කපුටෙනි, අනේ සිංහලයට නො කොටත් වා! | සිළුමිණ

කපුටෙනි, අනේ සිංහලයට නො කොටත් වා!

 

‘සුබස‘ සගනුවෙහි (සඟරාවෙහි) කුමාරතුංග මුනිදාසයන් හා වාදයෙක යෙදී හුන් කෝදාගොඩ ඥානාලෝක ස්වාමීහු, කුමාරතුංගයන් එක් කරුණක් ගැන ගැඹුරින් විමසන කල “ඔබ තෙල යෙදුම්හි ලා එ තරම් ගැඹරට කිමිඳැ කථා කරන්නවුන් දැකැ ප්‍රීත වූම් හ“ කී හ.

අපි දු ජේ.බී. දිසානායක මහැදුරුතුමාණන්, කපුටන් කෙටීමෙහි ලා එ තරම් ගැඹරට කිමිඳැ කථා කරන්නවුන් දැකැ ප්‍රීත වූම් හ. එ වුව ද ප්‍රීත වී නිකම් සිටීම නොහොබනා නිසා කපුටන් කෙටීම ගැන වදනක් දෙකක් කියමු. හරි වහර කියවන්නෝ කමත් වා!

මහැදුරු දිසානායක සූරීන් එ දා එ කියන වේලාවේ කීයේ ද දැන් කියන්නේ ද ‘කපුටො කොටයි‘ යනු කට වහර අනුව නිවැරැදි බව යි. වේ වා! එ සේ නම් එය කියන ‘සරසවි සිසුවා‘ ගේ කවි පෙළ ද කට වහරින් ලියූවක් විය යුතු ය. පාඨකයාට එ බව දැනගැන්ම පිණිස එයින් කවි තුනක් පහත දක්වමු.

සුවඳත් එහි රසත් මුළු ලොව හමන ලෙසේ
විදු දත් සිනිඳු පෙති විකසිත විණි ද කෙසේ
සිදු හත් කුසුම පර වී ජීවිතය ගසේ
වැලපෙත් විස්ව විදුහල සිසු බමරු මෙසේ

උස් ව තිබිණි කවි වන්නම් ඇති ව ඔපේ
හිස්ව ගියා ජාතික සාහිතය අපේ
අස් ව ඔබ ගියෙත් රිසි වී අමර සැපේ
විශ්ව විදුහලේ සිසු කැල සොහොනෙ හැපේ

වන්නම් කියන්නට තිබුණේ එක ම කට යි
දැන් ඒ කටත් මරුව ගෙ යටි පතුල යට යි
තුන් සිංහලේ ඇස්වල අද කඳුළු නටයි
මින් පසු අපේ සාහිතයට කපුටො කොට යි

බැලුව මැනැවි. ‘විදු දත් සිනිඳු පෙති‘, ‘විකසිත‘ ‘සිදුහත් කුසුම‘ ‘සිසු බමරු‘ ‘ජාතික සාහිතය‘ ‘රිසි වී අමර සැපේ‘ මේත් කට වහර ද? අහෝ! සිංහලයෝ මෙ බඳු වියත් වදන් කට වහරෙහි දු යොදත් නම් අප ගේ මවුබස -‘සිංහලය - කො තරම් නම් උසස් තතුවෙක තිබිය යුතු ද? මේ මෙ තෙක් අප නො දැන සිටි කරුණෙකි. එ පෙන්වා දුන් මහැදුරු දිසානායක සූරීනට නැතක් පින්!

මෙ බන්දකුදු විය හැකි ය. මහැදුරු දිසානායක සූරීනට ද ගුරු වූ මහැදුරු සුගතපාල ද සිල්වා සූරීහු පෝරක සරසවියෙහි සිටුනා කල්හි ‘ව්‍යවහාර සිංහලය ලිවීමට ගත නොහැකි ද?‘ මැයින් ලිපියක් ලියූ හ. එහි ලා එ තුමන් කියූ ප්‍රධාන කාරණය වූයේ කට වහරේ එන වාක් කෝෂය නො ව ව්‍යාකරණය ලේඛනයට භාවිත කළ යුතු බව යි. මේ කවි පෙළ ලියූ සරසවි සිසුවා ඒ 1941 තරම් ඈත කල්හි දී, සිල්වා සූරීන් මෙබන්දක කියන බව දිවැසින් දෝ දැන හොඳ වියත් වහරේ වදන් සමඟ කට වහරේ වියරණයෙන් මෙය ලිවී දෝ? නැති. එ බන්දකුදු විය නො හැකි ය. ‘වැලපෙත් විශ්ව විදුහල සිසු බමරු‘ මේත් කට වහරේ වියරණ නියර ද? එ සේ නම් සිංහල කට වහර කො තරම් ඉහළ ද? වියරණය කුමක් වුවත් මේ සිසුවෝ දැනුත් ජීවත් වැ සිටිත් නම් දකින්නට වටින්නෝ ය. ඔවුහු ‘සිසු බමරුන්‘ වන කල්හි සමූහයක් වැ සිටිත්. ‘වැලපෙත්‘ යැ යි බහු වචන ආඛ්‍යාතයක් යෙදුණේ එ හෙයිනි. නිකම් ම සිසුන් වන කල්හි සියලු දෙනා එකතු බවට පත් වෙති. ‘සිසු කැල සොහොනෙ හැපේ‘ යැ යි ඒක වචන ආඛ්‍යාතයක් සහිත වැ යෙදුණේ එ හෙයින්. පුදුම සිසුවෝ! පුදුම ව්‍යාකරණ නීති! දැන් මෙන් ම එ කලත් සරසවි සිසුන් ගේ සිංහලය නම් මසුරන් වටනේ ම ය. මොවුහු සිසුවෝ ය. “තුංග මේ වනතුළ - සිංහ වලස් කැල - රිංගා රුප්පාවල - ළං වේ ය තැන තැන“ යි ලියුවෝ සරසවි මහ ඇදුරු සඳෙකි.

ඉතින් ‘සිසු කැල සොහොනෙ හැපේ‘ යි ලියන්නකු ‘කපුටො කොටයි‘ යනු නො ලියති යි කෙසේ සිතමු ද?

දැන් ඒ අනන් මනන් පසකට කැර මහැදුරු දිසානායක සූරීන් දක්වන කට වහරේ වියරණ නීතිය විමසමු. එ තුමන් දක්වන නිදසුන් වැකි කට වහරේ යෙදෙන බව අපි දු දනිමු. ‘ළමයි ඇහැරෙයි‘, ‘පණුවො මැරෙයි‘ යනු බොහෝ දෙන කියති. එයට හේතුව නම් කට වහරේ අනුක්තය යෙදිය යුතු තන්හි ද උක්තය යෙදීම යි. මේ කො තරම් මහත් වරදක් වුව ද බෙහෙවින් ම කැරෙන්නකි. බොහෝ දෙන කරන කල වරදක් නිවරද වේ නම් අනුක්තයට උක්තය යෙදීම ද නිවැරැදි වේ.

මෙ බඳු තන්හි අනුක්තය උක්ත ස්ථානයේ යෙදිය යුතු ඇයි? මේ වනාහි සාමාන්‍ය උක්තාඛ්‍යාත සම්බන්ධය ඉක්මවා යන විශේෂ රීතියක් බැවිනි. මේ රීතිය ගැන කලින් ලිපියෙනුදු පැහැදිලි කැරිණි. දැන් යළි දු කෙටියෙන් එ ගැන දක්වමු.

සාමාන්‍ය උක්තාඛ්‍යාත සම්බන්ධය ඉක්මවා යන විශේෂ රීති කිහිපයක් සිංහලයෙහි වේ. අනිශ්චිතාර්ථයෙහි යෙදෙනුයේ ද එ බඳු රීතියෙකි. එහි දී වනුයේ වාක්‍යයේ උක්තය යෙදිය යුතු තැන අනුක්තය යොදා ආඛ්‍යාතය වර්තමාන කාල ප්‍රථම පුරුෂ ඒක වචනයෙන් තබා එය අග ‘වි‘ නිපාතය යෙදීම යි.

 

මේ නිදසුන් ය:

හෙට මිනිසුන් ගමට ඒවි.

ඇමැතිවරුන් අවංක ව වැඩ කරා වි.

ගුරුවරුන් වර්ජනය දිගට ම ගෙන යා වි.

රුහුණේ ඇතැම් වයෝවෘද්ධයෝ දැනුත් මේ රීතිය නොවරදවා කට වහරේ දීත් යොදති. එ වුව ද, ද්‍රැත (ඉක්මන්) උච්චාරණයේ දී ‘වි‘ නිපාතය ‘යි‘ බවට හැරී ආඛ්‍යාත පදයේ අග ස්වරය හුස්ව (කෙටි) වීමෙන් වර්තමාන කාල ප්‍රථම පුරුෂ ඒක වචන ආඛ්‍යාතයට සමාන රූපයක් උපදී. එ නම් එයි, කරයි, යයි ආදි වශයෙනි. පහත එන නිදසුන් බලන්න.

(අසල්වැසියා) - “තාත්තා බොහොම කාලෙකින් ගෙදර ආවේ නැද්ද?“

(දරුවා) - “තාත්තා ලබන මාසේ එනවා“

මෙහි අර්ථය නිශ්චිත ය. තාත්තා ලබන මාසයේ නිසැක ව එනු ඇත.

(අසල්වැසියා) - “තාත්තා බොහොම කාලෙකින් ආවේ නැද්ද?“

(දරුවා) - “තාත්තා ලබන මාසෙ එයි.“

මෙහි අර්ථය අනිශ්චිත ය. තාත්තා ඇතැම් විට ලබන මාසයේ එනු ඇත.

විමැසුව මැනැවි, යට කී නිදසුන් දෙකෙහි ම කියැවෙන්නේ අනාගතයේ (ලබන මාසේ) කැරෙන කාර්යයෙකි. එහෙත් එකක් නිශ්චිත ය. අනෙක අනිශ්චිත ය.

මේ රීතියෙන් අනාගතයක් ගැන නො කියැ වේ. එහෙත් ඉබේ ම වැකියාට අනාගතාර්ථයක් ලැබේ. කවර හෙයින් ද? අනිශ්චිතාර්ථය හෙයිනි. අතීතය ඉතා ම නිශ්චිත ය. එහි ඇත්තේ සිදු වී අවසන් දෑ ය. වර්තමානය ද අපි දනිමු. ඒ අප ගේ ඇස් ඉදිරිපිට ම සිදු වන දෑ ය. එ වුව ද අනාගතය අපි නො දනිමු. එ හෙයිනි අනිශ්චිත දෙයින් අනාගතාර්ථයක් ලැබෙනුයේ. එ ලෙස ම මේ අනිශ්චිතාර්ථවත් වාක්‍යවලිනුදු අනාගතාර්ථයක් ලැබේ. වඩා පැහැදිලි වැ කිව හොත් සිදු වී ඇති දෑ දැන් සිදු වන දෑ නිශ්චිත ය. සිදු වන්නට ඇති දෑ අනිශ්චිත ය.

මහැදුරු දිසානායක සූරීහු හෙළ හවුලේ සකසුරු කෙනකුන් ගැන ද කියත්. හෙළ හවුලේ සකසුරුවෝ වෙත් වා, නයුවෝ වෙත් වා, හෙළ හවුළ ඇරැඹි කුමාරතුංගයෝ ම වෙත් වා කවුරුන් කිව ද වරද නම් වරද ම ය. කියන දැයින් විනා කියන්නා ගෙන් කවර වැඩක් ද?

මේ ලිපිය ලියන්නට සැලැස්සූ මහැදුරු ජේ.බී. දිසානායක සූරීනට නොවක් පින් පිරිනමමු.

Comments