ඩෝසරයට යටවෙන මිහින්තලේ උරුම | සිළුමිණ

ඩෝසරයට යටවෙන මිහින්තලේ උරුම

සර සිය දහස් ගණනක අතීත ශ්‍රී විභූතිය මනාවට ඔප්පු කරනු ලබන්නේ අතීත මුතුන් මිත්තන් විසින් කළ කී දෑ අනුව බව නොරහසකි. කාලයෙන් කාලයට විවිධ මිනිස් ක්‍රියාකාරකම් හා පාරිසරික හේතු මත අතීත රජවරුන් කළ කී දෑ හා තැනූ දාගැබ් වෙහෙර විහාර තොරතුරු අහිමි විය. එදා මෙන්ම වර්තමානයේද කෙතරම් තාක්ෂණික දියුණු මට්ටමක ජීවත් වුව ද පුරා විද්‍යා මංකොල්ලය සංහාරයක් බවට පත් වී තිබේ. අතීතයේදී කළ කී දෑ වටිනා ස්ථාන, වටිනා තොරතුරු දිනෙන් දින අහිමි වෙමින් පවතී. මේ තත්ත්වය උපයෝගී කරගනිමින් ඇතැම් පුද්ගලයන් විසින් පුරා විද්‍යා සාධක සහිත භූමි වැඩි මුදලකට මිලදී ගනිමින් නව ඉදිකිරීම් සිදු කරති. රක්ෂිත තුළ හා රජයට අයත් වටිනාකම් සහිත භූමිවල බලහත්කාරයෙන් ඉදිකිරීම් කිහිපයක් මිහින්තලේ ප්‍රදේශයෙන් වාර්තා වෙන්නේ මේ පසුබිමේය.

පුරාවිද්‍යාත්මක සාක්ෂි සටහන් මිහින්තලේ භූමියක් යම් කිසි පුද්ගලයකු විසින් ඩෝසරයක් උපයෝගී කරගනිමින් සම්පූර්ණයෙන් පසුගියදා ඩෝසර් කර ඉදිකිරීම් සිදු කිරීමක් කර තිබේ. ප්‍රදේශවාසීන් විසින් කියා සිටියේ ඩෝසර් කර ලහිලහියේ ඉදිකිරීම් සිදු කරන භූමියේ වටිනාකම පිළිබඳව මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්වරයා, මිහින්තලේ පුරාවිද්‍යා කලාපයේ ලේකම්වරයා, මිහින්තලේ පුරාවිද්‍යා කලාපයේ ස්ථානභාර නිලධාරියා හා මිහින්තලේ පොලිසිය වෙත හදිසි ඇමතුම් සේවා මගින් කිහිප අවස්ථාවකදී දැනුම් දීම් සිදු කළ බවකි. එහෙත් මේ මොහොත තෙක් ඒ සඳහා සොයා බැලීමක් සිදු කිරීමට කිසිදු බලධාරියෙක් උත්සාහ නොගත් බවට ප්‍රදේශවාසීහු අදාළ බලධාරින්ට චෝදනා කරති.

මේ ඉදිකිරීම සිදුවන්නේ මිහින්තලේ පොසොන් මාවතට අයත් අනුරාධපුර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයට යාබදව ඔරලෝසු කණුව ආසන්නයේය. ඩෝසරයක් මඟින් මෙම පුරාවිද්‍යා සාධක සහිත භූමිය ගොඩකර ඇත. රජ මාලිගාවක නටඹුන්, පොකුණක් හා පොකුණකට බැසීමට ගල් පඩි පෙළක් එහි මනාව දිස් වූ බව ප්‍රදේශවාසීහු පවසති.

ප්‍රදේශවාසීන් විසින් සංරක්ෂිත භූමියේ ඉදිකිරීම් පටන් ගත් අවස්ථාවේදීම මිහින්තලේ පුරාවිද්‍යා කාර්යාලය වෙත දැනුම්දීම් කිහිපයක් සිදු කළ ද එහි නිලධාරියකු කිසිදු සොයා බැලීමකින් තොරව මෙය අපට අයිති භූමියක් නොවන බව කියා තිබේ.

පෙර කී ස්ථානය මෙන්ම තවත් පුරා විද්‍යා සාධක සහිත ස්ථානයක් ද බ්ලොක්ගල් වැඩ පලක් හේතුවෙන් දිනෙන් දින විනාශ වෙමින් පවතින බවට තොරතුරු අනාවරණය වෙයි. මෙයද පිහිටා තිබෙන්නේ අනුරාධපුර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ ආසන්නයේ පිහිටි නුවරවැව රක්ෂිතය හා අනෙක් පසින් පිහිටි තොලුවිල පුරාවිද්‍යාවට අයත් භූමියක් ආවරණය වන පරිදිය.

තොලුවිල රක්ෂිතයේ පිහිටා ඇති සිරිධම්මින්ද බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිකාරි ගල්කඩපතානේ සිරිධම්ම නාහිමිපාණන් වහන්සේ ප්‍රකාශ කර සිටියේ වසර සියයකට වඩා ඉපැරණි මෙම විහාරස්ථානයේ ඉදිරි පැවැත්මට මෙය බාධාවක් බවය. මෙම රක්ෂිතයට අයත් පුරාවිද්‍යා සාධක සහිත භූමියේ 2018 දී බ්ලොක් ගල් වැඩ පලක් ආරම්භ කරනු ලැබුවේ එහි අයිතිකරු විසින් මෙම ඉඩම මිලදී ගත් පවසමින්ය. මැෂින් එකක් භාවිත කරමින් ඉතා සුළුවෙන් ආරම්භ කරන ලද මෙම බ්ලොක් ගල් වැඩපළ වර්තමානය වන විට මැෂින් 5ක් පමණ යොදා ගනිමින් මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වෙයි. ඉදිකිරීම් හා බ්ලොක් ගල් තැන්පත් කිරීම සඳහා මෙම ව්‍යාපාරිකයා විසින් දිනෙන් දින මෙම තොලුගල රක්ෂිතයට දැඩි හානි කරමින් සිටියි. 1914 වර්ෂයේ ආරම්භ කළ මෙම විහාරස්ථානයට ආගමික කටයුතු කිරීමට නොහැකි පරිදි කටයුතු කරන බවද වාර්තා වෙයි. ගල්වැඩපළේ ආසන්නයේ පිහිටා ඇති ස්ථානයේ හඳුනා නොගත් චෛත්‍යයක නටබුන් මනාවට පෙන්නුම් කරන අතර එහි ඉපැරණි භාවය හේතුවෙන් මේ වනවිට පේසා වළලු පමණක් දක්නට ඇති බව ගවේෂණයේදී හඳුනා ගන්නට ලැබිණි.

මේ සිදුවන පරිසර හානිය පිළිබඳව මධ්‍යම පරිසර ඒකකය මෙන්ම අනුරාධපුර නාගරික කොමසාරිස්වරයා හා අනුරාධපුර පොලිසියේ පරිසර පොලිස් ඒකකය වෙත කිහිප අවස්ථාවකදීම ලිඛිතව දැනුම් දීම් කළ ද, මේ වන තෙක් කිසිදු සාධාරණයක් ඉටු කිරීම මෙතෙක් සිදු වී නොමැති බව ගල්කඩපතානේ සිරිධම්ම ස්වාමින් වහන්සේ ප්‍රකාශ කර සිටිති.

අපේ අවධානය ඊළඟට යොමු වූයේ මීට කලකට ඉහතදී ලංකාව පුරා කළ ඉදිකිරීම් සඳහා බොරලු සපයාගත් බොරලු භූමිය වෙතය. 1992 වර්ෂයේ ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ ගම් උදාව සංකල්පය සමඟ කළ ඉදිකිරීම් සඳහා බොරලු ලබා ගත්තේ මෙම භූමියෙනි. මෙහි අක්කර 60කට ආසන්න භූමි ප්‍රමාණයකි.

ලාංකීය ඉතිහාසයේ හොඳම ප්‍රමිතියේ බොරලු ලබාගත් භූමිය මේ වන විට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි පාරිසරික ගැටලු වලට ලක් වෙමින් පවතී. තාවකාලිකව විවිධ පරිසර හේතු නිසා බොරලු කැපීම නවතා දැමීමත් සමඟ මෙය කටු පදුරු සහිත ලඳු කැලෑවක් බවට පත් වූයේය. තත්ත්වය මෙසේ හෙයින් ඇතැම් පුද්ගලයන් විසින් බොරලු භූමියට අයත් භූමියේ කොටස් එළි පෙහෙළි කරමින් රාත්‍රී කාලයේදී ස්ථීර ගොඩනැගිලි ඉදිකරමින් පදිංචි වීම හේතුවෙන් මේ භූමිය දිනෙන් දින මිනිස් ග්‍රහණයට ලක්වෙමින් පවතී. බලහත්කාරයෙන් රජයට අයත් මෙම ඉඩම තමන්ගේ භුක්තිය සඳහා යොදා ගනිමින් සිටින්නේ රජයේ සේවකයන් වීම විශේෂත්වයකි.

පසුගිය දිනක පුද්ගලයන් 16 දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායමකින් යුතුව මෙම බොරලු සහිත ඉඩම කැලෑව කපා එළිපෙහෙළි කිරීමට උත්සාහ කිරීමේදී මිහින්තලේ පොලිසිය වෙත දැනුම් දීමකින් පසුව පොලිස් නිලධාරින් පැමිණීමෙන් එම පිරිස පලා ගොස් ඇත.

බොරලු ඉඩම රජය සතු ඉඩමක් බැවින් එම ප්‍රදේශයේ දරුවන් සඳහා ක්‍රීඩා පිට්ටනියක් ඉදිකර ගැනීම සඳහා රජය විසින් කලකට ඉහතදී අක්කරයක භුමි ප්‍රමාණයක ලබා දීමට කටයුතු කිරීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක් බවට පත් වූයේය. පවතින කොවිඩ් 19 හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් මෙම ක්‍රීඩා පිටිය භාවිත නොකිරීමත් සමඟ මිහින්තලේ පොලිසියේ සේවය කරන පුද්ගලයකු එම ක්‍රීඩා පිටියෙන් කොටසක් ආවරණය කර ගෙන නිවසක් සාදා පදිංචිව ඇත. රජයේ ඉඩමක අයිතිය සතු වගකීම පැවරී තිබෙන්නේ අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත වුවද දිනෙන් දින සිදුවන මෙම ඉදිකිරීම් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නවතා දැමීම සඳහා කිසිදු පියවරක් ගැනීමට අපොහොසත් වීම ප්‍රදේශවාසීහු මහත් අපහසුතාවට පත් වෙමින් සිටිති.

සියලු රාජ්‍ය අංශ අඩපණ වී ඇති අවස්ථාවක මුදල් බලය දේශපාලන ආශිර්වාදයක් කරගනිමින් ඇතැම් පුද්ගලයන් මෙලෙස පරිසරයට හානිදායක අන්දමින් ක්‍රියා කිරීම ඉතා කණගාටුදායක තත්ත්වයක් බවත්; ඉස්මතු වී ඇති මේ සියලු කාරණා නීත්‍යානුකූලව සොයා බලා මේ සියල්ලට සාධාරණයක් ඉටු කිරීමට පියවර ගත යුතු බවත් ගම්වාසීහු කියති.

ප්‍රාදේශීය ලේකම්වරයා හා ප්‍රාදේශීය පුරාවිද්‍යා කලාප ස්ථානාධිපති වරයා වෙත සෘජුව සිදු කෙරෙන චෝදනා ගැන සලකා බලමින් ඔවුන් විසින් කරන චෝදනාහි සත්‍ය අසත්‍ය බව සෙවිය යුතුව තිබේ. ප්‍රදේශවාසීන් විසින් ලිඛිත ව හෝ වාචික ව දැනුම් දීමකින් අනතුරුව ද තම රාජකාරිය මෙලෙස අමු අමුවේ පැහැර හැරීම ද ගැටලුවකි. රටේ පවතින තත්වය අනුව හමුවීමට නොහැකි බැවින් දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරීමේදී මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් සිරිමෙවන් ධර්මසේන ප්‍රකාශ කර සිටියේ, සිළුමිණ පුවත්පත විසින් තමන්ගෙන් මෙවැනි ප්‍රශ්නයක් අසනතුරුත් සත්‍ය වශයෙන්ම මෙවැන්නක් ගැන තමන් නොදැන සිටි බව ය. මෙැවැනි පුරා විද්‍යා සාධක සිහිත භූමියක් පිළිබඳව තමන් නොදැන සිටි බවත් ලිඛිතව හෝ වාචිකව දැනුවත් නොවූ බවත් ඔහු ප්‍රකාශ කළේය. ප්‍රාදේශීය ලේකම්වරයා පවසන්නේ මෙය පදනම් විරහිත චෝදනාවක් බවත් පුරා විද්‍යා සාධක සහිත භූමිය පිළිබඳවත් බොරළු භූමියේ අනවසර පදිංචිය පිළිබඳවත් මෙතෙක් තමා නොදැන සිටි බවය. මෙම කරුණු දෙක සම්බන්ධව කිසිදු අවස්ථාවක කිසිදු තොරතුරක් තමා වෙත නොලැබුණ බව ඔහු අවධාරණය කරයි. මෙම කරුණු දෙක සම්බන්ධව හැකි ඉක්මණින් අදාළ ග්‍රාම නිලධාරියා දැනුවත් කර වහාම ක්‍රියාත්මක වන අයුරින් වැඩපිළිවෙලක් යොදවන බව ප්‍රාදේශීය ලේකම් අප සමඟ පැවසීය.

මිහින්තලේ පුරා විද්‍යා කලාප කාර්යාලයේ ස්ථානභාර නිලධාරියා වෙත පුරා විද්‍යා සාධක සහිත භූමිය ගැන ප්‍රදේශවාසීන් දැනුම්වත් කිරීමේදී කියා සිට ඇත්තේ මෙය පුද්ගලික ඉඩමක් බවත් එවැනි සාධක නොමැති බවත් කෙසේවත් පුරාවිද්‍යාවට අයිති නොවන ඉඩමක් බවත්ය. කරුණු එසේ වුවද මෙම භූමිය පුරාවිද්‍යාවට අයත්, පුරාවිද්‍යා සාධක ඇති බැවින් පෙර සිටි නිලධාරින් මෙම කිසිදු ඉදිකිරිමක් නොකර රැක ගන්නා උත්සාහ දැරූ බව ලිපි ලේඛනවල සඳහන් වේ. මෙම නිලධාරියා විසින් ප්‍රදේශවාසීන්ගේ දැනුම්වත් කිරීම හා ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

මේ අනුව සැකහැර දැනගැනීම උදෙසා අනුරාධපුර පුරා විද්‍යා සහකාර අධ්‍යක්ෂක පාලිත වීරසිංහ අප කතා කළ විට පවසා සිටියේ වහාම ක්‍රියාත්මක වන පරිදි මිහින්තලේ පුරාවිද්‍යා කලාප කාර්යාලයේ ස්ථානාධිපති වරයා දැනුම්වත් කර පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඉදිකිරීම් වහා නතර කිරීම සඳහා පියවර ගන්නා බවයි.

මිහින්තලේ පුරාවිද්‍යා ස්ථානභාර නිලධාරි මංජුල රස්නායක වෙත දුරකථනයෙන් විමසීමක් කිරීමේදී ඔහු කියා සිටියේ සහකාර කොමසාරිස් වරයා විසින් තමන් දැනුම්වත් කළ බවත් ඒ අනුව ඉදිකිරීම් සිදු කරන ස්ථානයට තම නිලධාරින් සමඟ පැමිණ සොයා බලා මිහින්තලේ පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්ය. කළ හැකි සියලුම නීති ක්‍රියාත්මක කරමින් භූමිය වෙත සාධාරණයක් ඉටු කිරීමට ක්‍රියාත්මක වන බව ඔහු පැවසීය. මෙහිදී ප්‍රදේශයේ ජනතාව විසින් ඉදිකිරීම සම්බන්ධව ඔහු දැනුම්වත් කිරිමේදී ප්‍රකාශ කර ඇත්තේ මෙම භූමිය මට අදාළ නොවන බවකි. මේ අවස්ථාවේ පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කරන්නේ කුමන පදනමකින් දැයි මංජුලගෙන් විමසා සිටියදී ඔහු පවසා සිටියේ මේ සම්බන්ධව මේ වෙන තෙක් කිසිදු අයකු දැනුම්වත් නොකළ බවයි.

එහෙත් ප්‍රදේශවාසීන් මෙම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන අතර දුරකථන මාර්ගය හරහා කිහිපවිටක් දැනුම්වත් කර තිබේ. එහෙත් ඔහු තරයේ ප්‍රකාශ කර සිටියේ මෙම භූමියට පුරා විද්‍යාවට අයත් නොවන්නක් බවයි. ප්‍රදේශවාසීන් පවසා සිටින්නේ මීට පෙර පුරාවිද්‍යා කාර්යාලයේ හිටපු ස්ථානාධිපතිවරුන් මෙම භූමිය ආරක්ෂා කරගැනීම සඳහා මහත් වෙර වෑයමක් දැරූ බවයි. එම කාලය තුළ ප්‍රාදේශීය ලේකම්වරයාද සිටි බවත්, ඒ සඳහා යම්තාක් දුරට සත්‍ය වූ බවත් ඔවුහු පවසා සිටිති. බොරලු වළේ අනවසර ඉදිකිරිම් සම්බන්ධව දැනුම් දීම සිදුකළ ද ඔහු අද පවසන්නේ මේ සියල්ල කිසිත් නොදන්නා බවකි. මෙවැනි සිදුවීම් ප්‍රාදේශීය ලේකම්වරයා නොදැන සිටීම මහත් ගැටලුවක් බව ප්‍රදේශවාසීහු පවසති.

සිරිධම්මින්ද බෞද්ධ මධ්‍යස්ථානයේ ආගමික කටයුතු වලට අපහසුවන අන්දමින් යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකරවීමේදී ඇතිවන පාරිසරික ගැටලු සඳහා සිදු කරන පිළියම කුමක්දැයි ඇසීමට දුරකථනයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරියකු සම්බන්ධ කරගැනීමට උත්සාහ කළත් සාර්ථක වූයේ නැත.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කීර්තිමත් මහාචාර්යවරයකු වන අනුර මනතුංග වැනි නිලධාරියකු පත් වී සිටියදී පවා මෙවැනි අකටයුතුකම් තවදුරටත් සිදුවීම ගැන ප්‍රදේශවාසීහු දැඩි කනස්සල්ලටත් පත් වී සිටති.


ප්‍රියදර්ශනි කරුණාරත්න, 
මිහින්තලේ සමූහ

Comments