බෙල්ජියමට හොකී රන් දිනවා දී සමුගත් මැක්ලියොඩ් | Page 2 | සිළුමිණ

බෙල්ජියමට හොකී රන් දිනවා දී සමුගත් මැක්ලියොඩ්

 

ලෝක වසංගතයක් බවට පත්ව තිබෙන කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියට අභියෝග කරමින් මෙවර ජපානයේ ටෝකියෝ අගනුවර දී පැවැති තිස් දෙවැනි ඔලිම්පික් ක්‍රිඩා උළෙලෙහි පිරිමි හොකී රන් පදක්කම බෙල්ජියමට දිනා දීම උදෙසා පුරෝගාමී චරිතයට පණ පෙවූ ඔහු තම ධුරයට සමු දෙන්නට තීරණය කළේ ය.

125 වසරක ඉතිහාසයකට හිමිකම් කියන නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙහි පිරිමි හොකී රන් පදක්කම බෙල්ජියම දිනා ගත් පළමු අවස්ථාව මෙය ය. ඒ සඳහා ක්‍රීඩකයන් පෙළගස්වමින් ජයග්‍රහණයේ මෙහෙයුම් නියමුවා ලෙස කටයුතු කළේ "ෂේන් මැක්ලියෝඩ්" ය. ඔහු ඉතිහාස ගත වන තීරණයක් ගනිමින් තම පුහුණුකාර ධුරයට සමු දී තිබීම විශේෂත්වයකි.

ජාත්‍යන්තර හොකී කෙළිබිමේ සිළුමිණ ලෙස සැලකෙන "ලෝක කුසලාන" සහ මහද්වීපයේ ඉහළම බලාපොරොත්තුව බවට පත්ව තිබෙන "යුරෝපීය කුසලාන" මීට පෙර බෙල්ජියමට දිනා දීම සඳහා උපක්‍රමශීලිත්වය මුසුවූ කැපවීම උපරිමයෙන් ඉටු කළ 52 හැවිරිදි නවසීලන්ත ජාතික ෂේන් මැක්ලියෝඩ් ඒ අනුව ලෝක මට්ටමින් දිනා ගන්නා ලද අවසන් රන් පදක්කම මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ලැබූ ජයග්‍රහණය වනු ඇත.

2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී රිදී පදක්කමෙන් සෑහීමට පත්වන්නට බෙල්ජියම ට සිදු වූ අතර එය මෙවර රන් පදක්කම දක්වා රැගෙන යෑමට සමත්වීම පුහුණුකරුගේ වික්‍රමයක් ලෙස කැපී පෙනුණි. පසුගිය වර ඔලිම්පික් හොකී අවසන් තරගයේ දී රන් පදක්කම ප්‍රතිවාදී ආර්ජන්ටිනාව හමුවේ ගෝල් 04 - 02 ක් ලෙස ගිලිහී ගිය අවස්ථාවේ ලද වේදනාව ඊට පස් වසරකට පසුව සතුටු ගංගාවක් බවට පෙරළා ගැනීමට බෙල්ජියම සමත් වන්නේ පුහුණුකරුගේ දක්ෂතාවයට කදිම නිදසුනක් එක්කරමින්. එය මෑත ඉතිහාසයේ ලක්ෂ සංඛ්‍යාත බෙල්ජියම් ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත් කළ එකම ප්‍රවෘත්තිය ලෙසද සැලකේ.

ඒ අනුව ලෝක කුසලානය, ඔලිම්පික් ක්‍රීඩා උළෙල සහ යුරෝපීය ක්‍රීඩා උළෙල ආශ්‍රිතව රන් පදක්කම් දිනා දුන් සුවිශේෂී පුද්ගලයෙක් බවට ෂේන් මැක්ලියෝඩ් බෙල්ජියම් හොකී ඉතිහාසයට එක් වීම වැළකිය නොහැකි ය.

ජාත්‍යන්තර පාපන්දු සහ හොකී ශ්‍රේණිගත කිරීම අනුව ලොව අද අංක එකේ වැජඹෙන්නට සමත්ව සිටින්නේ රතු සිංහයන්ගෙන් සැදුම්ලත් බෙල්ජියම කණ්ඩායම ය. එකී බෙල්ජියමේ විශිෂ්ටතම පුහුණුකරු තෝරා ගැනීම සඳහා වූ තරගයෙන් ජය ගැනීමට හැකි වූයේ ඔහු ජාත්‍යන්තර හොකී කෙළි බිම තුළ ඉන්ද්‍රජාලිකයෙකු වූ නිසාම ය.

2017 සහ 2018 දෙවසර තුළ බෙල්ජියමේ විශිෂ්ටතම පුහුණුකරු ලෙස ඒ අනුව ඔහු සම්මානයට ද පාත්‍ර වූයේ එරට ඉහළම ගෞරවාදරය සමඟිනි.

මැක්ලියෝඩ් ගේ සේවා කාලය අවසන් කිරීමත් සමඟම එතෙක් සහාය පුහුණුකරු ලෙස කටයුතු කළ මයිකල් වෑන් ඩෙන් හුවෙල් මහතා වෙත ප්‍රධාන පුහුණුකරු ධුරය පැවරීමට බෙල්ජියම පියවර ගෙන ඇත්තේ වත්මන දන්නා ඔහු අනාගතය රනින් සරසන බවට ඇති විශ්වාසයෙනි.

අන් කිසිවකු විශ්වාස නොකළත් බෙල්ජියමේ පුහුණුකරු ධුරයට සමුදෙන්නේ ඉතාමත් සතුටින්. එය විශේෂ සහ සංවේදි දිනයක්. මගේ පුහුණු දිවිය තුළ යුරෝපීය, ලෝක ශූරතාව සහ ඔලිම්පික් පදක්කම දිනා ගැනීමෙන් අනතුරුව පුහුණුකාර ධුරයෙන් සමුගෙන යන පළමුවැන්නා මම වනු ඇතැයි ඔහු පවසා තිබුණේ ය.

අනුශූර ඔස්ට්‍රේලියාව

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙහි පිරිමි හොකී දක්ෂතා ඉහළ අගයක් ගත්තේ පෙරළිකාර දක්ෂතා රැසක් සමඟිනි. විශේෂෙන්ම ඉතිහාසයේ ප්‍රථම වතාවට බෙල්ජියම ශූරතාව දිනා ගන්නා අතර වාරයේ අනුශූරතාවයෙන් සෑහීමට පත්වන්නට සිදු වූයේ ප්‍රබල ඔස්ට්‍රේලියානුවන්ට ය. අවුරුදු 41 කට පසුව ක්‍රියාත්මක වෙමින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලක පදක්කමක් දිනා ගැනීමට අසල්වාසී ඉන්දියානුවන්ට හැකි වීම මෙවර කැපී පෙනුණි. 1928 සිට 1972 දක්වා පුරා වර්ෂ 42 පදක්කම් අතර රැඳී සිටිමින් හොකී කෙළි බිම පෙරමුණේ පසුවූ ඉන්දියානුවන්ට පසුගිය 41 වසර තුළ සිදුවූයේ පරාජයේ අමිහිර සමඟ අත්වැල් බැඳගෙන සිටින්නට ය. 1980 ලත් අවසන් රන් පදක්කමෙන් අනතුරුව ඔලිම්පික් පදක්කමක් හිමි කරගත් පළමුවැනි අවස්ථාව මෙවර වීම ඔවුන් ධෛර්යමත් කිරීමට ප්‍රධානතම සාධකයක් වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට විවිධ ත්‍යාගවලින් ඔවුන් සනසන්නට හා ධෛර්යමත් කරන්නට ඉන්දියානු රජය මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව ඉදිරිපත් වී සිටී.

ඉතිහාසයේ දෙවන තියුණුතම අවසන් තරගය මෙවර දක්නට ලැබුණු අතර එම තරගය සඳහා නියමිත මිනිත්තු 70 ක කාලයට අනතුරුව ක්‍රියාත්මක කරන ලද මිනිත්තු 15 ක අතිරේක කාලයෙන් ඔබ්බට ද තරගය පැවැත්වීමට සංවිධායකයන්ට සිදුවීම කැපී පෙනුණි. ඒ අනුව පවත්වන ලද තත්පර 08 ක් තුළ ගෝල් රැස් කිරීමේ අවස්ථාව හෙවත් ( 08 Seconds Penalty Shoot Out)ක්‍රමය යටතේ 03 -02 ක් ලෙස ජයග්‍රහණය වාර්තා කර ගැනීමට බෙල්ජියානු පිලට හැකි විය.

මෙම තරගයේ දෙවැනි වන්නේ 2000 වසරේ පවත්වන ලද නෙදර්ලන්තය සහ දකුණු කොරියාව අතර තීරණාත්මක අවසන් තරගයට ය. එහි අවසානය කියවුණේ දඬුවම් විදීම් (Penalty Strokes) ආශ්‍රිතව ගෝල් 05 - 04 ක ජයග්‍රහණයක් නෙදර්ලන්තය හමුවේ වාර්තා වෙමිනි.

මෙවර තරගාවලිය පුරා තම ආලෝකය විහිදුවන්න ට සමත් වූ බෙල්ජියමේ හෙන්ඩ්‍රික්ස් ඇලෙක්සැන්ඩර් ගෝල් 14 ක් රැස් කරමින් කැපී පෙනුණි. මැහුම් හයක් සහිත නළල වෙලා තිබූ වෙළුම් පටියට උඩින් දර්ශනීය හිස් පටියක් පැලඳ ගනිමින් ක්‍රීඩාපිටියේ විකුම් පෑ ඔහු මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අවධානය හා ආදරය දිනා ගැනීමට සමත් විය.

අවසන් පූර්ව වටයේ දී බෙල්ජියම හමුවේ ඉන්දියාව ගෝල් 05 - 02 කින් ද ඕස්ට්‍රේලියාව හමුවේ ජර්මනිය ගෝල් 03 - 01 කින් ද පරාජයට පත්විය.

රන් කතුන් නෙදර්ලන්තයෙන්

මෙවර කාන්තා තරගාවලියේ රන් පදක්කම තහවුරු කර ගැනීමට නෙදර්ලන්තය සමත් වූ අතර රිදී පදක්කමෙන් සෑහීමට පත්වන්නට ආර්ජන්ටිනාවට සිදු විය. ලෝකඩ පදක්කම බ්‍රිතාන්‍යයට හිමි විණි.

ඔලිම්පික් රන් පදක්කම නෙදර්ලන්තය දිනා ගත් සිව්වැනි අවස්ථාව මෙය විය.

1980 දී මෙන්ම මෙවරද පදක්කම් බලාපොරොත්තුව සිහිනයක් බවට පත් වෙමින් සිව්වැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට අසල්වැසි ඉන්දියාවට සිදු විණි.

 

Comments