇය වැවට බැස්සාය. දෙදණ තෙමන දියෙන් ඔබ්බට යා යුතු බව සිතන කල්හි ඇය වෙව්ලා ගියාය.

“මොකද වෙන්නේ ගාමන්ට්ටෙකට ගියහම... ඔය ඕනෑ තරම් ළමිස්සියෝ යන්නේ...“ යි කොතෙක් කරුණු ගෙනහැර දැක්වුවද ඇගේ මාමා එකහෙළා විරුද්ධ විය.

“නෑ නෑ ඕන්නෑ... ඔව්වට ගිහිං ඔය ගංජාකාරයෙක් හරි කුඩුකාරයෙක් හරි රවට්ට ගත්තාම සේරම ඉවරයි...“

ඔහුගේ ඒ වචන යළි ඇගේ දෙකනේ රැව් දුන්නේය. ඇගේ දෙනෙතින් ගලා හැළුණු කඳුළු වැව් දියට මුසු විය.

“සේරම ඉවරයි තමා මාමේ... ගාමන්ට් නොගිහිං ගෙදර ඉඳලත් සේරම ඉවරයි.“

පියෙන් පියව යන ඇය දියෙහි සිසිලසද ළං ළංව එළැඹෙන මරණයේ වේදනාවද විඳිමින් සිටියාය.

“සාරා...“

ඇය තිගැස්සුණාය.

“නැන්දා...?“ යි කියාගන්නට ඇය වැව් දිය ඉඩ නොදුන්නේය. දැනටමත් ඇගේ නිකට තෙක් දිය රළ රැළි නඟමින් තිබිණ.

“සාරක්කේ...“

ඇගේ ළය දැවී ගියේය.

“කිරි මල්ලී...“ යි ඇය අපමණ ශෝකයෙන් සිතුවාය.

“සාරක්කේ...“

ඇය වඩාත් ප්‍රිය කළාවූ බොළඳ හඬ ඇගේ දෑස යළි තෙමයි.

“චූටික්කි... අනේ මගේ චූටික්කි...“

වෙනත් ලෝකයකින් ඇසෙන තරමට දුරස් වූයේ නමුදු ඒ හැම හඬක්ම ඇගේ දෙකන නොව හදවත කලඹාලයි.

“මං මැරෙන්නෑ...“

හිටිහැටියේ පැන නැඟී සිතිවිල්ලෙන් ඇය විස්මයට පත් වූවාය.

“මට මැරෙන්ඩ බෑ...“

ඇගේ අවසන් සුසුම් පොද පතා බලා හුන් වැව් දිය කැලඹුණේය. ඇගේ නිරෝගි හා තුරුණු පෙණහලු තුළට වදින්නට නොඉවසිලිමත් වූ වැව් දිය කුපිත විය.

“මං මෙහේ..“ යි හඬ නඟා දැනුම්දුන් සාරා ආපසු හැරුණාය. ඇය වෑයමින් වුව දිව ගියේ වැව් තෙර කරා පමණක් නොවේ ජීවිතය වෙතය. ඇගේ ජීවිතාශාව කොතෙක් බලවත් වීද යත් ඇය වරෙක ඇද වැටුණාය. යළි නැඟී සිටියාය.

“චූටික්කි..“ යි බෙරිහන් දෙමින් ඇය යළි ආපස්සට අදින දිය දහරාවට නොපරදින්නට ඉටා ගත්තාය. එය වැවත් කන්‍යා භාවය අහිමිව තවම විසිහර පැයක් නොඉක්මවූ කෙල්ලකත් අතර ද්වන්දව සටනක්ම විය

Comments