ඉව­ත­ලන කසල කළ­ම­නා­ක­ර­ණ­යෙන් මුල්තැ­නට ආ කඩු­වෙල | සිළුමිණ

ඉව­ත­ලන කසල කළ­ම­නා­ක­ර­ණ­යෙන් මුල්තැ­නට ආ කඩු­වෙල

 කේ.එම්.සී කාබ­නික පොහොර
කේ.එම්.සී කාබ­නික පොහොර

 

දියුණු යුරෝපීය රටක මෙන් නව තාක්ෂණය භාවිත කරමින් කසළ කළමනාකරණය කරන නගර සභාවක් ලංකාවේ තියෙනව කිව්වොත් සමහර විට ඔබ පුදුම වේවි. හැමදේම ක්‍රියාවට නොනඟා වචන බවට පත්වෙච්ච රටක එහෙම දෙයක් වේවිද කියන සැකය කාට වුණත් ඇතිවෙන එක සාමාන්‍යය. කඩුවෙල මහ නගර සභාව ඒ සාමාන්‍ය තත්ත්වය වෙනස් කරපු නගර සභාවකි. තමන් දිනපතා එකතු කරන කසළවලට අගයක් දී සම්පතක් බවට පත් කළ මේ නගර සභාවට කුණු බරක් නොව කප්රුකකි. දෛනිකව එකතු කරන කුණු මනා ලෙස කළමනාකරණය කිරීමෙන් ඔවුන් මේ ප්‍රගතිය අත් කරගෙන ඇත. මේ වන විට ලංකාවේ පළාත් පාලන ආයතනයකින් සිදු කරන දැවැන්තම කසළ කළමනාකරණ ව්‍යාපෘතිය මෙය බව සැලකේ.

 

අක්කරයක පමණ භූමිභාගයකින් සමන්විත රන්පැලැස්ස කසළ අංගණය කඩුවෙල ප්‍රදේශයේ ඇති සුවිශේෂී ස්ථානයකි. කඩුවෙල නගරසභාවේ ජීවත්වන සියලුදෙනාගෙම කුණු ගෙන එන්නේ මෙතැනටය. වත්මන් පාලනාධිකාරිය මෙම ස්ථානයට එනවිට කසළ කඳු ගොඩ ගැසී තිබුණු බවක් පැවසෙයි. මෙහි තිබූ කසල ඉතාම සුළු වශයෙන් යොදාගෙන කාබනික පොහොර නිෂ්පාදනය කර තිබුණ ද නිසි ලෙස කළමනාකරණය කර එය වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළක් එහි නොවුණි.

මෙම ව්‍යාපෘතිය 2018 දී ආරම්භ කර තිබුණද ඉන් නිසි ඵලප්‍රයෝජනයක් ගැනීමට එවක පාලනාධිකාරිය අපොහොසත් වී තිබුණි. එකල ටොන් හතරක කසළ ලොරියක් ගෙන යෑම සඳහා රුපියල් විසිදාහක මුදලක් නගර සභාව විසින් විවිධ ආයතනවලට ගෙවා තිබුණි. වත්මන් රජය බලයට පත්වීමත් සමඟ දියත් කළ නව වැඩපිළිවෙල හරහා ශතයක මුදලක් කුණු බැහැර කිරීම වෙනුවෙන් යෙදවීමට ඉඩ නොතැබිණි. ඒ වෙනුවට මසකට ලක්ෂ පනහත් සීයත් අතර මුදලක් ඉතිරි කරගැනීමට නගර සභාවට හැකිව තිබේ. ඒ වන විට එහි මසකට කිලෝ 500-1000 අතර ප්‍රමාණයක් කාබනික පොහොර නිෂ්පාදනය විය. නමුත් නව පාලනාධිකාරිය මුල්වී එය වැඩි දියුණු කළ පසු පොහොර නිෂ්පාදනය මාසකට මෙට්‍රික් ටොන් 35-50ත් අතර විය.

මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා මුලින් ම ඔවුන් කඩුවෙල ජනතාව දැනුම්වත් කර වෙන්වෙන් වශයෙන් කසළ එකතු කළේය. පසුව කසළ එකතු කිරීම ක්‍රමවත්ව පවත්වාගෙන යෑම සඳහා කේඑම්සී ක්ලීන්අප් (Clean up) ඇප් එක හඳුන්වා දීමට නගර සභාව කටයුතු කළේය. මෙම ඇප් එක ආධාරයෙන් කසල එකතු කිරීම සඳහා යන වාහන නියාමනය කිරීම පහසුවෙන් කළ හැකි විය. නිවැසියන් සඳහා මෙම ඇප් එක කිසිදු ගෙවීමකින් තොරව පහසුවෙන් බාගත හැකිය.

එමඟින් කුණු රැගෙන යෑමට පැමිණෙන දිනය සහ එදිනට ගෙන යන කුණු වර්ගය (දිරන /නොදිරන) සඳහන් වූයෙන් එය කාටත් පහසු විය. එසේම කසළ රථය පැමිණෙන ගමන් මඟ හා එය තම නිවස ආසන්නයට කොපමණ දුරකින් ඇති යන්න පහසුවෙන් දැන ගත හැකි විය. මේ නිසා වෙනදා මෙන් කසළ ලොරිය පැමිණෙනතෙක් බලා සිටීමට අවශ්‍ය නොවීය. කාටත් හිසරදයක් වූ කසළ ඔවුන් ළඟටම විත් රැගෙන යන නිසා ඉතා උනන්දුවෙන් ඒවා වෙන් කර දීමට කඩුවෙල වැසියන් බොහෝදෙනා කටයුතු කරයි. එසේ නොවුව ද ඒවා වෙන් කර පිරිසිදු කිරීමට සේවකයන් සූදානම්ව සිටිති. මෙලෙස දිනකට රන්පැලැස්ස කසළ අංගණයට එකතුවන කසල ප්‍රමාණය ටොන් අසූවක් අනූවක් පමණ වේ. ඒත් ඒ එක කුණු බිඳක්වත් ඔවුන්ට වැඩි නොවේ.

ලැබෙන කසළවලින් ටොන් දහයක් කාබනික පොහොර සඳහා යොදවන අතර, තවත් ටොන් දහයක් බයෝගෑස් මඟින් විදුලිය නිපදවීම සඳහා යෙද වේ (එහි අතුරු ඵලයක් ලෙස කාබනික දියර පොහොර ලැබේ.) කසළ ටොන් තිහක් පුත්තලමේ පිහිටි ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ ඇති උදුනේ ඉන්ධන වෙනුවෙන් ලබා දේ. ඒ පොලිතින් සහ ප්ලාස්ටික්ය.(මේවා උදුනේ උණුසුම රඳවා ගැනීමට අවශ්‍ය වේ.) මෙම ප්ලාස්ටික් ක්‍රෂර් එකක් ආධාරයෙන් කුඩා කැබලිවලට පත් කරන අතර, පොලිතින් බේලින් කරයි. එම ප්ලාස්ටික් හා පොලිතින් නිෂ්පාදන කටයුතු සඳහා විවිධ ආයතනවලට ලබා දේ. ඉතුරු කසළ මෙට්‍රික්ටොන් තිහ හෝ හතළිහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් මුල් වී ඇති කළ වෙස්ටන් පවර් විදුලි ජනක ව්‍යාපෘතිය වෙත ලබා දේ.

ජීව වායූ ඒකකය (බයො ගෑස් )

ප්ලාස්ටික් බෝතල් සහ පෙට් බෝතල් වෙන් කර විකුණන අතර, වීදුරු කටු වෙන් කර ඒවා මිලදීගන්නා සමාගම්වලට මිල ගණන් කැඳවා විකිණීමට කටයුතු කරයි. මීට අමතරව ප්ලාස්ටික් පුටු, කම්පියුටර් කෑලි යන්ත්‍රාණුසාරයෙන් කැබලි කර ඒවා මිලදීගන්නා ව්‍යාපාර සඳහා ලබා දෙන බව කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති බුද්ධික ජයවීලාල් පවසයි. කසළ අංගණයේ කටයුතු සඳහා අවශ්‍ය විදුලිය ලබා ගන්නේ මෙහි ඇති ජීව වායු ඒකකය මඟින් නිපදවන විදුලිය මඟිනි. මෙමඟින් නිපදවන විදුලිය කිලෝ වොට් හතළිස් පහකි. මින් කිලෝවොට් හතළිහක් ලබන මස සිට ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම් බව කඩුවෙල මහ නගර සභාවේ නාගරික කොමසාරිස් සංජීව බන්දුකීර්ති පවසයි. හෙතෙම පවසන අන්දමට කඩුවෙල මහ නගර සභාව තුළ එකතුවන කසළ රන්පැලැස්ස කසල කළමනාකරණ මධ්‍යස්ථානයෙන් නැවත කසළ ලෙස එළියට නොයයි. දෛනිකව ලැබෙන කසළවල තිබෙන පොල්කටු, ටින් බෙලෙක්ක, වතුර බෝතල්, කාඩ්බෝර්ඩ්, වීදුරුකටු සහ ඉඳුල් වෙන් කර වෙන වෙනම ස්ථානගතයි. කරන අතර, දෛනිකව ලැබෙන ඉඳුල් කොම්පොස්ට් හලන යන්ත්‍රය මඟින් හලාගෙන කොම්පොස්ට් පාත්ති විදියට සාදා ගනී. පසුව එවා කොම්පොස්ට් පොහොර ලෙස විවිධ ප්‍රමාණයන්ගෙන් පැකට් කර අලෙවිය සඳහා වෙළෙඳ පොළට නිකුත් කරයි.

රන්පැලැස්ස කසළ කළමනාකරණ අන්ගණය තුළ කසළ රැස් කිරීමට යොදා ගන්නා රථ හොඳින් පිරිසිදු කර නඩත්තු කටයුතු සිදු කරයි. මෙනිසා ඕනෑම

එකතු කළ කසළ වෙන්කර තැන්පත් කර ඇති ආකා­රය

තරාතිරමක අයකුට කිසිදු හිරිකිතයක් නැතිව එවැනි රථයක නැඟී ගමන් කළ හැකිය.

මේ වන විට රන්පැලැස්ස කසල කළමනාකරණ ව්‍යාපෘතිය මඟින් කබනික වී වගාවට ද යොමූ වී ඇත. එමඟින් වසර හතළිහක් පුරන්ව තිබූ මාලබේ පිට්ටුගල පුරන් කුඹුරු අක්කර දහයක් පමණ වගා කර ඇත. බෝග වගාව වෙනුවෙන් ද විශාල වශයෙන් කාබනික පොහොර මින් ලබා දෙයි. කඩුවෙල නාගරික සීමාවේ දිනකට එකතු වන කාබනික කසල ටොන් 10ක් මඟින්, ඝන මීටර් 500ක ජීව වායු ඒකකයක් තුළ නිර්වායු ජීර්ණයට ලක් කර උත්පාදනය වන ජීව වායුවෙන් කොටසක් එනම් කිලෝ වොට් හතළිහක් විදුලි ජනකයකට යොමු කෙරේ. මින් දෛනික අපේක්ෂිත විදුලි උත්පාදන ඒකක ගණන 400කි. මෙමඟින් ඉදිරියේදී දියර පොහොර ලීටර් 5000ක් නිපද වීමට අපේක්ෂිතය. ඒ සඳහා මෙහි ප්‍රමිතිය පරික්ෂා කිරීමට මාකඳුර පර්යේෂණායතනය සහ බස්නාහිර පළාත්සභාවට අයත් පිටිපන පිහිටි දියර පොහොර නිෂ්පාදනාගාරයට සාම්පල් යැවීමට කටයුතු කර ඇත.

රන්පැලැස්ස කසළ කළමනාකරණ ව්‍යාපෘතිය තුළ ඇති ජීව වායූ ඒකකය සඳහා අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය සහය ලබාදී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල (UNDB) මඟිනි. ඒ සේම ඔවුන් විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුදලින් අඩක් ලබාදීමට කටයුතු කර තිබේ. කාබනික පොහොර නිපදවීම සඳහා අවශ්‍ය සහය ලබා දී ඇත්තේ බස්නාහිර පළාත් ගන අප ද්‍රව්‍ය ඒකකයයි.

කාබනික පොහොර යොදා සරුසාර ලෙස වගාකර තිබෙනු මාලබේ පිට්ටුගල වෙල්යාය

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම අනුව වස විසෙන් තොර ආහාර රටාවක් ඇති කරනුවස් කාබනික ගොවිතැන කරා යන ගමනේදී මෙවැනි ව්‍යාපෘති මනා පිටබලයක් ලබා දේ. කඩුවෙල මහ නගර සභාව විසින් ලබා දෙන මේ පූර්වාදර්ශය මෙරට ඇති අනෙකුත් නගරසභා හතළිස් එක තුළින් ද ක්‍රියාත්මක වුව හොත් මෙරටට අවශ්‍ය කාබනික පොහොර කිසිදු හිඟයකින් තොරව නිෂ්පාදනය කර අති විශාල විදේශ විනිමයක් රට තුළ ඉතිරි කරගත හැකිවනු ඇත.

 

Comments