විශ්මාගේ මරණය ඉදිරියේ හඬා වැටුණු ජපානය | Page 2 | සිළුමිණ

විශ්මාගේ මරණය ඉදිරියේ හඬා වැටුණු ජපානය

- ජාත්‍යන්තරය කලඹන සුළු මරණයක්
- විශ්මාගේ මරණයෙන් ජපානයේ ආගමන විගමන නීති සංශෝධනය වෙයි
- ජපන් රැඳවුම් කඳවුරක් තුළ විශ්මාගේ මරණය නිකරු‌ෙණ් සිදුවුණා. සිද්ධියට වගකිව යුතු අයට දඬුවම් තවම නැහැ

මිනිසත්කම පරාජය කරමින් ෆුකුෂිමා විපතට දස වසරක් පිරුණු මොහොතක ජපානයේ තාවකාලිකව විසූ 33 හැවිරිදි රත්නායක ලියනගේ විශ්මා සඳමාලි ජපානයේදි සාඟින්නේ මිය යන්නේ ජපානයේ අයිචි ප්‍රාන්තයේ නගෝයා නගරයේ නගෝයා ප්‍රාදේශීය ආගමන සේවා කාර්යාංශයේදීය (Nagoya Regional Immigration Services Bureau in Nagoya City, Aichi ) එහි මාස 7 ක් පමණ රඳවා සිටි ඇයගේ මරණය 2021 මාර්තු 6 සිදුවන්නේ මූලික මිනිස් අයිතීන් දෙකක් වූ ආහාර හා ආරක්ෂාව අහිමි කරමින් වඩාත්ම ඛේදනිය අයුරිනි. මේ සිදුවීම ශ්‍රි ලාංකිකයින් තුළ සැබෑ කම්පනයක් ඇති කළ අතර බොහෝ දෙනා චෝදනා කළේ ජපානයේ අදාළ බලධාරීන් විසින් දැක්වූ අල්ප උනන්දුව නිසා ඇයට මෙවන් ඉරණමක් අත් වු බවකි. 

ජපානයේ මානව හිතවාදීන් විසින්ද සංක්‍රමණිකයින් සඳහා වූ එරට ආගමන විගමන නීති උල්ලංඝනය වූ බවට දැවැන්ත උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කළේ ටෝකියෝහි පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටදිය. ඇයගේ අවසන් කටයුතු සඳහා විශ්මාගේ සහෝදරියන් දෙදෙනාද ටෝකියෝවට පැමිණි අතර පසුගිය මැයි 16 දින ජපානයේ නගෝයාහි දී මලින් සැරසූ ඇයගේ දේහයේ අවසන් කටයුතු සිදුවිය. එහෙත් මාස කිහිපයක් ඇවෑමෙන් එහි උණුසුම මැකී යද්දී ඇයගේ මරණය සම්බන්ධයෙන් ජපානය සිය පවුලේ අය වෙනුවෙන් හා ශ්‍රි ලංකාවාසී ජනතාව වෙනුවෙන් සංවේගය පළ කළේ මෙවන් මරණයක් යළි ඇති නොවීමට ජපානය ඉදිරියේදී වගබලා ගන්නා බව අවධාරණය කරමිනි.

2017 ජපානයට ගිය විශ්මාට සිය අධ්‍යන කටයුතු කරගන්නට නොහැකි වූයේ අතැති මුදල් අහවර වීමෙනි. මේ නිසා 2018 සැපැතැම්බර් මාසයේ ඇය සරණාගත තත්ත්වය ඉල්ලුම් කළ හෙයින් මාස දෙකක් රැදී සිටිමට අවසර ලැබුණි. නමුත් ඒ වසරේම දෙසැම්බරයේ එය අලුත් කිරීමට ඇය උත්සහ කළද සරණාගතභාවය නොලැබීමේ විපාකය වූයේ ඇයගේ පදිංචි ස්ථානය අහෝසි වීමත්, ඇයට ජපානයේ රැදි සිටීමට අවසර හිමි නොවීමත්ය. කෙසේ වෙතත් ඒ අවස්ථාවේදී ඇයට නැවතත් ලංකාවට පැමිණිමට මුදල් නොමැති වු බව සැලය.මේ නිසා 2020 අගෝස්තු මාසයේ ඇය නගෝයා හි රැදවුම් මධ්‍යස්ථානයට යන්නේ නැවතත් මවු රටට යන තෙක්ය. සියල්ල සිදු වන්නේ එතැන් සිටය. විශ්මා මාස හතරක පමණ කාලයක් තාවකාලික නිදහසක් බලාපොරොත්තුවෙන් ජපානයේ නගෝයා ආගමන විගමන මධ්‍යස්ථානයේ රැදී සිටියදි ඇයගේ මරණය සිදුවන්නේය.

විශ්මාගේ මරණය සිදු වූ අවස්ථාවේ පමණක් නොව ඉන් මාස කිහිපයකට පසුව ඇයගේ මරණයේ අවසන් කටයුතු සිදු කරන අවස්ථාවේ විශ්මාට සාධාරණයක් පතා එරට සංක්‍රමණකයින් වෙනුවෙන් පෙනී සිටි ජනතාව ඇයගේ සහොදරියන් සමඟ එරටදී සාධාරණයක් ඉටු කරන්නටත්, විශ්මාගේ මරණයේ ඇත්ත හෙළි කරන්නටත් ඉල්ලමින් විරෝධාතවන්හි නිරත වුහ. විශ්මාගේ මරණය සම්බන්ධයෙන් ජපානයේ ටෝකියෝ හි මානව හිතවාදී ක්‍රියාකාරීහූ පැවසූයේ මෙම මරණය සාවද්‍ය මිනිස් ඝාතනයක් ලෙසය. එපමණක් නොව ජපානය සංක්‍රමණ පනත් කෙටුම්පත උල්ලංඝනය කළ බවටද චෝදනා නගමිනි. ඒ ඇයට අවසාන කාලයේදී කිසිදු ප්‍රතිකාරයක් නොකර මරණයට පත්වීමට ඉඩ හැර ඇති නිසාය. අප්‍රේල් 9 දින නිකුත් වූ අතුරු වාර්තාවකින්ද කියවූණේ ඇයගේ මරණයට නිශ්චිත හේතුව ප්‍රකාශ කිරිමට නොහැකි බවකි. 

කෙසේ වෙතත් ඉතා අසධ්‍ය තත්ත්වයෙන් ඇය ජිවිතය යදින විට ලේ බිඳුවක් හෝ ලබා දීමේ වගකීම එරට බලධාරීන්ට තිබුණු බව අද මේ බලධාරීහූ පිළිගනිති. නමුත් කිසිදු වෛද්‍යවරයෙක් ඇය රෝහල්ගත කරන ලෙස දන්වා තිබුණේ නැත. එරට අධිකරණ ඇමැතිනී කමිකාවා යෝකෝ විසින් ඇයගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කරන බව එදා දැනුම් දුන්නේ මෙය ජාත්‍යන්තරය කළඹන සුළු මරණයක් නිසාවෙනි. එසේම ජපානය වැනි රටක එවන් දෙයක් සිදු වූ බවට වූ කැළල මකා ගැනීමේ අරමුණිනි. රැඳවුම් මධ්‍යස්ථානයදී කෙනෙකු මරණයට පත්වීම අතිශය මානුෂික ප්‍රශ්නයක්, වුවත් ඔවුන් එදා පැවැසූයේ විශ්මා සිය සෞඛ්‍ය තත්ත්වය දුර්වල බව පවසා සිටි හෙයින් වෛද්‍යවරුන් විසින් ඇයව අවස්ථා හයකදී පරික්ෂා කළ බවත්, අවස්ථා දෙකකදි රෝහල්ගත කර ඇති බවත්ය. එහෙත්“ මට රෝහලකට යන්න ඕන. නමුත් ආගමන විගමන බලධාරීන් මාව රෝහලකට රැගෙන යන්නේ නැහැ.“ ,“මට දැන් ඇත්තටම කන්න ඕන..“ ඇය විටක චෝදනා කර තිබූ බව එරට මාධ්‍ය පවා වර්තා කළේ ජපානයේ රැදවුම් මධ්‍යස්ථානයට සිටින්නෙකුගේ අතිශය සංවේදි ඉරණම මෙයද යන්න වාර්තා කරමිනි. මේ නිසා විශ්මාගේ මරණය එරට දැඩි කැළඹීමකට තුඩුදුන් අතර අධිකරණ ඇමැතිනිය ඇය අදාළ ආයනවලට උපදෙස් දී ඇත්තේ මේ පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් සිදු කරන ලෙසත්ය. ඒ වෙනුවෙන් ඇය කණ්ඩායමක්ද නගෝයා වෙත පිටත් කර තිබුණි.

ජපාන නීතියට අනුව කිසිවෙකුටත් වීසා නොමැතිව රැකියා කිරීමට තහනම්ය. එහෙත් ජපන් ජාතිකයින් යනු කිසියම් රාමුවක් තුළ ජීවත් වන මානූෂීය හැඟීම් අල්ප මිනිසුන්ද? රැදවුම්කරුවෙකුට මෙසේ අමානුෂික ලෙස සැලකිය හැකිද? මෙය බොහෝ දෙනෙක් පැන නෑගු ප්‍රශ්න විය. කෙසේ වෙතත් පසුගියදා එරට අධිකරණ ඇමැතිනී කමිකාවා යෝකෝ මෙහි වගකීම තමන් හා සිය රට බාර ගන්නා බව පවසමින් පසුගිය 10 වැනිදා මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේ මින් ඉදිරියට මෙවන් කණගාටුදායක සිදු වීම් ජපානයේ නැවතත් ඇති නොවන බවට ප්‍රතිඥා දෙමිනි."මම ඇගේ මව සහ ඇයගේ පවුලට හෘදයාංගම ශෝකය පළ කරනවා. ජපානයේ රැඳවුම් මධ්‍යස්ථානයේ දී මෙම වටිනා ජීවිතය නැතිවීම ගැන මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා." එපමණක් නොව ඇය වැඩි දුරටත් මේ සේවාවේ අඩුපාඩු විග්‍රහ කරමින් පවසා සිටියේ ."ඇය අසනිප තත්ත්වයෙන් පසු වුවද ඇයට ප්‍රමානවත් ප්‍රතිකාර නොලැබී ඇත. මම ආගමන සේවා ඒජන්සි ආයතනයේ ප්‍රධානියාට උපදෙස් දුන්නා, මේ ආයතන හා ප්‍රාදේශීය මධ්‍යස්ථාන පාලනය කරන්න. මේ පද්ධතිය තුළ ඇති නීතිරීති වෙනස් විය යුතුයි. ඒ සමඟම මේවා අධීක්ෂණය වේගවත් විය යුතුයි" කමිකාවා පැවසූ අතර ඇය අවසානයට පැවැසූයේ "මෙවන් මරණයක් නැවත කිසි දිනෙක සිදු නොවේවා යන අධිෂ්ඨානයෙන් අපි මේ සියල්ල ප්‍රතිසංස්කරණ කරන්නෙමු."යනුවෙනි. ඇයගේ ප්‍රකාශය හමුවේ එරට ආගමන විගමන සේවා පද්ධතියේ අඩුපාඩු පැවැති බවද, එය නිවැරදිව සකස් වී තිබුණේ නම් විශ්මා වැන්නවුන්ට මෙවන් අකල් මරණ අත් නොවීමට ඉඩ තිබුණු බවද වක්‍රෝක්තියෙන් පැවසෙයි. නමුත් මීට විරුද්ධව අදහස් දක්වන අය ප්‍රකාශ කළේ අදාළ රැදවුම් මධ්‍යස්ථායේ එවන් ශෝචණීය සිදුවීමක් වී තිබුණද තරවටු කිරීමක් මිසි කිසිවකුටත් දඩුවම් නොදුන් බවකි.

විෂ්මාගේ මරණය සම්බන්ධයෙන් එරට විපක්ෂයේ විවේචනද නතර වි නැත. එහි ප්‍රතිපලයක් ලෙස ජපානයේ පාලක නීති, රැකවරණ පතන්නන් සහ පිටුවහල් කිරීම් හැසිරවීමේ නීති වෙනස් කිරීමේ මතභේදකාරී තල්ලුවකට එරට රජය ඇඳ දමා ඇත.

එහෙත් ඇයගේ මරණයේ වේදනාකාරී අත්දැකීම් අදටත් විඳින්නේ ඇගේ සහෝදරියන් දෙදෙනා හා මව පමණි."ඇගේ මරණයේ වගකීම භාර ගන්නේ කවුද? " ඔවුහු අදටත් චෝදනා නඟන්නේ සහෝදර පෙම හා දරු කැක්කුම නිසාවෙනි.

Comments