දුලිප් මෙන්ඩිස් ගේ සාඩම්බර තාක්ෂණ ඥානයෙන් ක්‍රිකට් ලොව මහාමාන්‍ය වන ඕමානය | සිළුමිණ

දුලිප් මෙන්ඩිස් ගේ සාඩම්බර තාක්ෂණ ඥානයෙන් ක්‍රිකට් ලොව මහාමාන්‍ය වන ඕමානය

 

‘ඕමානය තෙල් රටකි. එරට බොහෝ සාඩම්බර නිර්මාණයන්ට ශ්‍රී ලංකාව සම්බන්ධ ය. ඒ මෙරට බුද්ධි ගලනයෙන් උපරිම ප්‍රයෝජන ලැබීමට ඕමානය සමත් වූ හෙයිනි. පසුගිය කාල යේ තවත් එවැනිම හපන්කමක් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදු කිරීමට ඕමානයට හැකිව තිබුණේ ය. මේ ඒ සම්බන්ධයෙන් ලියැවෙන්නකි.’

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගයේ වීරයා සම්මානය දිනා ගත් පළමු පිතිකරුවා ය. මෙරට බිහි කළ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙස හඳුන්වන්නේ ඔහු ය. ශ්‍රී ලංකාව බිහි කළ තෙවැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් නායකයා යනුවෙන් ද ඔහු හැඳින්විය හැකිය.

මෙරට මුල්ම ටෙස්ට් තරගය හා තරගාවලිය ජයගත් කණ්ඩායමේ නායකයා යැයි කියන්නේ ද ඔහුට ය. කණ්ඩායම් දෙකකට වැඩි ගණනක් සහභාගි වූ එක්දින ශුරතාවක් දිනූ පළමු නායකයා වන්නේ ද ඔහුම ය. ඒ 1986 ආසියා කුසලාන තරගාවලිය ය. (පාකිස්තානය, ශ්‍රී ලංකාව හා එවකට ටෙස්ට් තත්ත්වය නොතිබූ බංග්ලාදේශය අතර මෙය පැවැත්විණි.)

ටෙස්ට් ලකුණු දහස ඉක්ම වූ මෙරට මුල්ම පිතිකරු, ටෙස්ට් තරගයක ඉනිම් දෙකේ දී ම ශතක රැස් කළ මෙරට පළමු පිතිකරු, 1996 ලෝක කුසලාන දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස සැලකෙන්නේ ද ඔහුම ය. මේ සියලු ගෞරවාර්ථයන්ගේ එක ම හිමිකරුවා වනුයේ දුලිප් මෙන්ඩිස් ය.

හැත්තෑව දසකයේ සිට 2011 පමණ වන තුරු ක්‍රීඩකයකු, කළමනාකරුවකු, පුහුණුකරුවකු, පරිපාලකයකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අනුපමේය සේවයක් කළ දුලිප් දැන් සිටින්නේ ඕමානයේ ය. ඒ එරට ක්‍රිකට් ආයතනයේ ආරාධනයක් මත එරට ක්‍රිකට් ක්‍රීඩා අධ්‍යක්ෂ මෙන්ම ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමිනි.

ඔහුට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණයේ දී ඔහුගේ ප්‍රබලත ම සෙන්පතියකු වූ රුමේෂ් රත්නායක ද එරට පන්දු යැවීමේ පුහුණුකරු ලෙස සිටිනුයේ ඕමානයේ ය. ඔවුනට අමතරව තවත් පාකිස්තාන, ඉන්දීය, බංග්ලාදේශ ජාතිකයන් රැසක් ඔහු යටතේ කටයුතු කරති.

බ්‍රිතාන්‍ය සමයේ ඕමානයට ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දුන් අතර 1979 ආරම්භ වූ ඕමාන ක්‍රිකට් ආයතනය 2000 වසරේ ජගත් ක්‍රිකට් කවුන්සිලයේ අනුබද්ධිත සාමාජිකත්වය ලබා ගත්තේ ය. පසුව 2014 වසරේ ජගත් ක්‍රිකට් කවුන්සිලය තුළ අර්ධ සාමාජිකත්වයක් අත් කර ගත්තේ ය.

මේ වන විට බිම් මට්ටමේ සිට ක්‍රියාත්මක ඕමාන ක්‍රිකට් ක්‍රීඩාව සඳහා එරට ක්‍රිකට් ආයතනය අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙමින් සිටින්නේ දුලිප් මෙන්ඩිස්ගේ උපදෙස් ද සලකා බලමිනි. එරට ක්‍රීඩකයන් සඳහා ඕමානයේ පිහිටුවා ඇති ක්‍රිකට් පුහුණු පාසල මඟින් අය කිරීමකින් තොරව පුහුණුව ලබා දෙයි.

“මම සැම විටම හදවතින්ම ශ්‍රී ලාකික බව ඇත්ත. නමුත් දැන් මගේ උනන්දුව ඕමාන් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙනුයි. මොකද ශ්‍රී ලාංකිකයෙක් කියන්නේ අවංකව රාජකාරි කරන කෙනෙක් නිසා.” එසේ පවසා තිබුණේ දුලිප් මෙන්ඩිස් ය. ඒ ටික කලකට පෙර මාධ්‍ය අමතමිනි.

එහෙයින් තමා භාරගත් වගකීම වෙනුවෙන් වඩාත් කැපවන බව ඔහු සිහිපත් කර තිබුණේ ය. එය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සත්‍යයකි. ඔහු එදා ඕමානයේ ක්‍රිකට් භාර ගන්නා විට එරට ක්‍රිකට් එතරම් උසස් තැනක තිබුණේ නැත.

එහෙත් මේ වන විට ඕමාන ක්‍රිකට් ක්‍රීඩාව දෙවන වරට ද විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් අසලට ගෙන ඒමට ඔහු සමත් වී තිබේ. ඒ අනුව මෙවර විශේෂත්වය වනුයේ ඔවුන්ද එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන සත්කාරක රටක් ලෙස තෝරා ගෙන තිබීම ය. මේ අනුව දුලිප්ගේ ඕමාන කණ්ඩායමට තෝරා ගැනීමේ වටයේ තරග සඳහා තම මවු භුමිය තුළ තරග වැදීමේ අවස්ථාව හිමිවී තිබේ.

“ඇත්තෙන්ම කියනවා නම් පටන් ගැනීම ඉතා අසීරු වුණා. කණ්ඩායමක් ගොඩනැඟීම ඒ වගේම ඉදිරියට රැගෙන යෑම පහසු කටයුත්තක් නොවෙයි.නමුත් කණ්ඩායම එකාවන්ව ඉදිරියට ඇදුණා. අප ඉදිරියට එන්නට ගත් උත්සාහයේ දී පසුබැසීමේ අවස්ථාත් නොතිබුණා නොවෙයි. කොහොම නමුත් 2016 ඉන්දියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලන තරගාවලියට සුදුසුකම් අත් කර ගැනීමට අපට හැකිවුණු එක ජයග්‍රහණයක්. ඒ වගේම එම තරගාවලියේ දී ටෙස්ට් ක්‍රිකට් සාමාජිකයකු වන අයර්ලන්තය පරාජය කිරීමට හැකි වීමත් ලොකු ජයග්‍රහණයක්.” දුලිප් මෙන්ඩිස් ඕමාන ක්‍රිකට් අධ්‍යක්ෂවරයා වශයෙන් පවසා ඇත.

එය දුලිප්ගේ පුහුණුකාරීත්වය යටතේ ලබා ගත් එක් පෙරළිකාර ජයග්‍රහණයකි. එමෙන්ම ව

දුලිප් මෙන්ඩිස් යටතේ ඔවුන් ලබා ගත් ජයග්‍රහණ අතර තවත් වැදගත් ජයග්‍රහණයක් ලෙස 2019 වසරේ එක්දින ජගත් ක්‍රිකට් වරම් අත්කර ගැනීම අමතක කළ නොහැකිය.

මේ අනුව ඕමානය මීළඟ ලෝක කුසලන තරගාවලිය සඳහා සුදුසුකම් අත්කර ගැනීම සඳහා ලෝක කුසලාන ලීග් දෙක යටතේ තරග වදියි.

“මම ඕමාන පුහුණුකරු තනතුර භාර ගන්නා විට ඔවුන් පසුවුනේ 05 වන කොටසේ. මගේ ඉලක්කය වුණේ එක්දින ජාත්‍යන්තර වරම් හිමි කර ගැනීම. ඇත්තෙන්ම මගේ ඉලක්කය අද වන විට සාර්ථකයි. මෙය ඕමාන ක්‍රීඩකයන් හා ජනතාවගේ පැත්තෙන් බැලුවාම විශාල ජයග්‍රහණයක්. මෙහි ගෞරවය ක්‍රිකට් ප්‍රධානි කනක්ෂි කිමිජි ඇතුළු මෙරට ක්‍රිකට් ආයතනයට හිමිවිය යුතුයි. ඒ වගේම මම ස්තුතිවන්ත වනවා පන්කාජ් කිමිජි හා මධුෂින් ජෙශ්රානි වැනි නිලධාරීන්ටත්. ඔවුන්ගේ සහය නොමැතිව මෙම කටයුත්ත සාර්ථක නොවන්නට ඉඩ තිබුණා.” ඕමානයට එක්දින වරම් හිමිවීමෙන් පසු දුලිප් පවසා ඇත.

විස්සයි විස්ස තරගාවලිය, ඒ වගේම එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීම වැනි කරුණු ඉටුකර ගැනීමෙන් පසු දුලිප් මෙන්ඩිස්ගේ ඉදිරි ඉලක්කය වී තිබෙන්නේ මීළඟ 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා අවස්ථාව හිමි කර ගැනීමයි. අපි මෙම තරගාවලිය වෙනුවෙන් ලීග් 02 යටතේ තරග වදිනවා. මෙහිදී එක්සත් ජනපදය, පැපුවා නිව්ගිනියා, එක්සත් අරාබි එමිරය, නේපාලය, ස්කොට්ලන්තය, නැමීබියාව වැනි රටවල් ඉන්නවා. මෙහි දී එක කණ්ඩායමක් තරග 36 කට මුහුණ දිය යුතුයි. අවාසනාවට වසංගත තත්ත්වය නිසා අපිට පසුගිය වසරේ තරග වැදීමට පුළුවන්කමක් ලැබුණේ නෑ. කොහොම වුනත් මේ සැප්තැම්බර් මාසයේ අපි ඕමානයේදී තරග පිටියට පිවිසෙනවා. මේ වන විට අප තරග 10 ක ට මුහුණ දී අවසන්. තවත් තරග 26 ක් අපට ඉතිරියි. අප මෙහිදී මුල් කණ්ඩායම් තුන අතරට එන්නට අපේක්ෂා කරනවා.” ඕමානයේ ඉදිරි ලෝක කුසලාන සැලසුම් ගැන ඔහු එසේ පැවසී ය.

ඉදිරි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තෝරා ගැනීමේ වටයේ දී ඕමානය සහභාගී වන තරග තම රට තුළ පැවැත්වීම ඔවුනට අත්වන අමතර වාසියකි. මෙහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ බංග්ලාදේශය, පැපුවා නිව්ගිනියා, ස්කොට්ලන්තය වැනි කණ්ඩායම් ය.

“අතීතයේ අපි පැපුවා නිව්ගිනි හා ස්කොට්ලන්තය වැනි කණ්ඩායම් පරාජය කර තිබෙනවා. ඒ වගේම අපේ ක්‍රීඩකයන් පසුවන්නෙත් හරිම උද්යෝගයකින්. ඔබ දන්නා පරිදි විස්සයි විස්ස තරගයක ඕනෑම කණ්ඩායමක් තුළ ඕනෑම දෙයක් සිදු වන්නට පුළුවන්. එදින හොඳින් ක්‍රීඩා කරන කණ්ඩායමට ජයගත හැකියි. අප සැම විට බලාපොරොත්තු සහගතයි. තරග අපේ රටේ පැවැත්වීමත් අපට හොඳ වාසියක්.” මෙසේ කියන්නේ දුලිප් මෙන්ඩිස් ය.

ඇත්තෙන්ම කණ්ඩායම් හතරකින් යුත් එක කොටසක මුල් ස්ථාන දෙක අතරට පිවිසුණහොත් ලෝක කුසලාන සුපිරි වටයේ කණ්ඩායම් 12අතරට පැමිණීමේ අවස්ථාවක් තිබේ. මේ අනුව බංග්ලාදේශය කෙසේ වෙතත් පැපුවා නිව්ගිනියා හා ස්කොට්ලන්තය පරාජය කළහොත් එම අවස්ථාව උදාකර ගැනීමේ මහඟු අවස්ථාව දුලිප්ගේ ඕමානය සතු ය.

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය ආරම්භවීමට පෙර ඕමානය සමග එහිදී විස්සයි විස්ස තරග දෙකකට මුහුණ දීමට නියමිත ය. දුලිප් ඒ ගැන කතා කරන්නේ මහත් සතුටිනි.

“විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශක්තිමත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ තරග වැදීමට අවස්ථාව ලැබීම ගැන අපට සතුටුයි. මෙම තරග දෙක කණ්ඩායම් දෙකටම වඩාත් වැදගත් වේවි. ශ්‍රී ලංකාවට එක්සත් අරාබි එමීරයේ පැවැත්වෙන තරග සඳහා පෙරහුරුවක්. ඒ වගේමයි ඕමානයට තරගාවලියට පෙර ප්‍රබල කණ්ඩායමකට එරෙහිව දස්කම් දැක්වීමට හැකි වීමත් විශාල වාසියක්.” දුලිප් තමාගේ කලින් කණ්ඩායම හා වත්මන් කණ්ඩායම් හමුවීම දෙස සුබවාදීව බලන්නේ ඒ අයුරෙනි.

 

Comments