ලෝකෙට මෙන්ම ගෙදරට කර පරකාසේ රොනාල්ඩෝ දැන් ලියනා ඉතිහාසේ | සිළුමිණ

ලෝකෙට මෙන්ම ගෙදරට කර පරකාසේ රොනාල්ඩෝ දැන් ලියනා ඉතිහාසේ

 

ඔහු මරගාතයක් නොව සදාකාලික ඉතිහාසයකි. ප්‍රතිවාදී රාජ්‍යයන්ට නම් එක්තරා ආකාරයක විනාශයකි. එහෙත් කවුරුත්, කොතැනත් ආදරය කරන වර්තමාන පාපන්දු පිටියේ සුපිරි ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් අයකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පසුගිය දා නව ලෝක වාර්තාවක් පිහිටුවූයේ ය. මේ ඒ ගැන ය.’

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පසුගිය දා එක ම තරගයේ ගෝල දෙකක් වාර්තා කරමින් දෙවරක් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඒ ජාත්‍යන්තර පාපන්දු තරගාවලි ඉතිහාසයේ වැඩි ම ගෝල වාර්තා කළ ක්‍රීඩකයා බවට පත්වෙමිනි.

ඔහු පසුගිය දා සිය 110 වැනි ගෝලය වාර්තා කළ අතර යළි ගෝල 111 ක් ලබා එම වාර්තාව අලුත් කළේ ය.

ඒ ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ පාපන්දු තරගයක දී අයර්ලන්තයට එරෙහිව ය. ඊට පෙර මෙම වාර්තාව පිහිටුවා තිබුණේ ඉරාන ක‍්‍රීඩක අලි ඩේ ය.

ඔහු 1993 වසරේ සිට 2006 වසර දක්වා කාලය තුළ දී ගෝල 109 ක් රැස් කර ගනිමින් ඒ වාර්තාව පිහිටුවා තිබුණේ ය. පසුගිය යූරෝ තරගාවලියේ දී ගෝල 109 සීමාවට පැමිණි රොනාල්ඩෝ අයර්ලන්තයට එරෙහි ව පැවැති තරගයේ දී සිය ගෝල දෙක ම වාර්තා කළේ හිසින් ප්‍රතිවාදී දැල ආක්‍රමණය කරමිනි.

ජාත්‍යන්තර තරගවල ගෝල අනූවට වඩා ලබා ගත් ක්‍රීඩකයන් දෙදෙනෙක් සිටින අතර ඒ අලි ඩේ සහ රොනාල්ඩෝ ය.

‘මේ වාර්තාව පිහිටුවීම ගැනත්,අපි තරගය ජය ගැනීම සම්බන්ධයෙනුත් මට සතුටුයි.’ රොනාල්ඩෝ පවසන්නේ ය.

හිටපු රියල් මැඩ්රිඩ් ක්‍රීඩකයා යුරෝපීය ශූරතා ඉතිහාසයේ (14) සහ යුරෝ සහ ලෝක කුසලාන තරගාවලියේ ද (21) වැඩි ම ගෝල ලාභියා ය.

මේ අතර රොනාල්ඩෝ රැස් කළ ගෝලවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් රැස් කර ඇත්තේ අවසන් මිනිත්තු 30 තුළ වීම විශේෂිත ය.

අවසන් මිනිත්තු 15 තුළ 33 වතාවක් මෙන් ම 61 වන හා 75 වන මිනිත්තුව අතර දී 22 වතාවක් ඔහු ගෝල රැස් කර තිබේ.

මිනිත්තු 16-30 අතර කාලය තුළ 17 වරක් සහ 31- 45 අතර 16 වරක් ගෝල වාර්තා කර ඇති අතර, පළමු අර්ධයේ ආරම්භක මිනිත්තු 15 තුළ දීත් දෙවැනි අර්ධයේ ආරම්භක මිනිත්තු 15 තුළ දීත් ගෝල 11ක් වාර්තා කිරිමට සමත්ව ඇත.

කෙසේ නමුත් ජාත්‍යන්තර ගෝල ලැයිස්තුවක් නිවැරැදි ව පවත්වාගෙන නොයෑම ගැටලුකාරි තත්ත්වයක් බව කිව යුතු ය. එහෙයින් ඔවුන් දෙදෙනාට පසු ස්ථානගත ව සිටින ක්‍රීඩකයන් කිසිවෙක් නිශ්චිත ව දැක්වීමට නොහැකි වීම කනගාටුදායක ය. 1970 සහ 80 දසකවල ක්‍රීඩා කළ මැලේසියාවේ මොක්තාර් දහාරි ගෝල 89 ක් ලබා තුන් වැන්නා ලෙස ගෞරවයට පාත්‍ර වෙයි.

හංගේරියාව වෙනුවෙන් තරග 85 ක දී ගෝල 84 ක් රැස් කළ පුස්කස් නිසැකයෙන් ම ඊළඟට එහි ස්ථානගත ය. රොනාල්ඩෝට පෙර වැඩි ම ගෝල ලැබූ යුරෝපීයයා ලෙස ඔහු සැලකෙයි.

සැම්බියාවේ ගොඩ්ෆ්‍රේ චිතාලු 1960 - 80 ගණන්වල දී ගෝල් 79 ක් රැස් කළ බවට සහතික නොකළ වාර්තාවල සඳහන් ය.

කැනඩාවේ කාන්තා පාපන්දු ශූරී ක්‍රිස්ටීන් සින්ක්ලෙයාර් තරග 304 ක දී ගෝල 187 ක් ලබා ඇති අතර තවමත් විශ්‍රාම ගොස් නැත. ඇගේ වාර්තාව අසලකටවත් යෑමට රොනාල්ඩෝට හැකි නොවනු ඇතැයි විචාරක මතයවී තිබේ.

රොනාල්ඩෝ තරග 180ක දී ලබා ගත් ගෝල 111 ත් මෙසී තරග 151 දී ලබා ගත් ගෝල 76 ත් දළ වශයෙන් ගෝල 0.6 ක පරතරයක් බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

මෙසී ලොව වැඩි ම ගෝලලාභීන් අතර අට වැනි යා ය. ඔහු දැනට 34 වැනි වියේ පසුවෙයි. යම් හෙයකින් ඔහුට රොනාල්ඩෝ ගේ වාර්තාව බිඳ හෙළීමට අවශ්‍ය නම් දැනට ක්‍රීඩා කරන ආකාරයට ම ඔහුගේ වයස අවුරුදු හතළිස් ගණන් දක්වා ක්‍රිඩා කළ යුතු යැයි විශ්ලේෂක මතය ය. ඒ අනුව බලන කල රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියේ ගෝල ලැබීමේ දී ද සදාකාලික ගෞරවයට පාත්‍ර වන වර්තමානයේ ක්‍රීඩා කරන එක ම ක්‍රීඩකයා සේ දැක්වුව හොත් එය අසාධාරණයක් නොවේ.

 

Comments