කරඬුව වඩම්මන ඇතුන් සරසන කලා ශිල්පියෝ | සිළුමිණ

කරඬුව වඩම්මන ඇතුන් සරසන කලා ශිල්පියෝ

ශ්‍රී දළදා සමිඳුන්ට හා සතර මහ දෙවිවරුන්ට පූජෝපහාරයක් ලෙස වාර්ෂිකව පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහර හෙළයේ විචිත්‍රවත් මහා කලා මංගල්‍යය බවට පත්ව තිබෙන්නේ එය නෙත් සිත් පිනවන බොහෝ අංගයන්ගෙන් හැඩගැන්වී තිබෙන නිසාය. උඩරට පාරම්පරික කලා ශිල්පීන්ගේ කුසලතා එළිදැක්වෙන තෝතැන්නක් බවට එක් පැත්තකින් එය පත්වෙත්දී අනෙක් පසින් අලංකාර වූ වස්ත්‍රාභරණ වලින් සැරසුණු අලි ඇතුන් ඊට එක් කරන්නේ අපූර්වත්වයකි. කලාකරුවන්ගේ කුසලතා දැක සිත් පිනා යන දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සිත් පහන් වන්නේ විරාජමානව මංගල හස්ති රාජයා දෑලේ ඇතුන් ඇතුන් සමඟ සධාතුක කරඬුව වැඩම කරත්දීය.

 

උඩුවියන් සහිතව මංගල හස්තිරාජයා පාවඩ මතින් ඉදිරියට පා තබද්දී පෙරහර නරඹන බැතිමතුන්ගේ සාධු නදින් මුළු මහනුවර නෑවී ගිය වාර අනන්තය. නර්තන ශිල්පීන් මංගල හස්තිරාජයාගේ ගමනට අනුව ගජගා වන්නමට අනුව රැඟුම් දක්වද්දී ගැයුම් හා වැයුම් ඉදිරිපත් කෙරෙන්නේද බොදු බැතිය ඔප් නැන්වෙන අයුරිනි. මේ සියල්ලෙන් පෙනී යන්නේ පෙරහර සම්පූර්ණයෙන්ම කේන්ද්‍රගතව පවතින්නේ සාධාතුක කරඬුව වටා බවයි. මේ නිසාම සධාතුක කරඬුව වඩම්මන මංගල හස්තිරාජායා අන් සියල්ලට වඩා කැපී පෙනෙන ලෙස හැඩ ගැන්වීම රජ දවස පටන් එන චාරිත්‍රයකි. මෙය සියවස් ගණනාවක් තිස්සේ ඉටු කරනු ලබන්නේ ඇහැලමල්පේ පරපුර විසිනි. ඇහැලමල්පේ මුදියන්සේලාගේ ජයතිස්ස බණ්ඩාර දැන් වසර 48 ක පමණ කාලයක් තිස්සේ සධාතුක කරඬුව වැඩමවන මංගල හස්තිරාජයා සැරසීමේ භාග්‍යය ලද එම පරපුරේ වත්මන් සාමාජිකයායි.

රාජ නියමයෙන් පරම්පරාවට උරුම වූ රාජකාරිය ජයතිස්ස බණ්ඩාරට හිමිව තිබෙන්නේ 1974 වසරේය. ඒ එතෙක් එම රාජකාරී කළ ඔහුගේ පියාණන් වූ එම්. පී. ඇහැලමල්පේගේ අභාවයෙන් පසුය. ඒවන විට 18 වැනි වියේ පසුවූ ජයතිස්ස බණ්ඩාර එම අභියෝගය දෝතින්ම බාරගත්තේ එය පරපුරේ උරුමය වූ නිසාය.

‘තාත්තා එක්ක ඇතා පෙරහරට අන්දලා මට පළපුරුද්ද තිබ්බා. මේක අපේ පරම්පරාවේ උරුමයක් නිසා ඊළඟට රාජකාරිය බාර ගන්න ඉන්න කෙනාට ඇතා අන්දන්න පුහුණු කරනවා. මගේ පුතා අනුෂ්ක බණ්ඩාර ඇහැලමල්පේ දැන් මාත් එක්ක ඇතා අන්දන්න එකතු වෙනවා. දළදා පෙරහරට අමතරව මාලිගාවේ වෙසක්, පොසොන් හා කාර්තික මංගල්‍යයට තියෙන පෙරහර වලදිත් මංගල හස්තිරාජයා සරසලා රන්සිවිගේ ඇතාගේ පිටේ බඳින්නේ මම.පෙරහර කරඬුව වැඩම වන ඇතා අනිත් හැම ඇතාටම වඩා ලස්සනට ඉන්න ඕන. ඒ නිසා ඇතාට අන්දන්නේ ඉස්තරම්ම ඇඳුමක්. ඇඳුම අන්දනවාටත් වඩා වැදගත්ම දේ රන්සිවිගේ හොඳ පට්ටලේට ඇතාගේ පිටේ බඳින එක. රන්සිවිගේ තියන්න කලින් ඇතාගේ පිටේ මෙට්ටයක් තියලා ඒක උඩ වත පුටුව බඳිනවා.වත පුටුව හම්පටි වලින් තද කරලා ඇතාගේ පිටේ සමබර කරන එක හැමෝටම කරන්න බැහැ. ඇත් හැට්ටය දාලා තමයි රන්සිවිගේ තියන්නේ. ඒක ඇතුළේ විශේෂ ආසනයක තමයි සධාතුක කරඬුව තැනපත් කරන්නේ‘

ජයතිස්ස බණ්ඩාර ඇහැලමල්පේ තමන්ගේ රාජකාරිය තරම විස්තර කළේ එසේය.

සධාතුක කරඬුව වැඩමවත්දී වඩම් තල් අතු ඇල්ලීම

දළදා පෙරහරේ අඩසියවසක් අඛණ්ඩව සධාතුක කරඬුව වැඩම වූ රාජා බෞද්ධ ජනතාවගේ අප්‍රමාණ ගෞරවයට පාත්‍ර වූ ඇතෙකි. එවන් භාග්‍යයක් ලද හස්තිරාජයකු පිළිබඳව දළදා පෙරහර ඉතිහාසය තුළම අසන්නට නොලැබෙයි. වර්ෂ 1974 දී රාජා පෙරහරට සරසමින් සධාතුක කරඬුව වැඩම වන මංගල හස්තිරාජයා සැරසීමේ කාර්ය බාර ගත් ජයතිස්ස බණ්ඩාර ඇහැලමල්පේගේ අතින් එදා සිට මේ දක්වා බොහෝ ඇතුන් හැඩගැන්වී ඇත.

‘රාජා ඇතාගෙන් පටන් ගත්තම කන්දා, ජයරාජා,රත්නපුර සමන් දේවාලයේ ඇතා, ගංගාරාමේ දළ පූට්ටුවා, මිල්ලන්ගොඩ ලොකු ඇතා, මිල්ලන්ගොඩ පොඩි ඇතා, ඉන්දි රාජා, සිංහ රාජා, තායි රාජා, මිගාර, ඒක දන්තයා, කතරගම වාසනා, නැඳුන්ගමුවේ රාජා කියන ඇතුන්ව මම සරසලා රන්සිවිගේ තැනපත් කරලා තිබෙනවා. සමහර ඇත්තු මේ වෙනකොට මෙලොව හැර ගිහිල්ලා‘

ඇහැලමල්පේ පවසන්නේ හදවතේ නැඟෙන තරමක වේදනාවක්ද සමඟිනි.

‘නැකතට අනුව දළදා වහන්සේ වැඩ සිටින කුටියෙන් පෙරහර කරඬුව වැඩම කරනවා. ඒ වෙනකාට ඇතා සරසලා රන්සිවිගේ තැනපත් කරලා සියල්ල අවසන් කරලා තියෙන්න ඕන. දළදා මාලිගාවේ වාහල්කඩින් ඇතුළු වූ ගමන් දකුණු අත පැත්තට හැරෙන තැන තමයි ඇතා සරසන මණ්ඩපය තිබෙන්නේ. එතන්ට කරඬුව වැඩම කරවන ඇතා නාවලා තමයි ගේන්නේ. මට ඇතා සරසලා, වත පුටුව බැඳලා, රන්සිවිගේ තැන්පත් කරලා, ලයිට් සෙට් කරලා වැඩ ඔක්කොම ඉවර කරන්න පැය 1 1/2 ක් විතර යනවා. නැඳුන්ගමුවේ ඇතා ප්‍රමාණයෙන් විශාල නිසා එයාව සරසන්න පැය දෙකක් විතර යනවා. රන්සිවිගේ පිච්ච මල් වලින් සරසලා ඇත්දළ වලට පිච්ච මල් මාලා පලඳවන්නේත් මගේ අතින්. උඩමාලේ සිට නිලමේ තුමන් අතින් වැඩම කරන කරඬුව රන්සිවිගේ තිබෙන ආසනයේ තැන්පත් කරන්නේ කාරියකරවන කෝරාල විසිනුයි. කරඬුව වැඩම කරන ඇතා දළදා මාලිගාවේ ප්‍රධාන වාහල් කඩින් ගමන් ආරම්භ කරලා යළි එම ස්ථානයට එනකල්ම මම ඇතා

ජයතිස්ස ඇහැලමල්පේ ඇතා සරසන අයුරු

එක්ක හැමදාම පෙරහරේ යනවා. පෙරහරේ යනකොට අලියා කුලප්පු වෙන්න පුළුවන්. කරඬුව ආරක්ෂා කිරීමේ වගකීම මටත් පැවරෙනවා. සමහර අලි ටික දුරක් ගිහින් ඇඟේ හිරි අරිනවා. එතකොට රන්සිවිගේ පැත්තකට ඇල වෙනවා. එහෙම වුණාම කැතයි‘

ඔහු පවසන්නේ තම රාජකාරියේ ඇති වගකීම් සමුදාය පැහැදිලි කරමිනි.

සධාතුක කරඬුව වැඩම කරන මංගල හස්ති රාජයා හැඩ ගැන්වීමට අමතරව වැඩ සිටින මාලිගාවේ සිට පෙරහර කරඬුව පිටතට වැඩම කරන අවස්ථාවේ වඩම් තල්අතු ඇල්ලීම, රන්දෝලි පෙරහරේ දෑල ඇතුන් මත සිට කරඬුවට චාමර සැලීම යන කාර්යයන් ඇතුළත් වන්නේද ඇහැලමල්පේ පරම්පරාවට අයත් රාජකාරියටමය.

‘සධාතුක කරඬුව වැඩම කරන ඇතා හොඳින් වැඩුණු ඉහ කර ඔසවා තේජසට ගමන් කරන කෙනෙක් වෙන්න ඕන. වම් දළය දකුණු දළයට වඩා ටිකක් ඉහළින් පිහිටලා තියෙනවා නම් ඒක මංගල සලකුණක්. පාද සමඟ හොඬය, වල්ගය හා ලිංගය පොළොවේ ස්පර්ශ වීමත් එවැනි සලකුණක්. මේ සලකුණු ඔක්කොම රාජාට තිබ්බා. රන් හා රිදී අලේප කරලා තියෙන රන්සිවිගේ කිලෝ 200 ක් විතර බරයි. වත පුටුවත් කිලෝ 50 ක් විතර බරයි. ඇඳුම් කට්ටලේ බරත් කිලෝ 50 ක් විතර වෙනවා. රන්සිවිගේ හා ඇතාගේ ඇඳුමේ දැල්වෙන බල්බ් වලට කරන්ට් එක දෙන්න ලොකු බැටරි 04 ක් යොදා ගන්නවා. ඒවත් කිලෝ 100 ක් විතර බරයි. මේ සියල්ල හොඳින් තැන්පත් කරන්න නම් කරඬුව වැඩම කරන ඇතාට හොඳ පැතලි පිටක් තියෙන්න ඕන. එහෙම වුණාම මට වැඩේ කරන්න පහසුයි. රාජා ඒ වගේ ඇතෙක්. දැන් ඉන්න ඇත්තුන් ගෙන් ඒ වගේ ඉන්නේ දළදා මාලිගාවේ ඉන්දි රාජායි. නැඳුන්ගමුවේ රාජා උස වැඩියි. කරඬුව බඳින්න ගොඩක් මහන්සි වෙන්න ඕන.

ඇතාගේ සිරුර ලොකු වැඩි නිසා පෙරහරේ යනකොට හොඳ හිරියක් ඇරියොත් රන්සිවිගේ ඇද වෙනවා. ඉන්දි රාජා මේ වැඩේට දැන් හොඳට පුරුදුයි. ඉස්සර රාජා පාවඩේ එළනකල් කරඬුව වඩමවා ගෙන ඉස්සරහට යන්නේ නැහැ. පාවඩේ එළන්න ප්‍රමාද වුණොත් ඇතා කකුළ උස්සගෙන ඉන්නවා. ඉන්දිරාජාත් ඒ වගේ. හරියටම පාවඩේ මතින් යනවා. ඉන්දි රාජා තමයි දැන් අවුරුදු 20 ක් තිස්සේ කරඬුව වැඩම කරන්නේ. 2009 අවුරුද්දේ පෙරහර කරඬුව වැඩම කළේ ඉන්දි රාජා. 2014 අවුරුද්දේ කොටුගොඩැල්ල වීදිය කෙළවරේදී දෑලේ ඇතෙක් ඉන්දි රාජාට ගැහුවා. රාජා බය සතෙක් නොවෙයි. ඒත් ඇතා කරඬුව තියෙන නිසා පාර කාගෙන නිසොල්මනේ හිටියා. පස්සේ දෑලේ ඇත්තු නැතුව කරඬුව වඩම්මගෙන මාලිගාවටම ආවා. රත්නපුර සමන් දේවාලයේ ඇතා 1992 සධාතුක කරඬුව වැඩම කරන්න සූදානම් කළා. ඇතා කරඬුව වැඩමවා ගෙන පත්තිරිප්පුව ළඟට ආවා විතරයි කුලප්පු වුණා. ඇත් ගොව්වටත් ගහලා ඇතා මහ මළුව පැත්තට දුවන්න ගත්තා. ඒ වෙනකොට පෙරහර රැජින හෝටලයත් පහුකරලා යනවා. කරන්නම දෙයක් නැති තැන නිලමේ තුමා කිව්වා පශු වෛද්‍යවරුන්ට ඇතාව නිර්වින්දනය කරන්න කියලා. නිර්වින්දන බෙහෙත් විඳලා විනාඩි 10-15 ක් විතර යනකොට ඇතා මහ මළුවේ වැටුණා. එතකොට ජයරාජා පෙරහරේ ගමන් කරමින් හිටියේ. නිලමේතුමා කිව්වා රන්සිවිගේ ගලවලා ඉක්මනට ජයරාජාගේ බඳින්න කියලා. මම විනාඩි 30 ක් වගේ වෙලාවකින් ජයරාජාගේ පිටේ රන්සිවිගේ බැන්දා. එදා කරඬුව වැඩම කළේ ජයරාජා. එදා පෙරහර බලපු අයගෙන් කීප දෙනෙක් ඇරෙන්න වෙන කවුරුවත් මෙහෙම දෙයක් වුණා කියලවත් දන්නේ නැහැ‘

ඇහැලමල්පේ අතීත රහසක් එළිකරමින් එසේ පැවසුවේය.

ඇහැලමල්පේ අතින් හැඩවූ කරඬුව වැඩමවන ඇත්තු
ජයතිස්ස ඇහැලමල්පේ සිය පුතු අනුෂ්ක ඇහැලමල්පේ සමඟ

‘දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරන හස්ති රාජයා සරසන්න පෙර පින් තියෙන්න ඕන.මේ පූජනීය භාණ්ඩ අතපත ගාන්නත් වරම් තියෙන්නේ කීප දෙනාටයි. පෙරහර කියන්නේ දළදා හාමුදුරුවෝ වෙනුවෙන් කරන පූජෝපහාරයක්.

ඒ නිසා අපි මේකට කැපවෙලා ඉන්නේ. මළ ගෙයක් කිළි ගෙයක් වුණත් අපි පෙරහර කාලයේදී ඒවාට යන්නේ නැහැ. මේ රාජකාරිය අපේ පවුලේ උරුමයක් කියලා ඥාතීන් පවා දන්නවා. කරඬුව වැඩම කරන ඇතා කවුද කියලා තීරණය කරන්නේ නිලමේ තුමා. ඒ ඇතාව ලස්සනටම සරසලා කරඬුව ආරක්ෂා සහිතව වැඩම කරවීමට සැලස්වීම තමයි අපේ රාජකාරිය. ඒක මම මැරෙන කල් කරනවා‘

ඇහැලමල්පේ එසේ පවසන්නේ දළදා වහන්සේ කෙරෙහි පවතින අපමණ ගෞරවය පිරි බැතියෙනි.

ඡායාරූප- බුද්ධික රොෂාන්


 

Comments