පෙරහරේ යෑමට වඩා කොටන් ඇදීම වැදගත් ය | සිළුමිණ

පෙරහරේ යෑමට වඩා කොටන් ඇදීම වැදගත් ය

 

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ රන් හා ලෝකඩ පදක්කම් දිනූ ක්‍රීඩකයෝ දෙදෙනා පසුගිය දා රතු පාවඩ මතින් පිළිගනු ලැබූ හ. ඒ මෙරට ක්‍රීඩා ඉතිහාසයට ගෞරවනීය හිමිකමක් ගෙන දීමට ගෞරවය පෑමක් වශයෙනි.

එයට පෙර ඔවුන් දෙදෙනා නරිටා ගුවන්තොටේ දී ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය මඟින් නවීන පන්නයේ මෝටර් රථ දෙකක ත්‍යාගයකින් පිදුම් ලැබී ය. ඒ ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයාගේ මූලිකත්වය සහිතව ය.

ක්‍රීඩා අමාත්‍යාංශය ද මෙරට ක්‍රීඩා ඉතිහාසයේ ක්‍රීඩකයකු ජගයත් පදක්කමක් වෙනුවෙන් ලබා දුන් විශාලත ම ඇගැයීම සටහන් කරමින් රන් පදක්කම දිනූ දිනේෂ් ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයාට රුපියල් කෝටි පහක මුදලක් ප්‍රදානය කළේ ය. එසේම ලෝකඩ පදක්කම් ජයග්‍රාහකයා වූ සමිත දුලාන් කොඩිතුවක්කු වෙත ප්‍රදානය කළේ රුපියල් කෝටි දෙකක මුදල් තිළිණයකි.

ඊට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ජයග්‍රාහී ක්‍රීඩකයන් දෙදෙනාට පිළිවෙළින් රුපියල් කෝටියක් සහ මිලියනයක මුදල් තිළිණයක් ලබා දෙන බව පැවැසුවේ ය.

මෙම ප්‍රවෘත්ති සැබැවින්ම සුබ ආරංචි යැයි කිව හැකි ය. ඒ එවැනි ප්‍රදානයන් මඟින් ක්‍රීඩකයන්ගේ චිත්ත ධෛර්යය වඩනු ඇතැයි විශ්වාස කළ හැකි හෙයිනි.

එහෙත් එය එසේ කිරීම පමණක් ප්‍රමාණවත් නැති බව අප විශ්වාසය ය. එය එසේ නම් අප යෝජනා කරන්නේ කුමක් ද? ඒ මෙවැනි ජයග්‍රාහී ක්‍රීඩකයන් දහසින් බැඳි පියළි ලබා දී දිරිගැන්වීමේ ක්‍රියාදාමයට අමතර ව සමස්ත ක්‍රීඩා ප්‍රජාව දිරිමත් කළ හැකි පුළුල් වැඩපිළිවෙළක අවශ්‍යතාව පිළිබඳව ය. එසේ නොමැතිව ඵලදාව ලැබුණු පසු ගස්වලට පමණක් පොහොර දිය දැමීම අනාගතය සම්බන්ධයෙන් විපුල ප්‍රතිඵල ළඟා කර දෙන්නේ නැත. ඵල දරන තුරු පෙළට සාත්තු කරන අතර ම අනාගතයේ මල් ඵල ලැබෙතැයි අපේක්ෂා කළ හැකි තුරු වැල් නිසි පරිදි හඳුනා ඒවා නඩත්තු කළ යුතු ය.

ඒ වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය ශක්තිමත් කිරීමට ඕනෑ ම පුද්ගලයකුට හෝ ආයතනයකට එසේත් නැත හොත් සංවිධානයකට පෙරට පැමිණිය හැකි ය. එසේ පැමිණ රට තුළ ක්‍රීඩාවේ නියැළී සිටින සුවහසක් ක්‍රීඩකයන් අතරින් තෝරාගනු ලබන විශිෂ්ටයන් කීපදෙනෙකුට හෝ මූල්‍ය ශක්තියක් වන්නට පිළිවන.

වර්තමානයේ ද සුළු වශයෙන් මෙවැනි ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබේ. එහෙත් ඒවා දැනට සිදු කෙරෙන මට්ටමට වඩා පුළුල් හා විධිමත් පදනමක් මත පිහිටුවාලිය යුතු ය. නව යොවුන් ක්‍රීඩකයන් සිටින්නේ නම් ඔවුන්ගේ අධ්‍යාපනය, පුහුණුව, පෝෂණය මෙන්ම අනාගත වෘත්තිය පිළිබඳ ව සුරක්ෂිත භාවයක් ගොඩනංවන ක්‍රමවේද සකස් කළ යුතු ය. රටේ ක්‍රීඩාව ලෝකය තුළ විජයග්‍රහණයක් කරා මෙහෙයවිය හැක්කේ එවිට ය.

එසේ නොමැති ව අසීරුවෙන් ලබා ගත් ජයග්‍රහණයන්ට අයිසින් දැමීම එතරම් ඵලදායී නැත. පෙරහරේ යන්නට පෙරට එනවාට වඩා කොටන් ඇදීමේ දී ශක්තියක් වීම වඩා වැදගත් ය. ඒ වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශයට ආර්ථිකමය වශයෙන් සහය වීමට ද පිළිවන. එවිට දිනේෂ් ප්‍රියන්ත, සමිත දුලාන් වැනි තවත් විශිෂ්ටයන් රැසක් බිහි කර ගැනීම අසීරු නොවන බව කිව යුතු ය.

--------------------------------------

පාසල් පන්දහස් අටසියයකට ක්‍රීඩා උපකරණ

පදක්කම් නියඟයකට හසු ව සිටින ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තරය ජය ගත හැකි දක්ෂයන් බවට පරිවර්තනය කර ගැනීමේ අරමුණ ඇතිව දිවයිනේ පාසල් 5804 කට ක්‍රීඩා උපකරණ සහ ක්‍රීඩා භාණ්ඩ පිරිනැමීමට ග්‍රාමීය සහ පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

කොළඹ, කළුතර, ගම්පහ (බස්නාහිර පළාත) මහනුවර, මාතලේ, නුවරඑළිය (මධ්‍යම පළාත) පුත්තලම, කුරුණෑගල (වයඹ පළාත) බදුල්ල, මොනරාගල (ඌව පළාත) රත්නපුර, කෑගල්ල ( සබරගමුව පළාත) ගාල්ල, මාතර, හම්බන්තොට ( දකුණු පළාත) අනුරාධපුර, පොලොන්නරුව ( උතුරු මැද පළාත) ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර (නැඟෙනහිර පළාත) යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වව්නියාව, මුලතිව් (උතුරු පළාත ) යන දිස්ත්‍රික්ක සියල්ල ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

අගනගරයේ පාසල්වල මෙන් ම අගනගරයෙන් ඈත එපිට පිහිටි පාසල් දහස් ගණනක අධ්‍යාපනය හදාරන කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බල ගන්වමින් අනාගතයේ අන්තර්ජාතික ජයග්‍රහණ නිරන්තරයෙන් ම සටහන් කර ගැනීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

එමෙන් ම රටේ අනාගතය භාර ගන්නට සූදානම් ව සිටින පාසල් දරුවන් ගේ ශාරීරික යහපැවැත්ම, මානසික යහපැවැත්ම, සමාජයීය යහපැවැත්ම සහ ආධ්‍යාත්මික යහපැවැත්ම “පූර්ණත්වය” ට පත් කරමින් සෞඛ්‍යවත් පුද්ගලයකු බවට පරිවර්තනය කිරීමට ඇවැසි සුව පරිසරය නිර්මාණය කිරීම ද මෙතුළින් බලාපොරොත්තු වේ.

අනාගත අභියෝග ජය ගත හැකි නූතන වැඩ ලෝකය තුළ පෙළහර පෑමට සමත් දක්ෂයන් බවට බලවන්තකරණය කිරීම ද මෙමඟින් අපේක්ෂිත ය. අපේ රටේ සංවර්ධන ක්‍රියාවලියට තදින්ම බලපාන සතුට පිරි පුද්ගලයන්ගේ ක්‍රියාශීලී ශ්‍රම දායකත්වය සපයා ගැනීමට මෙමඟින් සිදුවන කාර්යභාරය සුවිශාල ය.

කාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් සිදු කෙරෙන මෙම ‍ ක්‍රියාවලියේ දී ක්‍රීඩා පාසල් 30 ක් බල ගන්වමින් ඒ සඳහා ද සියලු ම ක්‍රීඩා භාණ්ඩ හා ක්‍රීඩා උපකරණ පිරිනැමීමට තීරණය කර තිබීම විශේෂත්වයකි. අපේ රටේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් මෙන් ම පාපන්දු, නෙට්බෝල්, ක්‍රිකට් සහ මලල ක්‍රීඩා ඇතුළු ව සෑම ක්‍රීඩාවක් ම දියුණු කිරීමේ ආරම්භයක් ලෙස මෙය ක්‍රියාවට නංවා තිබේ.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි මෙම ක්‍රීඩා පාසල් නම් කර ඇති අතර, එමඟින් අදාළ දිස්ත්‍රික්කය තුළ සිටින දක්ෂතා පිරී යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා සංවිධානාත්මක පුහුණුවක් තුළින් ජාත්‍යන්තරය ජය ගත හැකි තත්ත්වයට බලගැන්වීම ද මෙතුළින් අපේක්ෂා කෙරේ.

මීට අමතර ව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක ම ක්‍රීඩා උපකරණ සහ ක්‍රීඩා භාණ්ඩ සංචිතයක් පිහිටු වීමට කටයුතු කර ඇති අතර එය පවත්වා ගෙන යෑමට සුදුසු ම ස්ථානයක් නම් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව පිහිටුවන ක්‍රීඩා භාණ්ඩ සහ ක්‍රීඩා උපකරණ සංචිත ප්‍රමාණය 25 කි. අදාළ දිස්ත්‍රික්ක තුළ සිටින ඕනෑම ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට මෙවැනි මධ්‍යස්ථානවලට පැමිණ පුහුණුවීම් කරගෙන යෑමට අවස්ථාව ලබා දී තිබීම ද අගය කළ යුතු ය. ක්‍රීඩා උපකරණ මිල දී ගැනීමට තරම් ආර්ථික තත්ත්වයක් නොමැති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙමඟින් සැලසෙන සෙත විශාල ය. කැලේ පිපෙන මල් කැලයට ම පරවී නොයන්නට ගන්නා ප්‍රශංසනීය උත්සාහයක් ලෙස මෙය හැඳින්විය හැකි ය.

එමෙන් ම දිවයිනේ සෑම අධ්‍යාපන කොට්ඨාසයකට ම ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි අංග සම්පූර්ණ උස පැනීමේ මෙට්ට කට්ටලයක් ලබා දීමට ද මෙම වැඩසටහන යටතේ පියවර ගෙන තිබීම සුවිශේෂී ය. ඒ අනුව ලබා දීමට පියවර ගෙන ඇති උස පැනීමේ මෙට්ට කට්ටල සංඛ්‍යාව 297 කි.

සෑම පාසලකට ම මෙවැනි අංග සම්පූර්ණ උස පැනීමේ ක්‍රීඩා භාණ්ඩ කට්ටලයක් මිල දී ගැනීමට අසීරු ය. එබැවින් ඈත එපිට ගම්බද දරුවන්ගේ උස පැනීමේ ශිල්පීය ක්‍රම වර්ධනය කර ගැනීම සඳහා මෙමඟින් විශාල සේවයක් වනු නොඅනුමාන ය.

මෙම වැඩපිළිවෙළට සමගාමී ව දිවයින සිව් දෙස පිහිටී ක්‍රීඩාංගණ 100 ක් නවීකරණය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඵල ප්‍රයෝජනය සඳහා විවෘත කිරීමට නියමිත ය. රාජ්‍ය අනුග්‍රහය ඇති ව සිදු කෙරෙන මෙම කාර්යයට වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 320 කි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව අනාගත ලොව ජය ගත හැකි ක්‍රීඩක පරපුරක් බිහි කිරීම උදෙසා රජය ගෙන යන දිගුකාලීන සැලසුමක ආරම්භය සනිටුහන් කරමින් මෙය ක්‍රියාත්මක කෙරේ.

මෙම වැඩසටහන දියත් කිරීමේ දී තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හා ග්‍රාමීය සහ පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා මූලකත්වය ගෙන කටයුතු කරති.

සපුමල් වීදියබණ්ඩාර

------------------------------------

අද වැනි දවසක...

 

ගෝල 36-0 ක සංග්‍රහයක්

‘සංග්‍රහයක් අපූරු ය. එහෙත් මෙවැනි සංග්‍රහයක් නම් කිසිසේත්ම අපූරු නොවන්නේ එය විඳ ගැනීම අසීරු හෙයිනි. එනමුදු එකී සංග්‍රහය සිදු කෙරුණේ ය. ඒ මීට වසර 146 කට පෙර ය.’

‘අද වැනි දවසක එනම් මීට වසර 146 කට පෙර 1885 වසරේ සැප්තැම්බර් 12 වැනි දා ආබ්‍රෝන් හි පැවති ස්කොට්ලන්තයේ ජාතික පාපන්දු තරගාවලියේ පළමු වටයේ තරගයක් ආබ්‍රෝන් පිල හා බොන් ඇකොඩ් පිල අතර පැවැත්විණි. ඔවුන් අතර පැවැති එම තරගය අදටත් සටහන්ව ඇත්තේ වැඩිම ගෝල පරතරයක් සහිතව අවසන් වූ වෘත්තීය මට්ටමේ පාපන්දු තරගය ලෙස ය.

ජයග්‍රාහී ආබ්‍රෝන් පාපන්දු ක්‍රීඩා සමාජය 1878 වසරේ ආරම්භ කරන ලද්දකි. නමුත් බොන් ඇකෝඩ් ක්‍රීඩා සමාජය පිහිටුවා ඇත්තේ වසරකට පෙරදී ය. එසේම ඔවුන් පාපන්දු ක්‍රීඩාවට වඩා, ප්‍රසිද්ධියක් උසලනු ලැබුවේ ක්‍රිකට් ක්‍රීඩාවට ය.

තව ද බොන් ඇකොඩ් පිල මෙම පාපන්දු තරගාවලියට එක් වන්නේ ද ඔරියන් එෆ්. සී. පිල ඉවත් වීම නිසා ය. මේ නිසා බොන් ඇකොඩ් පිල ඊට සහභාගී වී තිබුණේ පෙර අත්දැකීම් කිසිවක් නොමැතිව ය.

තරගයේ පළමු භාගය අවසන් වන විට ආබ්‍රෝන් පිල ඉදිරියෙන් ගෝල 15 ක් සටහන්ව තිබුණ ද බොන් ඇකොඩ් පිල ඉදිරියේ සටහන් වූයේ බින්දුව ය. කොහොම නමුත් තරගය අවසන් වන විට තවත් ගෝල 21ක් උදුරා ගන්නට ද ආබ්‍රෝන් කණ්ඩායම සමත් විණි.

මේ තරගයේ දී ආබ්‍රෝන් පිලේ ජෝන් පෙට්රී ගෝල 13 ක් ම රැස් කර තිබූ අතර එය අදටත් වර්තාවකි. තරගය විනිශ්චය කළ ඩේව් ස්ටෝමොන්ට් පවසා ඇත්තේ ආබ්‍රෝන් ගෝල 43 ක් ලබා ගත් නමුත් නීතිවිරෝධී ක්‍රියාවන් නිසා ඉන් ගෝල 7 ක් ම ඉවත් කළ බව ය.

තවද මේ තරගයේ දී ආබ්‍රෝන් පිලේ දැල් රකින්නා වූ ජිම් මිල්නේට එක ම එක අවස්ථාවක දී වත් පන්දුව ස්පර්ශ කර නොතිබිණි. ඊට සමගාමී ව බොන් ඇකෝඩ් පිලේ දැල් රකින්නා වූ ඇන්ඩෘ ලෝනිට නම් මොහොතක් හෝ විවේක ගන්නට අවස්ථාව ලැබී නොතිබිණි.

පසු කලෙක එනම් 2000 වසරේ රොමෙනියාවේ කාපර්ටි මිර්සා පිල ඇවින්ට්‍රල් ඩිල්රොස් පිල සමඟ සහභාගී වූ තරගය අවසන් වී තිබුණේ ගෝල 41-0 ක ජයක් කාපර්ට් මිර්සා පිලට අත් කර දෙමිනි.

ඒ හැර 2016 වසරේ එක්වදෝරයේ පැවැති තෙවැනි පෙළ පාපන්දු තරගයක දී පෙලිලේඕ ක්‍රීඩා සමාජය ඉන්දි නේටීව ක්‍රීඩා සමාජය පරාජය කර තිබුණේ ගෝල 44-1 ක් ලෙසය.

එහෙත් මේ තරග දෙකම වෘත්තීය මට්ටමේ පළමු පෙළ තරග නොවී ය.

මේ අතර 2002 වසරේ මලගාසි ජාතික පාපන්දු තරගාවලියේ දී ඒ.එස්.ඇඩමේ පිල ගෝල 149-0 ක් ලෙස එස්.ඕ. එමිර්නේ පිල පරාජය කර තිබුණ ද එම තරගයේ දී විනිසුරුවරයා ලබා දුන් තීරණයකින් උරණ වූ එමිර්නේ ක්‍රීඩකයන් විසින් හිතාමතාව ප්‍රතිවාදීන්ට ගෝල රැසක් ම ලබා දී තිබුණු බැවින් එය ද වාර්තා පොතට එක් කර නැත.

සීවලී එදිරිවීර

 

Comments