ජීවිත තුනකට දිවි අහිමි කළ අනියම් පෙම් හුටපටය | Page 2 | සිළුමිණ

ජීවිත තුනකට දිවි අහිමි කළ අනියම් පෙම් හුටපටය

ඝාතනය වූ ඉන්දිකා ශාන්ති සහ දෙදෙනා ඝාතනයකොට සියදිවි නසාගත් තුසිත ප්‍රියංග

ල්ගමුව පොලිස් වසමෙන් නිතර ඇසෙන්නෙ අලි - මිනිස් ගැටුම් නිසා සිදුවන ඛේදවාචකයන් පිළිබඳ ශෝචනීය තත්ත්වය. එහෙත් පසුගිය හත්වැනිදා හිරු උදාවෙත්ම ගල්ගමුව පොලිස් වසමේ මහා නාන්නේරිය, පයිරප්පකුලමෙන් වාර්තා වූයේ සතා සිවුපාවෙකුටවත් අත් නොවිය යුතු තරම් හද කම්පා කරවන මිනිස් ජීවිත තුනකට අත්වූ ඉරණමක ශෝකී පුවතකි.

ගල්ගමුව පොලිසියේ 119 හදිසි ඇමැතුම් අංකය හරහා ලැබුණු පණිවිඩයෙන් කියැවී තිබුණේ පයිරප්පකුලමේ නිවෙසක කාමරයක් තුළ තිදෙනෙකු මියගොස් සිටින බවයි.

එදින අලුයම හයටත් පෙර ගල්ගමුව පොලිස් නිලධාරින් එම නිවෙසට යන විටත් ගම්මුන්ගේ කනටද එම අපරාධය සැලවී තිබූ හෙයින් බොහෝ පිරිස් එක්රැස් වී කම්පා වෙමින් සිටියහ.

පොලිස් නිල සුනඛයන් ඇතුළුව නිකවැරටිය සොකෝ නිලධාරින්ද පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කරද්දී නිවෙස තුළ මියගොස් සිටි කාන්තාව සහ වයස අවුරුදු 10ක් වූ පිරිමි දරුවා කපාකොටා ඝාතනය කර තිබූ ආකාරයත් පිරිමි පුද්ගලයා වයරයකින් ගෙළ සිරකරගෙන මියගොස් ඇති අයුරුත් පසුව වයරය කැඩී යාමෙන් ඔහුද බිම වැටි සිටින ආකාරයත් දුටුවේය.

හත්වැනිදා රාත්‍රියේ සිදු වී තිබූ එම ඛේදවාචකයෙන් එලෙස මියගොස් සිටියේ ගල්ගමුව පාර, මහා නාන්නේරිය ලිපිනයේ පදිංචිව සිටි 28 හැවිරිදි පනම්බර ආරච්චිලාගේ ඉන්දිකා ශාන්ති, ඇගේ වැඩිමහල් පුත්‍රයා වූ 10 හැවිරිදි රාජකරුණා මුදියන්සේලාගේ සෙනිත ලක්සිඳු සහ ඉන්දිකාගේ අනියම් සැමියා බවට හෙළි වූ මහානාන්නේරිය, නල්ලච්චියේ පදිංචි 28 හැවිරිදි ප්‍රියංග තුසිත කුමාර විජේරත්න යන තිදෙනාය.

මිනිස් ජීවිත තුනක් එම නිවෙසේදී මෙලොව හැර යද්දී ඉන්දිකාගේ සිවු හැවිරිදි කුඩා පුතුද මවට තුරුලු වී නින්දේ පසුවී සිටියේය. අලුයම අවදි වූ කුඩා දරුවාට සිය මවටත්, සහෝදරයාටත් අත්වූ ඉරණම පිළිබඳව එතරම් වැටහීමක් නොවිණි. එහෙත් දරුවා ඇර තිබූ පිටුපස දොරෙන් එළියට ගොස් අසල නිවෙසේ කාන්තාවට කියා තිබුණේ, ‘අයියයි අම්මයි කතා කරන්නෙ නෑ... අයියගෙ ඔළුවෙන් ලේ ගලනවා...‘ කියායි.

මුලින්ම කුඩා දරුවාගෙන් එම ඛේදවාචකය දැනගත් අසල නිවෙසේ කාන්තාව කීවේ,

“පොඩි පුතා දුවගෙන ඇවිත් කිව්වා අයියයි අම්මයි කතා කරන්නෙ නෑ... අයියගෙ ඔළුවෙන් ලේ ගලනවා කියලා... ඊට පස්සෙ ඉන්දිකා නංගිට මම කෝල් එකක් ගත්තා... ඒත් එයා ෆෝන් එක ගත්තෙ නෑ... පස්සෙ අපි ඉන්දිකා නංගිගෙ මල්ලිට කෝල් කළා... පොලිසියටත් ඒත් එක්කම අපි කතා කළා...“

කෙසේ හෝ හද කම්පා කරවන තවත් ශෝචනීය කතන්දරයක් ගල්ගමුව පොලිස් පොත් සටහන් කරමින් ඉන්දිකා, සෙනිත සහ තුසිත මියගොස් සිටියේ අනියම් පෙම් හුටපටයක් නිසාවෙනි. ඉන්දිකා විවාහ වී සිටියේ මොරගොල්ලාගම ප්‍රදේශයේ වෙසෙන නාවික හමුදාවේ සේවය කරන අයකු සමඟිනි. ඔහු මේ දිනවල වැලිසර කඳවුරේ සේවය කරන බවක් දැන ගන්නට ලැබී තිබේ. දරුවන් දෙදෙනෙකු වූ ඉන්දිකා ගේදොර වැඩපළ කරමින් සිටි කාන්තාවකි. නාවික නිලධාරියා සමඟ විවාහයෙන් පසු මොරගොල්ලාගම, පොල්පිතිගම ප්‍රදේශයේ සැමියාගේ නිවෙසේ පදිංචිව සිටි දෙදෙනා අතර ගැටුම් ඇතිවී තිබුණේ ඉන්දිකාගේ අනියම් පෙමක් නිසාවෙනි.

ඇය එම අනියම් පෙම පවත්වාගෙන ගොස් තිබුණේ කාමරයේ මියගොස් සිටි මහා නාන්නේරිය, නල්ලච්චිය ප්‍රදේශයේ විසූ ප්‍රියංග තුසිත සමඟිනි. දෙදෙනා අතර පෙම් හුටපටය ආරම්භ වී ඇත්තෙ පාසල් සමයේදිමය. කෙසේ හෝ විවාහයෙන් පසුවද ඇය එම පාසල් පෙම අනියමින් දිගින් දිගටම පවත්වාගෙන ගොස් තිබුණේ පවුල් දිවිය හෝ දරුවන් ගැන අබමල් රේණුවක තරම්වත් නොසිතමිනි. එම අනියම් පෙම නිසා ඉන්දිකා සහ සැමියා අතර හටගත් ගැටුම් ගල්ගමුව පොලිසිය දක්වා දුරදිග ගොස් තිබුණේය.

එම ගැටුම් නිසාම සැමියාගේ නිවෙසේ විසූ ඉන්දිකා සහ දරුවන් ඇතුළු පිරිස මීට වසර දෙකකට පමණ පෙරදී එම නිවෙසෙන් මහ නාන්නේරිය, පයිරප්පකුලමේ ඛේදවාචකය වූ නිවෙසට පැමිණ තිබුණේ කුලී පදනම මතයි.

වසර දෙකක පමණ කලෙක සිට වෙසෙන පයිරප්පකුලමේ එම කුලි නිවෙසටද ඉන්දිකාගේ අනියම් සැමියා වූ ප්‍රියංග තුසිතද නිතර ආගිය බව බොහෝ දෙනෙකුට රහසක් නොවීය.

නුදුරේදීම පොලිස් දෙපාර්තමේන්තුවට එක්වීමට සිටි තුසිත ඉන්දිකා සමඟ පසුගිය දිනෙක කිසියම් ගැටුමක් ඇතිවන්නට ඇතැයි සැක කෙරේ. එම නිසා හත්වැනිදා රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණ එම යතුරුපැදිය අසල නිවෙසක නතර කළ තුසිත, ඉන්දිකාගේ නිවෙසට ඇතුළුවී ඇත්තේ නිවෙසේ පිටුපස දොරෙන් බවට විමර්ශන සිදු කරන නිලධාරිහු සැක කරති. යකඩ පොල්ලක් වැනි මුගුරක් රැගෙන නිවෙසට ඇතුළුවී ඇති බවට හෙළි වන තුසිත කාමරයේ නිදා සිටි ඉන්දිකාගේත්, 10 හැවිරිදි සෙනිතගේත් මුවට රෙදි කැබලි ඔබා ඝාතනය කර ඔහුද එකී කාමරයේම වයරයකින් ගෙළ වැලලාගෙන මියගොස් සිටියේය. පසුගිය 09 වැනිදා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එන්. ඒ. සී. පී. චාමින්ද විසින් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදීද හෙළි වී තිබුණේ ඉන්දිකා සහ දරුවා තුසිත විසින් ඝාතනය කොට ඔහුද ගෙළ සිරකරගෙන මියගොස් ඇති බවටයි. එම අහස පොළොව නුහුලන අපරාධය සිදු කරමින් දිවි හානි කරගැනීමට තරම් සාහසික වූ තුසිත ඊට පෙර ලියූ ලිපියක සඳහන් වී තිබුණේ,

“චූටි අයියේ... අම්මයි තාත්තයි බලාගන්න... මම යනවා... බයිසිකලේ අසවල් ගෙදර නතර කරලා ඇති...“ යන්නයි. ඒ අනුව ඔහු මේ අපරාධය මනා ලෙස සැලැසුම් කර සිදු කළ බවක් හෙළි වේ. එහෙත් ඔහු 10 හැවිරිදි දරුවා ඝාතනය කළේ කුමක් නිසාද යන්න ප්‍රශ්නාර්ථයකි.

අනියම් පෙමෙන් ජීවිතයෙන් වන්දි ගෙව­ා සිය කුසෙන් උපන් දරුවාටද මෙලොව විසීමට වාසනාව අහිමි කළ ඉන්දිකාගේ මව මෙකී ඛේදවාචකය පිළිබඳව පැවැසූවේ, මෙලෙසිනි.

“දුවයි බබාලා දෙන්නයි ගෙදර හිටියේ... පොඩි බබා තමයි මුලින්ම අල්ලපු ගෙදර නංගිට මේ අපරාධය කියලා තියෙන්නෙ... අපි දැනගන්නකොට උදේ හයට විතර ඇති... මේ ගින්දර මම කොහොම දරාගන්නද... බලන්න මේ නොදරුවො මොනවා දන්නවටද මෙහෙම දෙයක් වුණේ...“

අනියම් පෙම් හුටපටයෙන් නිරපරාදේ ජීවිත තුනක් මෙලොව හැර ගොස් අවසානය. කිසිත් නොදත් 10 හැවිරිදි කොලු පැටියා එම පාපතරයා විසින් සාහසික ලෙස ඝාතනය කරන ලද්දේ කුමන වරදක් කළ නිසාවෙන්ද? ඉන්දිකාද සිහිනෙන්වත් මෙවන් විපතක් සිදුවේ යැයි නොසිතන්නට ඇත. එහෙත් දරුවන් දෙදෙනෙකුගේ මවක ලෙස ඇය දුරදිග නොබලා හැසිරීමේ පලවිපාකයෙන් හයක් හතරක් නොතේරෙන කුඩා දරුවාට මව මෙන්ම එකම සහෝදරයාද අහිමි වී අවසානය. මෙවැනි අධම තීන්දු තීරණවලින් අවසානයේ දුක් විඳින්නෙ කුඩා දරුවන්ය. එම නිසා මෙවැනි තීන්දු තීරණ ගන්නා මනුෂ්‍යයන් මල් කැකුළු වන් කුඩා දරුවන් ගැනවත් සිතන්නේ නම් හොඳය.

මේ පිළිබඳ විමර්ශන නිකවැරටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහගේ උපදෙස් මත ගල්ගමුව සහකාර පොලිස් අධිකාරි සාලින්ද සමරකෝන්ගේ මෙහෙයවීමෙන් ගල්ගමුව පොලිසියේ ස්ථානාධිපති සුජිව ද සොයිසා සහ නව පොලිස් ස්ථානයක් ලෙස පසුගියදා ආරම්භ කළ නාන්නේරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්. අයි. බී. ජයරත්න ඇතුළු නිලධාරින් විසින් සිදු කළහ.

පසුබිම් තොරතුරු සහ ඡායාරූප 
ගල්ගමුව සමූහ එම්. එම්. ක්‍රිෂාන්

Comments