මංගල තරගයෙන්ම ලොව දිනූ මහීෂ් | Page 2 | සිළුමිණ

මංගල තරගයෙන්ම ලොව දිනූ මහීෂ්

ජයග්‍රහණ ඇතැම් විට තවත් පොකුරු ජයග්‍රහණවලින් හැඩ වෙයි. එවැනි පොකුරු ජයග්‍රහණ ද සමඟ ජයග්‍රහණ සැලකිය හැක්කේ විජයග්‍රහණ ලෙස ය. පසුගිය දා ශ්‍රී ලංකාව කලකට පසුව දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලියක් ජය ලැබී ය. ඒ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ යොවුන් ක්‍රීඩක මහීෂ් තීක්ෂණට හැකි විය. ඒ පෞද්ගලික ව ඔහු විසින් ද වාර්තා කීපයකට සිය නම ඇතුළත් කර ගනිමිනි. මේ ඒ මහීෂ් ගැන සැකෙවින් දැක්වීමකි.'

ඕනෑ ම දිගු ගමනක පළමු පියවර අතිශය වැදගත් ය. මහීෂ් තීක්ෂණ ක්‍රිකට් ක්‍රීඩකයකු වශයෙන් තමන් තැබූ පළමු පියවර විශ්වසනීය හා වාර්තාගත පියවරක් වශයෙන් තබනු ලැබුවේ ය.

පසුගිය දා අවසන් වුණු දකුණු අප්‍රිකාව සමඟ පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් හිමි කර ගත් මහීෂ්, 21 වැනි සියවසේ උපත ලබා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන්නට වරම් ලද පළමු ක්‍රීඩකයා ලෙස සැලකෙයි.

එසේම ඔහු සිය මංගල පන්දුවෙන් ම කඩුල්ලක් දවාගත් සිව් වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වෙමින් දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු ජානෙමන් මලාන්ගේ කඩුල්ල දවා ගත්තේ ය. එවැනි දස්කමක් කළ ලොව 27වැනි ක්‍රීඩකයා සේ සැලකෙන්නේ මහීෂ් ය.

මීට පෙර ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් වශයෙන් චරිත බුද්ධික ප්‍රනාන්දු, කෞෂාල් ලොකුආරච්චි, තිලාන් තුෂාර මිරැන්ඩෝ ද එම වාර්තාවට හිමිකම් කියා ඇත.

එසේම ලාංකීය දඟ පන්දු යවන්නකු මංගල තරගයක දැක් වූ ඉහළ ම පන්දු යැවීමේ දක්ෂතාවයේ අයිතිය හිමිව ඇත්තේ ද මහීෂ් ට ය.

 

චරිත බුද්ධික ප්‍රනාන්දු

චරිත බුද්ධික 2001 – 2003 අතර කාලය තුළ ශ්‍රී ලංකා පිල නියෝජනය කළ තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයකු වන අතර එක්දින වරම් දිනාගත් 108 වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ ද ඔහු ය. තමන් යැවූ පළමු පන්දුවෙන් ම ඩග්ලස් මාර්ලියර් ගෙ කඩුල්ල දවා ගත්තේ ය. එම තරගයේදී කඩුලු 5 ක් දවාගත් ඔහු තරගයේ වීරයා ද විය.

 

කෞෂාල් ලොකුආරච්චි

කෞෂාල් ලොකුආරච්චි සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළේ එක්දින වරම් දිනාගත් 115 වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා වශයෙන් 2003 වසරේ දී කෙන්යා කණ්ඩායමට එරෙහිව ය. ඔහු සිය පළමු පන්දුවෙන් ම කෙන්යා කණ්ඩායමේ නායකයා වූ ස්ටීව් ටිකෝලෝව දවා ගත්තේ ය.

 

තුෂාර මිරැන්ඩෝ

තුෂාර මිරැන්ඩෝ 2008 වසරේදී බටහිර ඉන්දිය කොදෙව් පිලට එරෙහිව 136 වැනි එක්දින වර්ණලාභී ශ්‍රී ලාංකිකයා ලෙස කණ්ඩායමට ඇතුළත් විණි. ඔහු සිය මංගල පන්දුවෙන් ම බටහිර ඉන්දිය කොදෙව් ආරම්භක පිතිකරු රුනාකෝ මෝර්ටන්ගේ කඩුල්ල දවා ගත්තේ ය.

 

මහීෂ් තීක්ෂණ

මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමි කර ගත් 202 වැනි ක්‍රීඩකයා වෙයි. දකුණු අප්‍රිකාව සමඟ පැවැති තෙවැනි තරගයේ දී සිය මංගල තරගයේ මංගල පන්දුවෙන් ම දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු ජානෙමන් මලාන්ගේ කඩුල්ල දවාලීය.

ඊට අමතර ව මංගල තරගයක දඟ පන්දු යවන්නකු දැක් වූ හොඳම දක්ෂතාවයේ හිමිකාරීත්වය ද ඔහු තමන් සතු කර ගත්තේ ය. ඔහු ලකුණු 37ක දී කඩුලු 4ක් ක් බිඳ හෙළී ය.

2017 වසරේ දී සිම්බාබ්වේ පිලට එරෙහිව වනිඳු හසරංග 15/3 ක් දවා ගනිමින් එම වාර්තාවේ පෙරමුණෙහි පසු විය. 2009 වසරේ දී බටහිර ඉන්දිය කොදෙව් පිල සමඟ මංගල තරගයට ක්‍රීඩා කළ අජන්ත මෙන්ඩිස් 39/3ක් දවාගෙන තිබූ අතර 2011 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව සීක්කුගේ ප්‍රසන්න ලකුණු 32/3 ක් දවාගෙන තිබිණි.

එසේ ම ඕනෑ ම ශ්‍රී ලාංකේය පන්දු යවන්නකු සිය මංගල තරගයේ දී දැක්වූ හොඳ ම දක්ෂතා ලැයිස්තුවේ 5 වැනි ස්ථානයට පත් වන්නට ද මහීෂ් ට හැකිවිණි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූවේ 1984 වසරේ දී නවසීලන්තයට එරෙහිව මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ එස්. එච්. යූ. කර්නැයින් ය. ඒ 26/5 ක් ලෙස මංගල තරගයක ශ්‍රී ලංකා පන්දු යවන්නකු දැක් වූ හොඳම දක්ෂතාවට හිමිකම් කියමිනි. එහි දෙවැනි ස්ථානය 2016 දී අයර්ලන්තයට එරෙහිව 43/5 ක් දවාගත් දසුන් ශානකත් තෙවැනි ස්ථානය 2002 වසරේ දී සිම්බාබ්වේ පිලට එරෙහිව 67/5 ක් දවාගෙන ඇති චරිත බුද්ධික ප්‍රනාන්දුත් සිව් වැනි තැන එංගලන්තයට එරෙහිව 34/4 ක් දවාලූ අසන්තද මැල්ටත් හිමි ව තිබේ.

 

 

Comments