දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව විස්සයි 20 ත් ශ්‍රී ලංකාව ජයගනී ද? | Page 2 | සිළුමිණ

දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව විස්සයි 20 ත් ශ්‍රී ලංකාව ජයගනී ද?

'අද හා අඟහරුවාදා දකුණු අප්‍රිකාව සමඟ ශ්‍රී ලංකාව සහභාගි වන විස්සයි විස්ස තරගාවලියේ තීරණාත්මක තරග දෙක පැවැත්වේ. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තේරීම් තරගවලට පෙර ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් විස්සයි විස්ස තරග දෙක වන්නේ ද මෙය ය. මෙම තරගාවලියෙන් අනතුරු ව නැමීබියාව, නෙදර්ලන්තය සහ අයර්ලන්තය යන රටවල් සමඟ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ පළමු වටයේ තරග තුනක් වෙනුවෙන් අබුඩාබිහි දී තරග වැදීමට ශ්‍රී ලංකාවට සිදුව ඇති හෙයින් මෙම තරගාවලිය ඉතා වැදගත් තරගාවලියකි.'

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පසුගියදා අවසන් වුණු එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය. දඟ පන්දුයවන්නන්ට වඩා හිතකර ආකාරයට හැසිරුණු තණතීරු මත යෞවන දඟ පන්දු යවන්නන් හා බහුතරයක් වන යොවුන් පිතිකරුවෝ ශ්‍රී ලංකාවේ නවතම නායකයා හා එක්ව සංචාරකයන් දණගැස්වූ හ.

පළමු තරගය ජයලබා දෙවැනි එක්දින තරගය පරාජය වුවද තෙවැනි තරගයේ දී යළිත් දඟ පන්දුයවන්නගේ සහය සහිතව නැගිසිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවූයේ ය. එය අවසන් වරට 2019/20 තරගවාරයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජයට පත්කිරීමෙන් අනතුරුව ලැබූ තරගාවලි ජයග්‍රහණයක් වීම වඩා සුවිශේෂී වේ.

මෙම ජයග්‍රහණයේ මානසිකත්වය සමඟ ඔවුහු පන්දුවාර විස්සයි විස්ස තරගාවලියට මේ වනවිට සහභාගිවෙමින් සිටී. ඉන්දීය කණ්ඩායම සමඟ පැවැති විස්සයි විස්ස තරගාවලිය ජයග්‍රාහීව අවසන් කළ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව සමඟ විස්සයි විස්ස තරගාවලියට දැන් මුහුණ දෙමින් සිටී. එය ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් වඩාත් විශේෂ තරගාවලියකැයි කිව යුතු ය. ඒ ඔක්තෝබර් මස ආරම්භ වීමට නියමිත ව ඇති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර ප්‍රබල තරගකරුවකු සමඟ වන පෙරහුරු තරගාවලියක් වශයෙනි.

මේ වන විට ජගත් ශ්‍රේණිගත කිරීම්වලට අනුව විස්සයි විස්ස පිටියේ දකුණු අප්‍රිකාව ඇත්තේ පස් වැනි ස්ථානයේ ය. එහි ශ්‍රී ලංකාවට හිමි ව ඇත්තේ නව වැනි ස්ථානයයි. මේ අතර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් හි පන්දු යවන්නන් අතර අංක එක ස්ථානයෙහි රැඳී ඇත්තේ දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන්නා වන තබ්‍රයිස් ෂම්සි ය. එහි දෙවැනි ස්ථානය වනිඳු හසරංගට හිමි ව තිබීම නිසා දෙදෙනා අතර පන්දු යවන්නන් අතර මුල් තැන දිනා ගැනීමට ඇත්තේ ද්වන්ධ සටනකැයි කිව හැකි ය.

දෙරට අතර පැවැති එක්දින තරගාවලියට ක්‍රීඩා නොකළ ක්වින්ටන් ඩි කොක් විස්සයි විස්ස තරගාවලියේ දී දකුණු අප්‍රිකා පිල නියෝජනය කිරීම ඔවුන්ගේ කණ්ඩායමට අතිරේක ශක්තියක් එක් කර ඇත. මේ වන විට ඔහු විස්සයි විස්ස පිතිකරු ශ්‍රේණගත කිරීම්හි 12 වැනි ස්ථානය දිනා ගෙන ඇත. ඔවුන්ගේ තවත් ප්‍රබල පිතිකරුවකු වන රසි වාන් ඩර් ඩුසේන් පසුවන්නේ දස වැනි තැන ය. ඩුසේන් ශ්‍රී ලංකාව සමඟ පළමු එක්දින තරගයේ දී ලකුණු 59 ක් රැස් කළේ ය.

“දඟ පන්දු යවන්නන්ට මෙම තරගාවලියේ දී වැඩි වශයෙන් කඩුලු ලබාගත හැකියි. අපට මෙය ජය ගැනීමට පුළුවන් වේවි. වනිඳු, අකිල, මහේෂ් තීක්ෂණ, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම වැනි දඟ පන්දු යවන්නන් අප සතුව සිටින නිසා.” නායක දසුන් ශානක එසේ පවසා තිබුණේ එක්දින තරගාවලියට පෙර දී ය.

එහෙත් එක්දින තරගාවලියේ දී මෙරට පන්දු යවන්නන්ට හිසරදයක් වූ ඒඩ්න් මාක්‍රම්, හෙන්රිච් ක්ලාසන්, රිෂා හෙන්ද්‍රික්ස් වැනි පිතිකරුවන් ද ඔවුන්ගේ විස්සයි විස්ස කණ්ඩායමේ සිටීම අමතක කළ යුතු නොවේ. ආරම්භක පිතිකරු ඒඩ්න් මාක්‍රම් පළමු එක්දින තරගයේ දී වඩාත් කැපී පෙනුණු ක්‍රීඩකයා ය.

ශ්‍රී ලංකාව ලැබූ ලකුණු 300 හඹා යෑමේ දී ඔහු මැනවින් පිත්ත හසුරුවමින් ලබා ගත් ලකුණු ගණන 96 කි. ජයග්‍රහණයක් අභියස සිටි ඔවුන්ගෙන් එම ජයග්‍රහණය උදුරා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වූවේ අවසන් පන්දු වාර කිහිපය ඉතා දක්ෂ අන්දමින් කළමනාකරණය කළ නිසා ය.

දකුණු අප්‍රිකා නායක ටෙම්බා බවුමා පළමු එක්දින තරගයේ දී ආබාධයට ලක්වීම මත කේෂව මහරාජ් කණ්ඩායම මෙහෙයවී ය.

මේ අනුව විස්සයි විස්ස තරගාවලිය වන විට ඔවුන් මෙරට තත්ත්වයට මැනවින් හැඩගැසීමේ අවස්ථාව පවතින බව පිළිගත යුතු වේ.

”දකුණු අප්‍රිකා පිල සතුව රබාඩා හා නොර්ජේ වැනි ශක්තිමත් වේග පන්දු යවන්නන් සිටියත් අපි හිතන්නේ අපේ තණතීරුවල මන්දගාමී ස්වභාවය ඔවුනට එතරම් යෝග්‍ය නොවේවි කියායි.” නායක ශානක එක්දින තරගාවලියට පෙර පවසා තිබූ අයුරෙන් ම රබාඩා හා නොර්ජේගෙන් ප්‍රබල තර්ජනයක් එල්ල නොවිණි.

නමුත් රබාඩා දෙරට අතර මෙවර පැවැති දෙවැනි එක්දින තරගයේ දී ඉතා ඉක්මනින්ම වෘත්තීය තලයට ළඟා වූයේ යැයි කිවයුතු ය. ඒ එම තරගයේ දී පළමු තරගයේ දී ලකුණු 118 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය සහතික කළ අවිශ්ක ප්‍රනාන්දු ඉක්මනින් දවා ගැනීම හා භානුක රාජපක්ෂ එකම ලකුණක් හෝ ලබා ගැනීමට පෙර දවාලමිනි.

ඔහුට අමතර ව තබ්‍රයිස් ෂම්සි දෙවැනි තරගයේ දී 49/05 ලෙස සුපිරි පන්දු යැවිමක් සටහන් කළේ මෙරට පන්දු යවන්නන් හට වඩා ඉදිරියෙන් සිටිමිනි. එබැවින් මෙම පන්දු යවන්නන් දෙදෙනා මෙන් ම කේෂව මහරාජ් ගැන ද විස්සයි විස්ස තරගාවලියේ දී ශ්‍රී ලංකාව අවධානය යොමු කිරීම වටී.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ වඩාත් ස්ථාවර පිතිකරුවා ලෙස අවිවාදයෙන්ම නම් කළ හැක්කේ චරිත් අසලංක ය. පළමු එක්දින තරගයේදී 72 හා දෙවැනි එක්දින තරගයේ දී 77 ක් වශයෙන් ලකුණු ලබමින් සුපිරි පිතිහරඹයක යෙදුණු ඔහු තම රිද්මය දිගටම රැක ගැනීමට සමත් වුවහොත් එය ශ්‍රී ලංකා පිලට මහත් වාසිදායක වනු ඇත. ඔහුට අමතර ව දෙවැනි තරගයේ දී ලකුණු 30 ක් ලබා ගනිමින් නායක දසුන් ශානක මෙන් ම වේගවත් ලකුණු 36 ක් ලබමින් චාමික කරුණාරත්න ලකුණු අතරට පැමිණීම ද විස්සයි විස්ස තරගාවලියට හොඳ පෙරහුරුවකි.

“අපට පළමු පන්දු වාර 10 තුළ කඩුලු නොදී සිටීමට හැකි වුණොත් ඒක ලොකු වාසියක්” පළමු එක්දින තරගයට පෙර නායක ශානක පවසා තිබූ ලෙස ම එම තරගයේ දී අවිශ්ක හා මිනෝද් එය ක්‍රියාත්මක කිරීමට සමත් වූහ. එහෙයින් එවැනි ආරම්භයක් විස්සයි විස්ස තරගාවලියේ දී අපේක්ෂා කළ යුතු ය.

“අපි හොඳ ආරම්භයක් ලබා ගත්තත් රිෂා (හෙන්ද්‍රික්ස්) හා (මලන්) ජනේමන් අතර වූ සම්බන්ධතාව දෙවැනි තරගය අපේ අතින් ඉවතට රැගෙන ගියා.” නායක දසුන් ශානක පැවසුවේ දෙවැනි එක්දින තරගයෙන් අනතුරුව ය. මෙහිදී මලන් ජනේමන් ලකුණු 121 ක් ද , රිෂා හෙන්ද්‍රික්ස් ලකුණු 51 ද ලැබූ අතර දෙවැනි කඩුල්ල සඳහා ඔවුන් දෙදෙනා අතර වූ ලකුණු 96 ක සම්බන්ධතාවය ද මෙහිදී කැපී පෙනිණි.

”අපේ පන්දු රැකීම හොඳ තත්ත්වයක තිබුණේ නෑ. පන්දු යැවීම ගැනත් සතුටු විය නොහැකියි.”දෙවැනි තරගය පරාජයෙන් පසු ශ්‍රී ලංකා නායකයා පවසා තිබිණි. මේ නිසා විස්සයි විස්ස තරගාවලියේ දී මේ සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතුව ඇත.

 

 
 

Comments