සමනලුන් අවැසි නම් දළඹුවන් අමතක නොකරමු | Page 2 | සිළුමිණ

සමනලුන් අවැසි නම් දළඹුවන් අමතක නොකරමු

'සමනලුන් උපදින්නේ දළඹුවන්ගෙනි. එහෙයින් පළමුව ඔබ දළඹුුවෝ ප්‍රවේශම් කරගත යුතුය. එවිට ඔබට දිනෙක සමනළුන් දැකගත හැකිවනු ඇත. එසේ උපදින සමනලුන් කලෙක මලින් මලට පියඹා ඒවා සිඹ ඵල පූදනු ඇත. ඔබට ඵල අවැසිනම් සමනලුන් පැමිණෙන තුරු බලාසිටිය යුතු ය. ඒ වෙනුවෙන් දළඹුවන් රැකගත යුතු ය. එය අමතක නොකර අප්‍රමාද වන්න. මේ දළඹුවන් රැකගැනීමේ සුදුසුම කාලයකි.'

ටෂ්මං කොලින්, ප්‍රේමසිරි රත්නායක, උදාන ලිවේරා, චාමිනි රිද්මා, ඊ.ඒ. මහේෂා, තමාරා රුක්මාලි, මනෝජ් පුෂ්පකුමාර, කේ.ටී.එම්. හාරිස්, දහම් මාධව ද සිල්වා, ප්‍රදීප් රණසිංහ, ඔෂාන් රංජිත් පෙරේරා, ඉන්දික පරණගම, දුලාංජලී රණසිංහ, ළහිරුණි පීරිස්, බී.බී.සී.ජයමාන්න, ශයිනී මහලියන, මේනකා නිලන්ති කළුපහණ, කලනී සෙනෙවිරත්න, නිලංකා සංජිවනී ඇතුළු තවත් දිග්ගැස්සිය හැකි නම් පෙළකි. යුපුන්අබේකෝන්, උෂාන් තිවංක පෙරේරාලා ගැන කතා කරන බොහෝ දෙනකුට මේ නම් ටික නුහුරු නුපුරුදු කෙසේ වෙතත් නොදන්නා බවට විවාදයක් නැත.

එහෙත් මෙකී නම් පෙළ ගැන අවදියෙන් සිටි අයකුට නම් මේ නම් සම්බන්ධයෙන් ඇති වන්නේ කනගාටුවකි. මේ සිය අතීතය ම ලාංකේය මලල ක්‍රීඩාව වෙනුවෙන් දියකර දැමු කනිෂ්ඨයෝ ය. එදා මෙකී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන සිතන්නට කිසිවකු නොසිටි නිසාත් ක්‍රීඩාවේ නිරතවීමට ඇවැසි ජීවනෝපාය නිසි ලෙස සවිමත් නොවීම නිසාත් මොවුන්ට ජීවිත සටන වෙනුවෙන් ක්‍රීඩා ජීවිතය දන් දීමට සිදු විය.

1994 ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවැති පස් වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ සුසන්තිකා ජයසිංහ දිනූ රන් පදක්කමට පසු තවත් තරගාවලි දහයක් අවසානයේ ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූයේ 2012 දී ය. ඒ ශ්‍රී ලංකාව සත්කාරකත්වය දැරූ තරගාවලියේ දී ය. සුසන්ත ප්‍රනාන්දුගේ පුහුණුකාරිත්වයෙන් තරග බිමට පිවිසි ශ්‍රී ලංකා කනිෂ්ඨයන්ගේ නායකත්වය දැරූ ශිවන්ති කුමාරි රත්නායක එකී රන් පදක්කම දිනා ගත් අතර, දුලාජ් මධුශංක දෙවැනි රන් පදක්කම දිනා දුන්නේ ය. එකී තරගාවලියේ දී නිමේෂා සිරිවර්ධන බාලිකා 400 සහාය දිවීමේ තරගයේ දී රිදී පදක්කම මෙන් ම චාමීකා ජයමිනී සහ සුපුන් විරාජ් ලෝකඩ පදක්කම් දිනා ගත් හ.

ඊට වසර දහයකට පෙර එනම් 2002 ජනවාරි මස 01 වැනි දා ට පසුව උපත ලද මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙනුවෙන් පමණක් වෙන් වූ මලල ක්‍රීඩා ශුරතාවලියක් කෙන්යාවේ නයිරෝබි නුවර දී පසුගිය දා අවසන් විය. ඒ ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශුරතාව යි. 1986 දී ආරම්භ වූ ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශුරතාවය එතැන් පටන් වසර දෙකකට වරක් ලෝකයේ විවිධ රටවල් කේන්ද්‍ර කර ගෙන පැවැත් වෙයි. කෙසේ නමුත් කොවිඩ් වසංගතයේ අවුල නිසා දිග්ගැස්සුණු එකී ශුරතාව කෙන්යාවේ නයිරෝබි නුවර දී නිමාව දුටුවේ 18 වැනි ලෝක කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාව ලෙස ය.

වයස අවුරුදු දහඅටේ පොඩ්ඩන්ගේ දස්කම් විස්කම් මැන බැලෙමින් පැවැති එම ශුරතාව වෙනුවෙන් ලාංකේය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හත් දෙනෙක් සහභාගි වූ හ.

ඒ ඉසුරු කෞශල්‍ය අබේවර්ධන, ඩිල්ශාන් බණ්ඩාර, රවිඳු ජයසුන්දර, මේධානි ජයමාන්න, තරුෂී කරුණාරත්න, ශානිකා ලක්‍ෂානි සහ සයුරි ලක්‍ෂිමා මෙන්ඩිස් යන අය වෙති. ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 119කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 1000කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙකී තරගාවලියට ශ‍්‍රී ලංකාව පමණක් නොව අනික් රටවල් ද එක්වූයේ කොවිඞ් වසංගතයේ අභියෝග මධ්‍යයේ ය. මෙකී පොඩ්ඩෝ එකී අභියෝග මධ්‍යයේ තරග වදිමින් කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශුරතාවට ලබා දුන් ආලෝකය සුළුපටු නොවේ.

ලාංකේය පොඩ්ඩන් මෙම ශුරතාව තුළ ප‍්‍රදර්ශනය කළ දක්ෂතා පදක්කමකට ප‍්‍රමාණවත් නොවූ නමුත් අපේ හෙට දවසේ තරම දැන ගැනීමට එහි දැක්වූ දක්ෂතා ප්‍රමාණවත් වූයේ යැයි කිව හැකි ය. එතෙක් මෙතෙක් කනිෂ්ඨ ලෝක ශූරතා මලල ක‍්‍රීඩා තරගාවලියක දී ලාංකේය පොඩ්ඩෝ කිසිදු පදක්කමක් හෝ දිනාගෙන නැත.

ශ‍්‍රී ලංකාව ඔලිම්පික් රිදී පදක්කම් (1948 / 2000) දෙකක් දිනා ගෙන තිබුණ ද කනිෂ්ඨ ලෝක ශූරතා මලල ක‍්‍රීඩා ශුරතාවයේ සැලකිය යුතු දස්කමක් ඉතිහාසය පුරාම සටහන් නොවූ රටකි. එහෙත් මෙවර නව පිම්මක් සටහන් කරමින් අවසන් තරගයකට ද ලාංකේය පොඩ්ඩෝ එක් වූ හ.

ඒ මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වට ය. ජාත්‍යන්තර මලල ක‍්‍රීඩා තරගාවලියක දී පළමු වරට මිශ‍්‍ර සහාය දිවීමේ තරගයකට සහභාගි වූ ශ‍්‍රී ලංකාව එහි පළමු අවස්ථාවේ දී ම අවසන් තරගයට සුදුසුකම් ලැබීම ද සැලකිය යුතු කරුණකි. මූලික වටයේ තරගයේ දී විනාඩි 3 .26.62 ක ට අදාළ තරගය නිමා කළ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ අවසන් තරගයට එක්ව එහිදී විනාඩි 3 යි තත්පර 26.39 කින් තරගය නිමා කිරීමට සමත් වූ හ. එහෙත් එකී කාලය ගැළපුණේ සමස්ත තරගයේ හත් වැනි ස්ථානයේ ශ්‍රේණිගත වන්නට ය.

ඩිල්ෂාන් බණ්ඩාර, තරුෂි කරුණාරත්න, සයුරි ලක්‍ෂිමා සහ ඉසුරු කෞෂල්‍ය අබේවර්ධන ඒ වෙනුවෙන් දායක වූ හ.

මිශ‍්‍ර සහාය දිවීමේ තරග ඉසව්ව ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශුරතාවයට එක් වූයේ ද පළමු වරට වන අතර මීට පෙර එය ලෝක ශූරතා තරගාවලිය සහ පසුගිය ඔලිම්පික් තරගාවලියට එක්කර තිබිණි.

සමස්තයක් වශයෙන් ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේ දී ශ‍්‍රී ලංකාවට සැනසුම් සුසුම් හෙළිය හැකි නමුත් මෙකී ලිපිය ආරම්භයේ දී සටහන් කළ නම් පෙළට අත්වූ අවාසනාවන්ත ඉරණම මෙම නම් පෙළට අත් නොවීමට වගබලා ගැනීම බලධාරීන් සතු යුතුකමකි. ඒ හෙට දිනයේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ පැවැත්ම තැනීමේ මූලික අඩිතාලම දැමිය හැක්කේ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වන හෙයිනි.

 

Comments