පැරාලිම්පික් බිමේ උපන් කියුලා - වාස් ආදර කතාව | Page 2 | සිළුමිණ

පැරාලිම්පික් බිමේ උපන් කියුලා - වාස් ආදර කතාව

ලෝකය රඟ මඬලක් යැයි විලියම් ෂේක්ෂ්පියර් කීවේ ය. ඒ රඟ මඬලේ ගෙවෙන සෑම තත්පරයක දී ම විවිධ ජවනිකා රඟ දැක්වේ. ද්වේෂය, ශෝකය, වෛරය මෙන්ම ප්‍රේමය වැනි විවිධ භාවමය ජවනිකා ද ඒ අතර වෙයි. එවැනි ප්‍රේම ජවනිකා බොහොමයක් ප්‍රසිද්ධ නොවූවත් ඇතැම් ඒවා ලෝ පූජිත ය. ලෝකය තුළ මහත් ආලෝකයක් ඇති කළ හැකි තවත් අපූරු ආදර කතාවක් පැරා ඔලිම්පික් උළෙලේ දී දක්නට ලැබුණේ ය. මේ ඒ ආදර කතාව ය.'

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ කාන්තා මීටර් 200 T11 දෘශ්‍යාබාධිත ධාවන අංශයේ මූලික තරගයක් පසුගිය සැප්තැම්බර් 2 වැනි දා පැවැත්විණි. ඒ තරග ඉසව්ව සඳහා රටවල් හතරක් නියෝජනය කරමින් තරගකරුවෝ තරග වැදී උන් හ. දෘශ්‍යාබාධිත ධාවන තරග ඉසව්වක් හෙයින් ඔවුන්ට මඟ කියන්නට දෙනෙත් පෙනෙන ධාවකයෙක් ද තරගයට සහභාගි කරවීම පැරාලිම්පික් නීතිය වි ය.

මේ අනුව අදාළ තරග ඉසව්ව වෙනුවෙන් අප්‍රිකානු රාජ්‍යයක් වන කේප්වර්ඩ් දිවයින ද එක් ක්‍රීඩිකාවක් සහභාගි කරවා තිබිණි. ඈ නමින් කියුලා නිද්‍රියා පෙරෙයිරා සෙමෙඩෝ ය.

ඇගේ සහයට අත්වැල් සැපයීමට ධාවන පථයේ රැඳී සිටියේ මැනුවෙල් ඇන්ටෝනියෝ වාස් නමැති ක්‍රීඩකයෙකි. නමුත් කේප්වර්ඩ් දිවයින නියෝජනය කළ කියුලාට හිමි වුණේ මූලික තරගයේ සිව්වැනි ස්ථානය ය.

තරගය නිම වී මොහොතකට පසු එම ඉසව්වේ පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන ලබා ගත් ක්‍රීඩිකාවන් ධාවන වළල්ල මත දී සමූහ ඡායාරූපයකට පෙනී සිටින්නට සූදානම් වූ හ. එහෙත් ඒ සමූහ ඡායාරූපයට පෙනී සිටීම මඟ හැර කියුලා නමැති ක්‍රීඩිකාවට දිව යන්නට මඟ පෙන්වමින් සහය දැක්වූ වාස් ක්‍රීඩාගාරයට ගියේ ය.

නමුත් කියුලා මඟහැර ගිය වාස් යළි එක්වරම ඇය ඉදිරියට පැමිණ විවාහ යෝජනාවක් ඉදිරිපත් කළේ ය. ඒ කියුලා අබිමුව දණ බිම හොවා ඇගේ මංගල අතැඟිල්ල මුදුවකින් සරසමිනි. වටපිටින් නැඟුණේ ඔල්වරසන් හඬ ය. ඒ ඔවුන්ගේ ආදර ගිවිසීමට ආශීර්වාදය පළ කිරීමක් ලෙස ය.

ලොව පුරා රුපවාහිනී ප්‍රේක්ෂ-කයන් එක වර මවිතයට පත්කරවන මෙම සිදුවීම අසිරිමත් දසුනක් විණි. තරගය ජයග්‍රහණය කළ තිදෙනා ද තම සතුට බෙදා ගැනීම පසෙකලා අත්පොළොසන් දෙමින් ඔවුන් සිප වැලඳගනිමින් ආසිරි පැතූ හ.

32 වැනි වියෙහි පසුවන කියුලා නිද්‍රියා පෙරෙයිරා සෙමෙඩෝ මෙවර නියෝජනය කළේ සිය පළමු පැරාලිමිපික් ක්‍රීඩා උළෙලයි. මීටර් 100 සහ 200 යන ඉසව් දෙකට ම සහභාගී වූ ඇය එම ඉසව් දෙකෙන්ම පරාජයට පත් විණි. ටෝකියෝ පැරාලිම්පික් බිමේ දී ඇය ධාවනයෙන් පරාජයට පත් වුව ද, සිය ජීවිතයේ ඉදිරියට යන්නට අත්වැල සපයන්නට ඇයට ඇගේ ධාවන පථයේ සහ-කරුවා ඉදිරිපත්ව සිටීම අපූරු ය. එය පැරාලිම්පික් බිමේ දිවිවැල ඇල්ලීමේ අපූරු ප්‍රේම කතාවක් සම්පූර්ණ වීම ලෙස මුළු ලෝකය තුළ බොහෝ කාලයක් අමතක නොවන මත යක් බවට පත්වනු නිසැක ය. ප්‍රේමය පහළ වන්නේ, ඒ ප්‍රේමය ජය ගන්නේ, එකී ප්‍රේමය ගිවිස ගත හැකි අලුත් ම අලුත් ස්ථානයක් බවට ධාවන පථය පත් කළ කියුලා හා වාස් ගේ ප්‍රේමය සදාකාලික මතකයක් නොවනු ඇතැයි කාට නම් කිව හැකි ද?

 

 

Comments