කවි ලොව නැණ කිරුළ පණ්ඩිත විමල් අභයසුන්දර | සිළුමිණ

කවි ලොව නැණ කිරුළ පණ්ඩිත විමල් අභයසුන්දර

 

දිවි සැරිය

 

උපන්දිනය- 1921 සැප්තැම්බර් 17 දා දකුණේ බෙන්තර වලල්ලාවිට කෝරලයේ බලපිටියේ වැලිතොට වැල්ලබඩ

සම්පූර්ණ නම- අරුමාදුර විමල් ද සිල්වා අභයසුන්දර

භාවිත නාමය - විමල් අභයසුන්දර

පියාගේ නම - අරුමාදුර හරුමානිස් ද සිල්වා

මවගේ නම- පොරවගොඩ ලැයිසොහාමි ද සිල්වා

මූලික අධ්‍යාපනය - පාසල් අධ්‍යාපනය- අඹගහපිටිය මූල මහා විහාරයේ සුගත ශාසනෝදය පිරිවෙණ

සහෝදරියන්- 3කි. ඔවුන් සරලින්, චාලට් හා ජොසලින් ය.

විවාහය-1958

බිරිය- කල්‍යාණී අබේසිංහ

දරුවන්- 4කි.

ප්‍රණීත්, අර්ජුන, පුලස්ති හා සුභානී

මුනුපුරු මිනිබිරියන් - 7කි.

දයේෂා, ඕෂධ, ගෝමින්, රුමේෂිණී, කුලේෂ්, සංජුල හා සජන

උසස් අධ්‍යාපනය- පණ්ඩිත උපාධිය

පළමු සාහිත්‍ය නිර්මාණය- 1937 දී විමලසාර ගුණ සමරු කෘතිය

සාහිත්‍ය නිර්මාණ කෘති- සියයක් පමණ වේ

පළමු රැකියාව- 1949 දී සරසවි සඳරැස පත්‍රයේ උපකර්තෘ වීම

1955- සිංහල විශ්ව කෝෂ ආරම්භක සහය සංස්කාරක

1959- නිෂාදි කෘතිය වෙනුවෙන් රාජ්‍ය සම්මාන

1979- නව බග සඳ කෘතිය වෙනුවෙන් රාජ්‍ය සම්මානය

1992- කලාකීර්ති සම්මානය

1985- කිවිපති සම්මානය

1975 - කවි සාහිත්‍යභූෂණ උපාධි සම්මානය

1986- කලාමාන්‍ය සම්මානය

1991- කාව්‍යශිරෝමණී සම්මානය

අභාවය- 2008 ජුනි 12

ජීවිතයේ ප්‍රධාන ධර්මතා දෙක වන්නේ සංයෝගයත් වියෝගයත් ය. හිමි වීම අබියස ඇත්තේ අහිමි වීම ය. අහිමි වීම අබියස ඇත්තේ හිමි වීම ය. ඇතිවීම, නැතිවීම හිමි වීම අහිමි වීම සමසේ විඳින්නට සමතෙක් වේ ද ඒ පෘතග්ජන තත්ත්වය යම් පමණකට ඉක්ම වූයේ වේ. කවියා ද යම් මට්ටමකින් මේ සියල්ල දැරීමේ ලා සම සිත් ඇත්තෙකි. කවිය විසින් පිරිමඳින ලද සිතැති ව මෘදු ගුණයෙන් යුතු කවියා කෙතරම් සාර සුභාවිත ගුණයෙන් යුතු වූවකු ද යන්නට නිදර්ශනයක් බඳු වූ කවියෙක්, ගේය පද රචකයෙක්, ගත් කතුවරයෙක්, භාෂා විශාරදයෙක් ඈ එකී මෙකී බොහෝ ක්ෂේත්‍රයන්හි සුරු කම් පෑ අපූර්ව නිර්මාණකරුවෙක් වූවේය. හේ නමින් පණ්ඩිත විමල් අබේසුන්දරයන් ය.

 

තමා නිරත කුමන ක්ෂේත්‍රයෙහි වුව, විෂයයෙක වුව එහි අලගිය මුලගිය සියල්ල සක්සුදක් සේ පිරික්සා ගැටලු ලෙහා ගැන්ම විමලුන්ගේ සුදුර්ලභ ගුණයක් වීය. එහි ම අනෙක් පැත්ත ද වේ. කිසියම් විෂයය කරුණක් දැන ගැන්මෙහි ලා තමා සොයා එන ඕනෑම දුහුනකුට එකී විෂයය කරුණු හේ නිර්ලෝභී ව දායාද කරන්නේ ය. පණ්ඩිත් යන්නට මනා නිදර්ශනයක් වූ හේ සතු වූ මතකය විශ්මය දනවන සුළු ය.

දකුණේ බෙන්තර වලල්ලාවිට කෝරලයේ බලපිටියේ වැලිතොට වැල්ලබඩ 1921 සැප්තැම්බර් 17 දා උපන් අරුමාදුර විමල් ද සිල්වා අභයසුන්දරගේ පියා අරුමාදුර හරුමානිස් ද සිල්වා ය. මව පොරවගොඩ ලැයිසොහාමි ද සිල්වා ය. සහෝදර සහෝදරියන් හතර දෙනකුගෙන් යුතු පවුලක විමල් අභයසුන්දර බාලයා ය. ඔහුගේ වැඩිමල් සහෝදරියන් වූයේ සරලින්, චාලට් හා ජොසලින් ය.

විමල් අභයසුන්දර විවාහ වෙන්නේ කල්‍යාණී අබේසිංහ සමඟ ය. ඔවුන්ට දරුවන් 4කි. ඒ ප්‍රණීත්, අර්ජුන, පුලස්ති හා සුභානී ය. විමලුන්ට මුනුපුරු මිනිබිරියෝ හතකි. ඒ දයේෂා, ඕෂධ, ගෝමින්, රුමේෂිණී, කුලේෂ්, සංජුල හා සජන ය.

වතුරේගම සිංහල පාසලෙන් පස්වැනි කැලෑසිය දක්වා මූලික අධ්‍යාපනය ලැබූ විමලුන් ද්විතීය අධ්‍යාපනය ලැබුවේ අඹගහපිටිය මූල මහා විහාරයේ සුගත ශාසනෝදය පිරිවෙණයෙහි ය. අනතුරුව මාළිඟාකන්දේ විද්‍යෝදය මහා පිරිවෙණට ඇතුළත් වූ ඔහු එහිදී පාලි, සිංහල, සංස්කෘත, හින්දි, ප්‍රාකෘත, තර්ක න්‍යාය හා ඡන්දෝලංකාරය යන විෂයයන් හැදෑරුවේ ය. ඊට අමතර ව අගනුවර ලෝරන්ස් විද්‍යාලය, ඕල්කොට් විද්‍යාලය, ආනන්ද විද්‍යාලය හා පේම්බ්‍රොක් යන විද්‍යාලවලින් ඉංග්‍රීසි අධ්‍යාපනය හැදෑරුවේ ය. විද්‍යාලංකාර පිරිවෙණේ ශාස්ත්‍රපති උපාධිය හා ප්‍රාචීන පණ්ඩිත විභාගයේ අවසාන පරීක්ෂණයෙන් ද හේ විශිෂ්ට සාමාර්ථ ලැබී ය.

අධ්‍යාපනය අවසන් කරන විමලුන් පුවත්පත් කලාවේදියකු ලෙස වෘත්තීය දිවිය අරඹන්නේ 1949 වසරේදී ය. සරසවි සඳරැස පුවත්පතේ උප කතුවරයා ලෙස පත්වීමක් ලබන ඔහුට ලංකාදීප කර්තෘ මණ්ඩලයේ දොරටු විවර වෙන්නේ සත්ජන ඇසුර හා දැනුම නිසා ය. ආචාර්ය ඒ. පී. ද. සොයිසා, ජයන්ත වීරසේකර, හේමපාල මුනිදාස, ඩේවිඩ් කරුණාරත්න වැනි පුවත්ලොව දැවන්තයන් හා වියතුන්ගේ ඇසුර විමලුන් ගොඩනැඟීමේ පාදම සකස් කරයි. වියත් ඇසුර තරම් ජීවිතයේ වටිනා අන් යමක් වේද? 1953 වසරේ දිනමිණ කර්තෘ මණ්ඩලයට බැඳෙන විමල් අභයසුන්දර එවකට දිනමිණ කර්තෘ පියසේන නිශ්ශංකයන් යටතේ වසර දෙකක් පමණ සේවය කරයි. ඒ කල්හි ඩබ්ල්යු. ඒ සිල්වා වැනි නිර්මාණකරුවන්ගේ ඇසුරටත් ඩී. එෆ්. කාරියකරවන වැනි භාෂාඥයන්ගේ ආශ්‍රයත් ලැබීම වෙසෙස් ප්‍රගමනයකට හේතු පාදක විය. වසර දෙකක පමණ ඇවෑමෙන් දිනමිණ පත්‍රයෙන් අස්වූ විමල් අභයසුන්දර සිිංහල විශ්වකෝෂයේ සහකාර සංස්කාරක ලෙස පත්වීමක් ලැබ පේරාදෙනියට යෑමේ අවස්ථාව උදා විණි. මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි විද්වතාණන් යටතේ විශ්වකෝෂකරණය ගැන පුළුල් පුහුණුවක් ලැබීම ජීවිතයේ ලැබූ අගනා ආශීර්වාදයක් විය.

විමලුන් සිය ප්‍රථම කෘතිය වන ‘විමලසාර ගුණ සමර‘ පාඨක දෝතට පත් කරමින් ශාස්ත්‍ර හා නිර්මාණකරණ ලෝකයට පිවිසෙන්නේ 1937 දී ය. රත්නමාලී වංශ කාව්‍ය, දුක්මුසු, සුදු නංගී, සිරිමලී, රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලද නිෂාදී ඇතුළු විවිධ විෂයය ක්ෂේත්‍රවලට අදාළ කෘති තිහකට අධික ප්‍රමාණයක් රචනා කර තිබේ. ගුවන්විදුලි නාට්‍ය විස්සකට අධික ප්‍රමාණයක් ද, ගුවන්විදුලි සංගීත ප්‍රණීතාංග තිහකට අධික සංඛ්‍යාවක් ද, ගුවන්විදුලි සංස්ථාව නිෂ්පාදනය කළ එළිමහන් වේදිකා සංගීත සන්දර්ශන දහයකට ආසන්න සංඛ්‍යාවක් ද නිර්මාණය කළේ ය. එමෙන්ම මේ පඬිවරයාගේ සංගීත සංහිතා නම් කෘතිය පෙරදිග සංගීතය පිළිබඳ පරිපූර්ණ සමීක්ෂයක ප්‍රතිඵලයකි. 1992 දී ශ්‍රී ලංකා ජනරජයෙන් කලාකීර්ති ජාතික සම්මානයෙන් පිදුම් ලද විමලුන් විවිධ සාහිත්‍ය සංවිධාන හා ආයතන රැසකින් ගෞරවාදරයට හා බුහුමනට ලක් වුණි.

විමල් අභයසුන්දරයන් යනු කවියට ආභරණයකි. එතුමාගේ කවි අස්වැන්න දහස් ගණනකි. ඒ කවිවල බස දියුණු ය. සරල ය. වියරණ නිදොස් ය. අලංකාර ය. ඡන්දස් අලංකාර බිඳ නැත. දයාව, කරුණාව, ආදරය හා අනුකම්පාව ඒ කවිවල වෑහේ. 1959 අනුරපුර පැවැති රාජ්‍ය සාහිත්‍ය උළෙලේදී නිෂාදී කෘතිය සිංහල කවිය පිණිස ලද ප්‍රථම රාජ්‍ය සම්මානය දිනා ගන්නේ උක්ත හේතු කාරණා නිසා ය. ඔහු සිය නිර්මාණකරණයට හා ජීවන විලාසිතාවට බෙහෙවින් අවංක වූවෙකි. ඔහු නිෂාදි ලියන යුගයේ ගීත සාහිත්‍යය එතරම් පෘථූල අවධියක් නොවේ. ගීත සාහිත්‍යය නම් විෂයයේ පුරෝගාමී කෘති කිහිපයක් ඒ වැනි කලෙක බිහි වීම අගය කටයුතු වෙන්නේ ඒ නිසා ය. නිෂාදි වෙනුවෙන් කතුවරයා ලියන පෙරවදනෙහි අඩංගු මේ ඡේදය උපුටා දක්වන්නට සිතුණේ හේ ඒ සම්බන්ධයෙන් දක්වන සවිඥානිකත්වය විෂද කරනු පිණිස ය.

‘ සිංහලයන් නොදැනුවත්ව ම මෙන් දැන් සිංහල භාෂාවෙහි ගීත ප්‍රබන්ධ සාහිත්‍යයක් හැඩ ගැසීගෙන යන බව සැලකිය යුතුය. මේ සම්බන්ධයෙන් බුද්ධිමත් රසිකයන් හා පාඨකයන් දැඩි අවධානයක් ඇතිව පසුවිය යුත්තේ, මේ සාහිත්‍ය ලතාව ඉතා ඉක්මනින් ලියලා ගෙන යන්නට පටන් ගෙන ඇති බැවිනි. හැදී වැඩී නැඟී එන සරු පැළයකට සුදුසු අවසරයෙහි පෝර, දිය, හිරු එළිය හා රැකවරණය අවශ්‍ය ප්‍රමාණයට නොඑළැවුවහොත් ඒ පැළය වැඩීමෙන් බාල වනු ඒකාන්ත ය‘

ගීතය කවියේම කොටසක් සේ සැලකි එකල්හි කවියේ ගමනට වඩා සන්නිවේදන ශක්‍යතාව නිසා ගීතයේ ගමන වේගවත් බව දැනුණු නිසාදෝ විමලුන් පෙර සඳහන් කළ ආකාරයට ගීතය උසස් කලාවක් සේ ගොඩනඟන්නට පෙරමඟ සකසන්නට ඇත. ආචාර්ය ගුණදාස අමරසේකරයන් ද පවසන්නේ ගීතය අවජාතක කලාවක් කියා ය. එසේ වන්නට නොදී ගීතය සරු පොළොවක් මත වැඩෙන්නට අවැසි පොහොර යොදන්නට හේ උත්සුක වන්නේ ඒ නිසා ය. නැතිනම් ගීතය නැමැති පැළය කේඩෑරී වී වල්වැදී යනු ඇත. එකලට නවමු ගීත සාහිත්‍යය නැමැති විෂයය ධාරාව ශක්තිමත් කිරීමට අවශ්‍ය වන විචාර සම්ප්‍රදායකින් හා චින්තනයකින් හෙබි පරපුරක් ගොඩනැංවීම නිෂාදි කෘතියෙන් විමලුන් අපේක්ෂා කරන්නට ඇත. මෙවැනි මැදිහත්වීම් ඉතිහාසය පුරා ශක්තිමත් පවුරක් සේ ගොඩනැඟුණේ නම් බංකොලොත් වර්තමානයක් හෝ අනාගතයක් ගොඩ නැඟෙන්නේ නැත. අර්ථ සම්පන්න මැදිහත් වීම් අප වැනි රටවල ඉතා අඩු ය. සිටින විද්වත්තු පවා විවිධ හේතු පවසමින් ස්වාධීන ව හා හුදෙකලාව තමා නිරත කාර්යයේ ව්‍යාවෘතව සිටිති. අද පවා එවැනි මැදිහත් වීම් අවම ය. ඒ වැනි කාලයක පණ්ඩිත් විමලුන්ගේ මේ මැදිහත් වීම ප්‍රශංසා සහගත ය. විමලුන් ගීයේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් පැවසූ දෑ ද විවාද සම්පන්න ය. ගීත සාහිත්‍යය නම් විෂයය ක්ෂේත්‍රය ශාස්ත්‍රීය පදනමක තබා ප්‍රාමාණික වටිනාකමක් දුන් ප්‍රථම සාහිත්‍යවේදියා විමලුන් බවට තර්කයක් නැත්තේ එනිසා ය. නිෂාදි කෘතියට අමතර ව විමල් අභයසුන්දරයන් ගීත සාහිත්‍යය වෙනුවෙන් රචනා කර ඇති තවත් කෘති ද්විත්වයක් වේ. ඒ ‘වන පස මලින් පුද‘ හා ‘සංගීත සංහිතා‘ නම් කෘති ය. මූලික කොටස් පහකින් හා පරිච්ඡේද 35කින් යුතු සංගීත සංහිතාව සම්පාදනය පිණිස විමලුන් විසින් සේවනය කරන ලද සිංහල, පාලි, සංස්කෘත, හින්දි හා ඉංග්‍රීසි ග්‍රන්ථ සම්භාරය සලකන විට මේ සඳහා දරන ලද පරිශ්‍රමය වටහා ගත හැකිය. ලේඛකයකු ශාස්ත්‍රීය ග්‍රන්ථයක් සම්පාදනය කිරීමට කෙතරම් වෙහෙස වන්නේ ද යන්න ගැන අටුවා ටීකා අවැසි නැත. ඒ වෙහෙසේ උපරිමය කුමක්දැයි අසන කෙනකුට පෙන්විය හැකි නිදර්ශනයක් අවැසි නම් සංගීත සංහිතා කෘතිය දෙවරක් නොසිතා පෙන්විය හැකිය.

ගීත සාහිත්‍යය ගැන ලියැවුණු මහාර්ඝම ග්‍රන්ථ සේ සම්භාවනාවට පාත්‍ර වෙන මෙකී කෘති ගැන දුහුණන්ගේ දැනුම හා සෙවීම අල්ප යැයි සිතේ.

ගුවන්විදුලි කලාවේ විවිධ අත්හදාබැලීම් කළ විමලුන්ගෙන් වාචික හා සංගීත වැඩසටහන්හි පරිපෝෂණයට ලැබුණේ විශිෂ්ට සම්ප්‍රදානයකි. විශාරද නන්දා මාලිනිය විසින් ගුවන් විදුලියේ ස්වදේශීය සේවයෙන් ගයන ලද පළමු ගීතය රචනා කරන්නේ විමලුන් විසිනි. ඒ 1960 පළමු බණ්ඩාරනායක අනුස්මරණ වැඩසටහන වෙනුවෙන් රචනා කරන ලද ගීයයි. අදටත් සියලු අනුස්මරණ උත්සවවල ගැයෙන්නේ එකී ගීතය ය. ගුවන්විදුලි පද්‍යාවලිය ඉතා දීර්ඝ කාලයක් නිෂ්පාදනය කළ ඔහු ගුවන් විදුලිය සාහිත මණ්ඩපයක් කළේය.

තමා උපන් දේශයේ අභිමානය රැකගනු වස් ඔහු අතින් ලියැවුණු කවි තිස් හතළිස් දහසක් පමණ ඇතැයි සිතේ. පුවත්පත් ලෝකයත්, හඬ ලෝකයත්, ගීත ලෝකයත් කවියෙන් ම එකලු කළ හේ සිටින තැන කවි මඬුවකි. සිත්තරා සිය දේශය සිතුවමට නඟන්නේ යම් සේ ද; නවකතාකරුවා තම දේශය පරිකල්පනය කරන්නේ යම් සේ ද විමලුන් සිය රට ජාතිය දුටුවේ කවි පද අතරෙනි. ඔහු මේ බිම, ගහ කොළ, සතා සීපාවා හැම දෙයක්ම හඳුනා ගත්තේ, වටහා ගත්තේ කවියේ සියුම් දැකීමෙනි; එහි හරයෙනි. අර්ථයෙනි. බොදු මඟ දුටු කවි ඇසක්, නිවුණු සිතක්, සොබාදහමෙන් වෙන් නොවුණු දිවියක් ඈ සියල්ල ඔහුට උරුම වූයේ අසීමිත පරිසර ලෝලීත්වය නිසා ය; මුදු ගුණය නිසා ය. හිමි වීම්, අහිමි වීම් සියල්ල බෞද්ධ චින්තනයේ සොබාවෙන් හේ අවබෝධ කරගත්තේ නොඇළීමෙනි. කවියෙන් තොර මරණයක් පවා ඔහුට නොතිබුණු බැව් පෙනෙන්නේ 1933 දුක්මුසු කාව්‍ය කියවද්දී ය.

 

මා මළ නමුත් මේ අස බඩ නිදන හෙවී
මළවුන් හිනස්සන්නට මෙන් නිහඬ නොවී
රසවත් වන පිණිස දුක් මුසු රසය කැවී
කියැවේවා! මගේ මළ මිනියෙනුත් කවී

 

කවියට එතරම්ම පෙම් බැඳි හේ අගනුවර තරුණ කවි සමාජය, සමස්ත ලංකා සිංහල කවි සම්මේලනය, රෝහණ කාන්ති කවි සමාජය, සමස්ත ලංකා සාහිත්‍ය සංගමය, රුහුණු කලා කවය, ශ්‍රී ලංකා සංගීත පදනම හා හෙළ හවුල ආදී වූ කවි සාහිත්‍ය සංගම්වල බෙහෙවින් වැඩ කළ අයෙකි.

මේ සියලු සේවා අගයා විමලුන්ගේ කාව්‍ය මෙහෙවර වෙනුවෙන් ම පුද දුන් සම්මාන බොහොමයකි. 1973 දී අගනුවර තරුණ කවි සමාජය විසින් ‘අපේ හපන්නු‘ සම්මානය ද, 1985 දී ‘කිවිපති‘ අධි සම්මානයෙන් ද, සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයෙන් 1975 දී ‘කවි සාහිත්‍යභූෂණ‘ උපාධි සම්මානය ද, 1986 ටවර් හෝල් රඟහල පදනම විසින් ‘කලාමාන්‍ය‘ සම්මානය ද, සිළුමිණ පුවත්පතෙන් ‘කාව්‍යශිරෝමණී‘ සම්මානය ද, 1991 දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් පිරිනැමූ ‘කලාකීර්ති‘ ජාතික සම්මානය ද ඇතුළු සම්මාන රැසකින් විමලුන් පුද ලදහ. මීට අමතරව ඔහු කරන ලද විසල් සේවය අගයා ‘විමල් අභයසුන්දර සම්ප්‍රසාදන‘ හා ‘අසෙනිය කුසුම්‘ විමල් අභයසුන්දර අභිනන්දන ශාස්ත්‍රීය කලාප දෙක විචාර පූර්වක විද්වත් සමාජය විසින් පාඨක ප්‍රජාව වෙත තිළිණ කර තිබේ.

විමලුන් වූ කලී අධ්‍යයනය සිය ජීවිතය කර ගත්තකි. හේ ශාස්ත්‍රාභිලාෂීන්ට දැනුම සම්පාදනයේ ලා කැප වූවෙකි. සිය ජීවන විලාසිතාවම විදග්ධ, සබුද්ධික සමාජයක් ගොඩනැංවීමේ ලා කැප කෙරූවෙකි. ඊට අවශ්‍ය බීජ පැළ කොට එහි සරු අස්වැන්න දකින්නට මඟ බැලූවෙකි. නිහඬ ව, හුදෙකලාව නොව තවත් පරපුරක් ගොඩනැංවීමේ ආධ්‍යාශයෙන් බොහෝ දෑ ලිඛිත ව සංරක්ෂණය කෙරූවෙකි. සබුද්ධික ජනතාවක් බිහි කිරීමේ ලා පදනම දැමූ විමල් අභයසුන්දර සුධීමතුන් අභාවයට පත්වෙන්නේ 2008 වසරේ ජුනි 12 වැනිදා ය.

පරපුරක් නොව පරපුරු දහස් ගණනක් ඥානණය කළ විමල් අභයසුන්දර වැනි ශාස්ත්‍රවන්තයෝ; කයෙන් නික්ම ගිය ද නාමය අමරණීය අතළොස්සක් ගණයට වැටෙන්නෝ ය.

Comments