ඩෙල්ටා තව දුරටත් පැති‌ෙර් | සිළුමිණ

ඩෙල්ටා තව දුරටත් පැති‌ෙර්

ඉදිරි සති 3 දැඩි අවදානම් - සෞඛ්‍ය අංශ අනතුරු අඟවති

බස්නාහිර පළාතේ වයස 30 වැඩි එන්නත් ලබා නොගත් පුද්ගලයන් 150,000ක්

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් 150,000කට ආසන්න පිරිසක් මෙම සතිය මැද වන විටත් කොවිඩ් මර්දන එන්නත ලබාගෙන නොමැති බව අනාවරණය විය. කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් ආශ්‍රිතව සිදු කළ සමීක්ෂණයකදී එම තොරතුරු අනාවරණය වූ බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න පැවසීය.

බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා එන්නත්කරණය වැඩසටහන ඉකුත් 11 වැනිදා ආරම්භ වූ අතර එය අඛණ්ඩව දින 3ක් ක්‍රියාත්මක විය. ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වය එම වැඩසටහන සඳහා අඛණ්ඩව හිමි විය.

මෙතෙක් එන්නත නොලැබූ අය සිටී නම් 1906 ඇමතීමෙන් ඒ සඳහා පහසුකම් ලබාගත හැකිය.

එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන්ගේ කොවිඩ් මරණ අනුපාතය ඉතා අඩු අගයක් 

ඩෙල්ටා ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ ඉදිරි සති තුන තීරණතාක්මක වනු ඇති බවත් රොහල් ධාරිතාව වැඩි කිරීමට පියවර ගෙන ඇති බවත් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.

රට තුළ වහාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් ඉදිරි දින 20 තුළ සිදු විය හැකි කොවිඩ් ආසාදිත මරණ 1,200ක්වත් වළක්වා ගත හැකි බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පසුගියදා පවසා තිබිණ. මේ අතර ඉදිරි සති දෙක තුළ කුමන දෑ සිදු කළත් කොවිඩ් ආසාදිතයන්ගේ සහ මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය. සෞඛ්‍ය අංශයට දරාගත නොහැකි අන්දමින් රෝගීන් වැඩිවීම කඩිනමින් පාලනය කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන්ගේ කොවිඩ් මරණ අනුපාතය ඉතා අඩු අගයක් ගන්නා බැවින් මෙතෙක් එන්නත ලබා නොගත් අය කඩිනමින් එන්නත ලබාගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඉල්ලීමක් කළේය.

දිනෙන් දින ඉහළ යන ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවද ශීඝ්‍රෙයන් ඉහළ යමින් පවතී. අගෝස්තු මාසයේ 1 වැනිදා සිට 11 වැනිදා දින පමණක් සිදු වූ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,100කි. ඉකුත් සතියේ 8 වැනිදා මෙරට කොවිඩ් ආසාදිත දෛනික මරණ සංඛ්‍යාව 111ක් වූ අතර ඉන්පසු 9,10,11 සහ 12 වැනිදා ද දෛනික මරණ සංඛ්‍යාව සියය ඉක්මවා වාර්තා විය. එම මරණවලින් වැඩි සංඛ්‍යාවක් වයස අවුරුදු 60ට වැඩි වූවන් වන අතර මරණයට පත් ස්ත්‍රීන් සංඛ්‍යාව ප්‍රතිශතයක් වශයෙන් 31%කි. පිරිමි ප්‍රතිශතය වාර්තා වන්නේ 69%ක් ලෙසිනි.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණවලින් 99%ක්ම කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබාගෙන නොමැති අතර 0.08%ක් (මරණ 40ක්) එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගත් අය බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි. මරණ 9ක් පමණක් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන්ය. එය 0.2%ක ප්‍රතිශතයක් වන අතර එසේ මියගිය 9 දෙනාම නිදන්ගත රෝගවලින් පෙළුණු පුද්ගලයන්ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

 ශ්‍රී ලංකාවේ දැනට වාර්තා වන කොවිඩ් මරණ හා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව වාර්තා වුවහොත් ලබන වසරේ ජනවාරි මාසය වනවිට කොවිඩ් ආසාදිතයන් 18,000ක් පමණ මිය යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් සකස් කළ වාර්තාවක ඒ බව සඳහන් වන අතර එම වාර්තාව ඉකුත් 12 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදී ඇත.

මෙම තත්ත්වයෙන් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීම සඳහා නිර්දේශ රැසක්ද ඉදිරිපත් කර තිබේ. සංචරණ සීමා දැඩි කිරීම, පළාත් සංචරණ සීමා වෙනුවට දිස්ත්‍රික් සංචරණ සීමා පැනවීම, සුළු කාලයකට හෝ ඇඳිරි නීතිය පැනවීම, සියලුම මහජන උත්සව සති තුනකට තහනම් කිරීම, මහජන ඒකරාශි වීම් වැළැක්වීම, සෞඛ්‍ය සේවකයන් ආරක්ෂා කරගැනීම, ඵලදායී සන්නිවේදන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ජනතාව දැනුම්වත් කිරීම, ආසාදිතයන් හා මරණ දත්ත නිවැරදිව ලබාදීම, වයස අවුරුදු 60 ඉක්මවූවන්ට කඩිනමින් එන්නත් ලබාදීම එම නිර්දේශ අතර වේ.

කොවිඩ් රෝගීන්ට නිවසේදීම ප්‍රතිකාර

කොවිඩ් ආසාදිතයන්ට නිවසේදීම ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන හා සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්වන ආසාදිතයන් සඳහා පමණි. යම් කෙනෙකුට විවේකීව සිටියදී හෝ සුළු ව්‍යායාමයකින් පසුව හතියක්, හුස්ම ගැනීමේ අපහසුවක් දැනේ නම් ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත යුතුය. එසේ නොවන වයස අවුරුදු 2ත් 65ත් අතර ආසාදිතයන් නිවෙසේ තබා ප්‍රතිකාර කිරීම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා (MOH) විසින් තීරණය කෙරේ.

පාලනය නොවූ දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, වකුගඩු රෝග හා පෙණහලු ආශ්‍රිත රෝගවලින් පෙළෙන්නන්, ප්‍රතිශක්තිය හීන වන රෝග තත්ත්වයකින් පෙළෙන, ප්‍රතිශක්තිය හීන කරවන ඖෂධයක් දීර්ඝ කාලයක් තිස්සේ ලබාගන්නා පුද්ගලයන් සහ ශරීර ස්කන්ධ දර්ශකය 30ට වැඩි (ස්ථූල) පුද්ගලයන්ට ඇති විය හැකි සංකූලතා සලකා බලා නිවසේදීම ප්‍රතිකාර ලැබීමට සුදුසු නොවේ.

ආසාදිත පුද්ගලයාට එවැනි අවදානම් තත්ත්වයක් නොමැති නම් නිවසේ අන් අයගෙන් වෙන්ව සිටීමට වෙනම කාමරයක් හා වැසිකිළි පහසුකම් සහිත අවස්ථාවන්වලදී නිවෙස් ගත ප්‍රතිකාරය සඳහා සලකා බැලේ.

අවශ්‍ය විටෙක කඩිනමින් වෛද්‍ය උපදෙස් හා උපකාර ලබා ගැනීමට හැකි පරිදි සන්නිවේදන හැකියාව සහ පහසුකම් තිබීමද අත්‍යවශ්‍ය කරුණක් සේ සලකනු ලැබේ.

නිවෙස්ගත ප්‍රතිකාර කාලය තුළ ආසාදිත පුද්ගලයාගේ රෝග ලක්ෂණ කල් පවතින බවක් දක්නට ලැබේ නම් හෝ තීව්‍ර වන බවක් දක්නට ලැබේ නම් අදාළ වෛද්‍ය කණ්ඩායම් විසින් විශේෂඥ වෛද්‍යවරයකු සමඟ සාකච්ඡා කර රෝගියා රෝහල්ගත කිරීම සඳහා වහාම කටයුතු සූදානම් කරනවා ඇත.

වයස අවුරුදු 2ට වැඩි කොවිඩ් ආසාදිත දරුවන්ට නිවසේ රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය ආරම්භ කර ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පැවසීය.

එම ප්‍රතිකාර ක්‍රමවේදයට යටත්වන දරුවන්ට නිදන්ගත රෝග හෝ දීර්ඝකාලීනව ප්‍රතිකාර ලබාගන්නා රෝග නොතිබිය යුතු බවත් යම් දරුවකුට කොවිඩ් ආශ්‍රිතව සංකූලතාවක් ඇති වුවහොත් වහාම රෝහල්ගත කළ යුතු බවත් හෙතෙම අවධාරණය කළේය. නිවෙස්වල සිට ප්‍රතිකාර ගන්නා අය සම්බන්ධයෙන් වහාම 1390 අංකය අමතා උපදෙස් ලබාගත හැකිය.

ඡායාරූප- සුදත් මලවීර

Comments