18-30 අතර එන්නත්කරණය කඩිනම් වෙයි | සිළුමිණ

18-30 අතර එන්නත්කරණය කඩිනම් වෙයි

අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු හා කැළණිය විශ්වවිද්‍යාල මහ ශිෂ්‍ය සංගමයේ සභාපති කොබෙයිතුඩුවේ සමිත හිමි, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී පෙරේරා, රුහුණ විශ්විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන, කොළඹ දේවි බාලිකා විදුහලේ විදුහල්පතිනි ප්‍රදිපා සමරසිංහ, පෞද්ගලික උපකාරක පන්ති ආචාර්ය අනුර බටගොඩ, විශ්වවිද්‍යාල අවසන් වසර සිසුවියකගේ මවක් වන චමරි ජයතිලක ‍

කොවිඩ් රෝගයේ භයානක බව හේතුවෙන් මේ වන විටත් පාසල්, විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යාපන ආයනත විවෘත කර ගැනීමට නොහැකි වී ඇත. මාර්ගගත අධ්‍යාපනය සිදු වුවත් මේ වන විට අධ්‍යාපන ආයතනවලට අගුළු දමා දමා වසර එකහමාරකට ආසන්න කාලයක් ගත වී ඇත්තේය. පාසල් විභාග පමණක් නොව විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යාපන ආයතනයන්හි විභාගද කල් යමින් පවතියි. මේ වන විටත් රජය විසින් එන්නත්කරණය වේගවත් කරමින් යන අතර පාසල් ගුරුවරු විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩලවලට එන්නත් ලබාදීම් අවසන් කරමින් යන්නේ හැකි ඉක්මනින් පාසල් විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යාපන ආයතන විවෘත කිරිමේ අරමුණිනි. රටේ කොඳු නාරටිය වන් අධ්‍යාපනය සුරක්ෂිතව පවත්වා ගෙන යාමට නම් කෙසේ හෝ සිසුන්ද එන්ත්කරණයට නතු කළ යුතුමය. මේ වන විට එහි මුල් පියවර රජය විසින් අරම්භ කොට ඇත්තේ 18-30 අතර වයස් කාණ්ඩයට කොවිඩ් එන්නත, එන්නත් කිරීම ආරම්භ කිරිමටය. මේ පිරිසට උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් මෙනම් විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු සියලු අධ්‍යාපන ආයතන සිසුන්ද ඇතුළත් වෙයි.

විශ්වවිද්‍යාල මට්ටමින් එන්නත් කරන්න 
- අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු හා කැළණිය විශ්වවිද්‍යාල මහ ශිෂ්‍ය සංගමයේ සභාපති කොබෙයිතුඩුවේ සමිත හිමි

අපි එන්නත්කරණ යෝජනාව මුල් අවස්ථාවේම රජයට ඉදිරිපත් කළා. විශ්වවිද්‍යාල හා පාසල් විවෘත කිරීමට එකම විසඳුම එන්නත්කරණයයි. මේ වන විට ඔන්ලයින් අධ්‍යාපනය අසාර්ථකයි. විභාග ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීමත් අසාර්ථකයි. ඒ නිසා රජය මේ පියවර ආරම්භ කරනවා නම් එය අගය කළ යුතුයි. ඒ වගේම විශ්වවිද්‍යාල සිසුන් 170,000 ක් පමණ ඉන්නවා. විශ්වවිද්‍යාල මට්ටමින් එන්නත් කිරිම ආරම්භ කළ යුතුයි. ප්‍රාදේශීය මට්ටමින් විශ්වවිද්‍යාල හැඳුනුම්පත පෙන්වා එන්නත් කිරීම සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේම සිසුන්ට නේවාසිකාගාර වලට යාමටත් එන්නත්කරණය සිදු කළ යුතුමයි.

විභාගයට සුදානම් වන සිසුන් 4,21000 ක් ඇතුළත් වෙනවා 
- අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී පෙරේරා

වයස අවුරුදු 18- 30 ත් අතර අයට එන්නත් කිරිමට රජය සූදානම් වීම ඉතා වටිනා දෙයක්. මේ පිරිසෙන් පාසල් 12 හා 13 උසස් පෙළ විභාගයට සුදානම් වන සිසුන් 4,21000 ක් ඇතුළත් වෙනවා. අඩුම තරමින් එවිට අපිට උසස් පෙළ විභාගය වඩාත් ආරක්ෂාකාරීව පැවැත්වීමටත්, මේ සිසුන් වෙනුවෙන් පාසල් විවෘත කර විෂය ආවරණය කිරීමටත් ඉන් හැකියාවක් ලැබෙනවා. ඒ වගේම අවුරුදු 18-30 අතර පිරිසට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන්, අධ්‍යාපන විද්‍යාපීඨ සිසුන් මෙන්ම නිපුණතා සංවර්ධන පීඨ සිසුන් හා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ වු පාසල් සිසුන් ඇතුළු අමාත්‍යාංශ 4 ක සිසුන් ඇතුළත් වන නිසා අධ්‍යාපනය ලබන විශාල සිසුන් පිරිසට ඉන් සහනයක් සැලසෙනවා.

එන්නත් නොකර නේවාසික ප්‍රශ්න විසදන්න අමාරුයි 
- රුහුණ විශ්විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන

රටේ හැමෝටම එන්නත් ලබා දිය යුතුයි. ඒ වගේම 18-30 ත් අතර පිරිසට එන්තත් කිරිමට පෙර අවුරුදු 60 ට වැඩි පිරිසට එන්නත් දී අවසන් කළ යුතුය යන්න වෛද්‍යවරුයෙකු ලෙස මගේ අදහසයි. මන්ද එය අතිශය මානුෂික කරුණක්. අධ්‍යාපනට අවශ්‍ය මානව සම්පත් අපි නිර්මාණය කළ යුතු නිසා රජය ගත් මේ තිරණය අතිශයින් වැදගත්. විශ්වවිද්‍යාල නේවාසිකාගාර ප්‍රශ්නය හැමදාම තිබූ ප්‍රශ්නයක්. ඒ නිසා නොවාසිකාගාරවලට සිසුන් දැමීමට නම් එන්නත්කරණය ඉතා වැදගත්. ඒ වගේම 18-30 අතර එන්නත්කරණය සිදු වුවහොත් හැකි ඉක්මනින් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට හැකිවේවි. දැන් සිසුන්ට ඔන්ලයින් අධ්‍යාපනය එපා වෙලා. දරුවන්ට ඕන විශ්වවිද්‍යාට ඇවිත් ඉගෙන ගන්න. මේ වන විට විශ්වවිද්‍යාල සිසුන් 140,000 ක් පමණ ඉන්නවා. ඒ සියලු දෙනාට එන්නත් කිරිමට එන්නත් මාත්‍රා 280,000 ක් පමණ අවශ්‍ය වෙනවා. මේ දරුවෝ සොයා ගැනීම අපහසුයි. එසේ සොයා ගෙන හෝ එන්නත් කිරීමට හැකිනම් ලොකු දෙයක්.

අපිට දරුවෝ ගැනත් දෙවරක් හිතන්න සිදුවෙනවා 
- කොළඹ දේවි බාලිකා විදුහලේ විදුහල්පතිනි ප්‍රදිපා සමරසිංහ

පාසල් විවෘත කිරීමේ එක් පියවරක් වශයෙන් පසුගිය 12 වැනිදා වන විට ගුරුවරු හා අනධ්‍යන කාර්ය මණ්ඩලවලට දෙවැනි එන්නත ලබා දීම ආරම්භ කළා. එය සාර්ථකව සිදුවූ අතර පාසල් ආරම්භ කිරිමට නම් අපිට දරුවෝ ගැනත් දෙවරක් හිතන්න සිදුවෙනවා. මන්ද දරුවෝ කොවිඩ් රෝග වාහකයෝ වන නිසා වැඩිහිටියන්ට මේ අවදානම තදින්ම පවතිනවා. ඒ වගේම තම දරුවන්ව පාසල් එවීමට නම් තම දරුවන් සුරක්ෂිත බව දෙමවුපියන් තුළ විශ්වාසයක් ගොඩ නැඟෙනවා. ඒ වගේම විභාගයන්ට මුහුණ දෙන දරුවන්ට විභාග කටයුතු අවසන් කළ යුතුයි. විභාග කල් යාමෙන් විභාග ගොඩ ගැසෙනවා. සජිවි පන්ති කාමරයකට දරුවෝ ගෙන්වා ගැනීමට පවතින සෞඛ්‍ය තත්ත්වය දැඩි අවදානමක් මතු කරනවා. වයස අවුරුදු 18 ට වැඩි අයට එන්නත් කිරීමේදි උසස් පෙළ සිසුන් ආවරණය වන නිසා ඒ දරුවන්ගේ විභාගය පැවැත්විමට හැකි වෙනවා. ඒ වගේම සාමාන්‍ය පෙළ දරුවන්වත් ඉලක්ක කරගෙන එන්නත් කිරීමත් ආරම්භ කළ යුතු බව මගේ අදහසයි.

විභාගයට පෙර එන්නත් කිරීමෙන් දරුවන්ගේ මානසික ශක්තිය වර්ධනය වෙනවා 
- පෞද්ගලික උපකාරක පන්ති ආචාර්ය අනුර බටගොඩ

රජය විසින ගත් මේ පියවර අපි අගය කළ යුතුයි. අපොස උසස් පෙළ සිසුන් සඳහා එන්නත්කරණය ආරම්භ කිරිම නිසා විභාගයට මාස කිහිපයකට කලින් ඒ සිසුන්ට කොවිඩ් රෝගයට ආරක්ෂාව මෙන්ම මානසික ශක්තිය වර්ධනය වෙනවා. ඒ නිසා හොඳ ප්‍රතිශක්තිකරණයකින් යුතුව මේ දරුවන්ට විභාගයට සූදානම් වීමට හැකියාව පවතිනවා. මේ වන විටත් මාර්ගගත අධ්‍යාපනයේ අඩුපාඩු අපි දකිනවා. ඒ සිසුන්ට සජිවි පන්ති කාමරයෙන් ලබන දැනුම් මේ හරහා ලබා දීමේ අඩුපඩු පවතිනවා.මේ නිසා අවම වශයනේ උසස් පෙළ සිසුන්ට හෝ පාසල් හා පෞද්ගලික උපකාරක පන්ති ආරම්භ කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මේ වන විට විශ්වවිද්‍යාලයට ඇතුළත් වු සිසුන්ට උපාධිය ලබා ගැනිමට නොහැකි වී තිබෙනවා. ඒ වගේම උපාධිය සම්පූර්ණ වූ සිසුන්ට උපාධි ප්‍රදානෝත්සවයක් පවත්වා ගැනීමට නොහැකිව පවතිනවා. ඒ වගේම තවත් පිරිසක් සුදුසුකම් ලබා ඇතත් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීමට නොහැකිව සිටිනවා. මේ දරුවන්ගේ කාලය නිරපරාදේ විනාශ වෙනවා. මේ නිසා හැමෝටම නොහැකි වුණත් කොටසකට හෝ එන්නත් ලබා දෙනවා නම් හොඳයි.

දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලැබෙනවා 
- විශ්වවිද්‍යාල අවසන් වසර සිසුවියකගේ මවක් වන චමරි ජයතිලක ‍

මේ වන තෙක් මගේ දරුවා ඇතුළු සමස්ත විශ්වවිද්‍යාල, පාසල් දරුවන් අධ්‍යාපනය ලබන්නේ මාර්ගගත ක්‍රමයට. මේ ක්‍රමයට හුරු වීමට මුලින්ම අපහසු වූවා සේම මේ වන විට දරුවන්ට මේ හරහා ඉගෙනිම් කටයුතු සිදුකරනවා. ඒත් යම් යම් අවසථාවන්හිදි ගැටලු මතුවෙනවා. අපේ දරුවෝ කැමතියි සජිවීව දේශන කාමරයක සිට අධ්‍යාපනය ලබමින් විශ්වවිද්‍යාල අත්දැකිම් විඳ ගන්න.

ඒත් දිනෙන් දින වැඩි වෙමින් පවතින කොවිඩ් වසංගතය නිසවෙන් සරසවි විවෘත කිරිම කල් යමින් පවතිනවා. මෙයට හොඳම විසඳුම ලෙස වෛද්‍යවරු ප්‍රකාශ කරන්නේ එන්නත් ලබා දීම. 18-30 අතර පිරිසට එන්නත් කිරිමේ කටයුතු සිදුවුවහොත් නැවතත් ආරක්ෂිතව සරසවි විවෘත කිරීමට හැකිවන බව අදහසයි. දෙමවුපියන් වශයෙන් අපේ අපේක්ෂාව, දරුවන් නැවතත් සරසවියට පියමං කිරීම වගේම දරුවන්ට ආරක්ෂිත පරිසරයක් ඇති කිරීම. විශ්වවිද්‍යාල දරුවන් එන්නත් කිරීම සිදුවුවහොත් අපේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ විශ්වාසයෙන් ඒ අයට නැවතත් සරසවියට යැවිය හැකියි. ඒ වගේම දරුවන්ගේ කාලය නිරපරාදේ විනාශ විමට ප්‍රථම විභාග පවත්වා උපාධිය ලබා ගැනීමට හැකි වෙනවා නම් එය විශාල සහනයක්.

Comments