තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ ඩයලොග් Youth Can වැඩසටහන දියත් කරයි | සිළුමිණ

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ ඩයලොග් Youth Can වැඩසටහන දියත් කරයි

වමේ සිට, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ඩයලොග් ආසිආටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ

ශ්‍රී ලාංකික තාරුණ්‍යයට තම කුසලතා ඔප් නැංවීමට මඟ පෙන්වීම හා සහයෝගය ලබා දීම අරමුණු කර ගනිමින්, අන්තර්ජාතික තරුණ දිනයට සමගාමීව ඩයලොග් ආසිආටා සමාගම විසින් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සමගින් එක්ව Youth Can වැඩසටහන දියත් කරන ලදී.

මෙම වැඩසටන තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය හා ජාතික තරුණ සේවා සභාව සමගින් එක්ව, මිනිස් බල හා රැකියා දෙපාර්තමේන්තුවේ, කුඩා ව්‍යවසාය සංවර්ධන අංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව, ශ්‍රී ලංකාවේ සැඟවුණු කුසලතා සෙවීමට කටයුතු කරනු ඇති අතර , මෙමගින් සුවිශේෂී හැකියා සහිත තරුණ තරුණියන්ට ඔවුන්ගේ කැමති ක්ෂේත්‍රයන්හි, ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට අවස්ථාව උදා වේ.

මෙම තුන් අවුරුදු වැඩසටහන වයස අවුරුදු 14 ත් 35 ත් අතර වයස් සීමාවන් තුළ සිටින තරුණ තරුණියන් ගේ හැකියාවන් සහ දක්ෂතාවයන් ක්‍රීඩා, නව ව්‍යාපාර අදහස්, ශිල්ප කලා, මෝස්‌තර නිර්මාණකරණය, සූප වේදය සහ කෙටි චිත්‍රපට යන අංශයන් 6ක් ඔස්සේ තරඟකාරීව එළිදැක්වීම කෙරෙහි අවධානය යොමු කෙරේ. තෝරාගත් අයදුම් කරුවන් සඳහා වැඩමුළු, අදාළ මෙවලම් හා පුහුණුව ලබා දී , දැනුමින් සහ හැකියාවන්ගෙන් බලගැන්වීමත් සිදුවනු ඇත. ජාතික තරුණ සේවා සභාව, මිනිස්බල හා රැකියා දෙපාර්තමේන්තුව, කුඩා ව්‍යවසාය සංවර්ධන අංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් පත් කළ ඒ ඒ ක්ෂේත්‍රයන්ගේ ප්‍රවීණයන්ගෙන් තේරීම් කමිටුව සමන්විත වනු ඇති අතර, තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ තේරීම් සිදු වනු ඇත. මේ පිළිබඳව වැඩි විස්තර ලබාගැනීම සහ අයදුම්පත් යොමු කිරීම www.youthcan.lk වෙබ් අඩවිය ඔස්සේ සිදු කළ හැකිය.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් ඩයලොග් ආයතනය අත්වැල් බැදගැනීම පිළිබඳව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්‍ෂයන් සඳහන් කළේ “තරුණ සුබ සාධනය, තරුණ සහභාගීත්වය ඉතා වැදගත් ලෙස දකිමින් අප සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ඉදිරිපත්වීම පිළිබඳව තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් ඩයලොග් ආයතනයට ස්තූති කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නා අතර, මෙම හවුල්කාරිත්වය තුළින් අප තරුණ තරුණියන්ට තම හැකියාවන් එළිදැක්වීමට වේදිකාවක් සක්‍රීය කර ඇති අතර ඉදිරි වසර කිහිපය තුළ ලංකාවෙන් බිහිවන අනාගත ගෝලීය තරුණ නායකයින් සඳහා මෙය තුළින් විශාල පිටිවහලක් සැපයීමට අපට හැකියාව ලැබෙනු ඇත” යනුවෙනි.

එමෙන්ම තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මේ පිළිබඳව වැඩිදුරටත් කියා සිටියේ” ඩයලොග් ආයතනය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අත්වැල් බැඳගැනීම සම්බන්ධයෙන් තමා ස්තූතිවන්ත වන අතර, රටේ තරුණ හා ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ අනාගත දියුණුව සඳහා වූ වැඩසටහන ඉදිරියට ගෙන යාමට මෙම සහයෝගිත්වයෙන් සහායක් ලැබෙන බවයි.

එමෙන්ම ඩයලොග් ආසිආටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ පැවසුවේ “මේ වැඩසටහන මඟින් තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය සමග එක්ව හෙට ලොව අනාගතය අද දින ජය ගැන්මට ශ්‍රී ලංකේය තාරුණ්‍ය සවිබල ගැන්වීමට අප ලද අවස්ථාව පිළිබඳව ඉමහත් සතුටට පත් වන්නෙමු” කියාය.

Comments