සෞභාග්‍යයේ දැක්මෙන් සෞභාග්‍යවත් රටක් | සිළුමිණ

සෞභාග්‍යයේ දැක්මෙන් සෞභාග්‍යවත් රටක්

මහනුවර දළදා මාලිගා මඟුල් මඬුව පරිශ්‍රයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ඉදිරියේ 2020 අගෝස්තු මස දිවුරුම් දුන් නව ඇමැති මණ්ඩලය.

- වියදම් අවම කිරීමෙන් රජයට මාසිකව රුපියල් කෝටි 2,000 ක ලාභයක්
- පාඩු ලැබූ ආයතන රැසකින් ලාභ උපයයි
- පෙර පාසල් ගුරුවරුන් 25,000 කට විශේෂ දීමනාවක්
- වරාය නගරයෙන් අලුත් රැකියා 82000ක්

මීට වසරකට පෙර පැවැති 2020 මහ මැතිවරණය මෙරට වසර 73 ක් පැරැණි මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂතම මැතිවරණය විය. ඒ අන් කිසිවක් නිසා නොව මෙරට එතෙක් මෙතෙක් පැවැති සියලු මැතිවරණවලට වඩා වැඩි, වැඩි ඡන්ද ප්‍රමාණයක් හා වැඩිම ආසන ප්‍රමාණයක් මෙන්ම වැඩිම ඡන්ද ප්‍රමාණයක් එම මැතිවරණය ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාගත හැකිවූ බැවිනි. 

‘යහ පාලනය’ නමින් ගෙන ගිය අකාර්යක්ෂම හා අලස පාලනයට තිත තබමින් 2019 දෙසැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂයන් ජනපති ලෙස ලක්ෂ 69 කගේ මනාපයෙන් පත්වීමෙන් පසු එතුමාට රට පාලනයට රටේ දියුණුවට පූර්ණ ශක්තිය ලබාදීමට 2020 මහ මැතිවරණයේ පොදුජන පෙරමුණ ලැබූ සුවිශිෂ්ට ජයග්‍රහණය ප්‍රධාන අත්වැලක් විය.

2020 අගෝස්තු 5 වැනිදා පැවත්වූ මහ මැතිවරණයෙන් මෙරට මැතිවරණ ඉතිහාසයේ කිසිම පක්ෂයක් පෙරමුණක් නොලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට පිහිටුවා වසර 3 ක් පමණක් වූ පොදුජන පෙරමුණට නැතිනම් පොහොට්ටුවට අවස්ථාව ලැබුණි. ඒ අගෝස්තු 7 වැනිදා නිකුත්වූ ප්‍රතිඵල සමඟය. ඒ අනුව 2020 මැතිවරණයේදී පොහොට්ටුව ලැබූ වැඩි ඡන්ද ගණන 4,081,709 ක ලැබූ ආසන ගණන 145 කි. ඒ ආසන ගණන හා වැඩි ඡන්ද ගණන 1947 සිට පැවැති සියලුම මැතිවරණවලදී ජයග්‍රහණය කරන පක්ෂය ලබාගත් වැඩි ඡන්ද හා ආසනවලට වැඩිය. මෙය දෙවැනි වන්නේ 2010 මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනපතිගේ නායකත්වය යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ විජයග්‍රහණයට පමණි.

එදා 2010 මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි ඡන්ද ලක්ෂ 25 (2,489,331) ක් ලබාගත් අතර ආසන 144 ක් ලබා ගත්තේය. එය 2020 ට පෙර මෙරට මැතිවරණයකදී එක් පෙරමුණක් ලැබූ වැඩිම වැඩි ඡන්ද ප්‍රමාණය හා ආසන ප්‍රමාණයයි.

මේ අතර 2020 මැතිවරණය පැරැණි ආසන ක්‍රමය යටතේ තිබුණේ නම් පොහොට්ටුවට ආසන 201 ක් ලැබීමට ඉඩ තිබිණි. එවිට සජිත්ගේ සමගි ජනබලවේගයට ලැබෙන්නේ ආසන 11 ක් පමණි. එවිට ද්‍රවිඩ හා මුස්ලිම් පක්ෂවලට ආසන 11 - 13 ක් ලැබීමට ඉඩ තිබිණි. නමුත් ජේ.ආර්.ගේ සමානුපාතික ඡන්ද ක්‍රමය නිසා සජබට මන්ත්‍රීවරු 54 ක් ලැබුණි.

එමෙන්ම මෙරට වසර 73 ක් පැරණි අපේ මහ මැතිවරණ ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලැබුණු පෙරමුණ වන්නේ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. 2020 අගෝස්තු 5 වැනිදා මහ මැතිවරණයේදී ඒ පෙරමුණ ලැබූ සම්පූර්ණ ඡන්ද සංඛ්‍යාව 6853690 කි.

ඒ අතරම තවත් අයුරකින් 2020 මැතිවරණය තවත් සුවිශේෂී මැතිවරණයක් වේ. ඒ මෙරට අලුත්ම පක්ෂ දෙකක් මෙම මැතිවරණ ප්‍රතිඵල අනුව ආණ්ඩු බලයත් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙසත් තේරී පත්වීමයි. ඒ අනුව ආණ්ඩු බලය ලැබුණේ පිහිටුවා වසර තුනක් පමණවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි. ප්‍රධාන විපක්ෂය වුණේ පිහිටුවා වසරක්වත් නැතිවූ සමගි ජනබලවේගයටයි.

මේ අයුරින් 2020 අගෝස්තු 7 වැනිදා ලැබූ ජය අනුව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂයන් ජනපති ගෝඨාභය රාජපක්ෂයන් ඉදිරියේ දිවුරුම් දුන්නේ 2020 අ‍ගෝස්තු 9 වැනිදා ය. ඒ හෙට වැනි දිනයකදී ‍බුදු රජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් වන්දනීය වූ පූජනීය වූ කැලණිය රජ මහා විහාරස්ථානයේදීය.

‍ජනපති ගෝඨාභය රාජපක්ෂයන් 2019 මැතිවරණයේදී ගෙන ආ ‘සෞභාග්‍යයේ දැක්ම’ රට හදන වැඩපිළිවෙළ ඔස්සේ අපේ රට සෞභාග්‍යවත් දේශයක් බවට පත් කිරීමට නව අගමැති මහින්ද රාජපක්ෂයන් ප්‍රමුඛ නව ඇමැති මණ්ඩලය රාජ්‍ය ඇමැතිවරු පසුගිය වසර තුළ විශිෂ්ට සේවයක් ඉටු කළහ.

කෝවිඩ් 19 වසංගතය මධ්‍යයේ වුව ද රජයේ සියලු අමාත්‍යාංශවලදී ජනපතිගේ හා අගමැතිගේ උපදෙස් පරිදි පසුගිය වසර ඇතුළත මෙම ජනතාවට කළ සේවය වෙනත් කිසිම රජයකින් බලයට පත්වී ප්‍රථම වසර තුළ ඉටු කර නැත.

ඒ අතරම සියලු ආගමික ස්ථාන බදුවලින් නිදහස් කිරීම වැට් බද්ද අඩු කිරීම උපයන විට බද්ධ අඩුකිරීම පොලී මත රැඳවුම් බද්ධ අහෝසි කිරීම ද සිදු කළේ ජනපතිගේ උපදෙස් මතය.

ඒ සමඟම 2020 වසරේ සිට මේ දක්වාම රජයේ ජනපති අගමැති ඇමැති රාජ්‍ය ඇමැති හා මන්ත්‍රීවරුන්ට අලුත් වාහන ගෙන්වීම නවත්වනු ලැබීය. මෙය ඓතිහාසික තීන්දුවක් විය. ඊට පසු පානීය ජල සම්බන්ධතාවක් සඳහා ගෙවූ රුපියල් 8000 මුදල 2500 ක් කිරීම ද සුවිශේෂී ජනතා හිතකාමී තීන්දුවක් විය. ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුව විසඳමින් ඔවුන්ට ස්ථාවර දීමනාවක් හා තවත් නව වැඩිපුර දීමනාවක් ලබාදීම ද වත්මන් රජය රණවිරුවන් වෙනුවෙන් ගත් ඓතිහාසික තීන්දුවක් විය.

ඒ සමඟම වත්මන් රජය ගත් තවත් සුවිශේෂී තීරණයක් වූයේ යහපාලන රජය මාසිකව රුපියල් ලක්ෂ 21 ක විශාල කුලියක් ගෙවූ කෘෂිකර්ම අමාත්‍යාංශය පැරණි සම්පත්පායට ගෙන යාමයි. වාලච්චේන කඩදාසි කම්හල නැවත ආරම්භ කර එහි කඩදාසි හා කාඩ්බෝඩ් නිපදවීමට ද කටයුතු යෙදීම 2020 දෙසැම්බර්වලදී පමණ සිදුවිය.

උතුරු නැගෙනහිර පුරාවිද්‍යා උරුමයන් සුරැකීමට ආරක්ෂක ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බළකායක් පිහිටුවීම ද 2020 දී සිදුවිය.

ඒ සමඟම දින 180 ක් දිගටම වැඩ කළ තාවකාලික සේවකයන්ගේ සේවය ස්ථිර කිරීමට කටයුතු කළේ ය.

ෆයිනස් හා කටුපොල් වගාව තහනම් කිරීම හා යල කන්නයේ දී බෝග වර්ග 16 ක් සඳහා ස්ථාවර මිලක් ලබාදීම ද වැදගත් කරුණකි. 2020 වසරේදී දෙවරක් මෙරට සමෘද්ධිලාභී අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 60 කට රුපියල් 5000 බැගින් ලබාදීම ද සිදුවූයේ කොරෝනා වසංගතය නිසා ඒ පවුල්වල ආදායම් මාර්ග අහිමිවීමත් නිසාය. ඊට පසු බස්නාහිර පළාතේ අයට ද යළිත් වරක් 2020 ඔක්තෝබර් මාසයේ රුපියල් 5000 බැගින් පවුල් ලක්ෂ 20 කට පමණ ලබාදීමට රජය කටයුතු කළේය. මෙරට එක් රෝගයක් පාලනයක් වෙනුවෙන් එතරම් පවුල් ගණනකට රුපියල් කෝටි 100 කට අධික මුදලක් ලබාදීම ඓතිහාසික කරුණක් විය.

සැහැල්ලු වාහන සඳහා රියදුරු බලපත්‍ර ලබාගැනීමේදී ඇස් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් බවට නීති වෙනස් කිරීම මෙන් ම කසළ ආනයනය සම්පූර්ණයෙන් නතර කිරීම ද වත්මන් රජය කරන ලද කාර්යයන් අතර ප්‍රධාන වේ.

විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය 10000 කින් වැඩිකිරීම හා ශිෂ්‍ය නේවාසිකාගාර ප්‍රශ්නයට පිළියම් යෙදීම ද වත්මන් රජය කළ තවත් කාර්යයකි. ඊට අමතරව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය ඉදිකිරීම මොරටුව සරසවියේ තාක්ෂණ පීඨය ඉදිකිරීම සිදුකරන ලදී. ඊට අමතරව යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාලය විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට ද පියවර ගන්නා ලදී. 

කොරෝනා වසංගතය පාලනය සඳහා කරන කැපවීම

උදෙසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 450 ක් වෙනුවෙන් යතුරු පැදි ලබාදීම ද නව තෙල් පිරිපහදු පර්යන්තයක් ආරම්භ කිරීම සඳහා කටයුතු කිරීම ද සිදුකර තිබේ. කඩා වැටෙමින් තිබුණු ETI The Finance වැනි මූල්‍ය ව්‍යාපාර තැන්පත්කරුවන් වෙනුවෙන් තැන්පත් මුදල් ආපසු ගෙවීමට රජය කටයුතු කළේය.

වසර 4 ක් යනතුරු රාජ්‍ය ආයතනවලට මැති ඇමැතිවරුන්ට වාහන ගෙන්වීම අත්හිටුවීම හා ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතනවල අනවශ්‍ය වියදම් අඩු කිරීම මඟින් මසකට රුපියල් කෝටි 2000 ක මුදලක් රටට ඉතිරි කිරීම ද පසුගිය වසර ඇතුළත සිදුවූ සුවිශේෂී කාර්යයකි.

ජනපති, අගමැති, මැති ඇමැතිවරුන්ගේ ඡායාරූප රාජ්‍ය ආයතනවල සවිකිරීමත් මාර්ග සංවර්ධනය සඳහා මැති ඇමැතිවරුන්ගේ ඡායාරූප ඇතුළත් පුවරු සවිකිරීමත් තහනම් කිරීමට රජය පියවර ගැනීම මඟින් රුපියල් මිලියන ගණනක මුදලක් රටට ඉතිරි විය.

මෙරට සරසවි සිසුන්ගේ ප්‍රධාන ප්‍රශ්නය වූ නවක වදය සමනය කිරීමට විශ්වවිද්‍යාල ඇතුළත නවක වදය සිදු කළොත් ශිෂ්‍ය භාවය වසර 12 ක් අවලංගු කිරීමට නීති රීති සකස් කළේ වත්මන් රජය යටතේය. රාජ්‍ය ආයතනවල සියලු ඉදිකිරීම් සඳහා දැව මිලදී ගැනීම රාජ්‍ය දැව සංස්ථාවෙන් පමණක් සිදු කිරීමට මෙන් ම සියලුම ඉදිකිරීම් සඳහා දේශීය උළු පමණක් අනුමත කිරීම ද වත්මන් රජය සිදුකර ඇත.

මෙතෙක් කල් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ආගමන විගමන දෙපාර්තමේන්තුව, ජාතික රෝහල වැනි රාජ්‍ය ආයතනවල අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන කප්පම් හා අල්ලස් ගැනීම අවම කිරීම පිණිස ඒ ඒ ස්ථානවලට බුද්ධි අංශ යෙදවීම ද ජනපතිගේ හා අගමැතිගේ උපදෙස් අනුව සිදුවූ ජනතා හිතකාමී ක්‍රියාවකි.

පුල්මුඩේ පරන්තන් කර්මාන්ත ශාලාව ඇරැඹීම වාලච්චේන කඩදාසි නිපදවීම ඇරැඹීම වසරකට රුපියල් කෝටි 350 ක් ඉතිරි කරමින් සේලයින් හා පිළිකා ඖෂධ මෙරට නිපදවීමට කටයුතු කළේ පසුගිය වසර ඇතුළතදීය.

යළි පැලවත්ත හා සෙවණගල සීනි කර්මාන්ත ශාලා ආරම්භ කර අපේ රටටම සීනි සැපයීම, ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පර්යේෂණාගාරයක් ආරම්භ කිරීම හා සියලු ආහාර තත්ත්ව පරීක්ෂණයට වෙනම ආයතනයක් ආරම්භ කිරීම ද පසුගිය වසරේ කළ ජනතාවට හා රටට ප්‍රයෝජනවත් වැඩසටහන් වේ.

මෙරට ග්‍රාමීය සිසු පරපුරටත් හොඳ අධ්‍යාපනයක් ලබාදීමට ජාතික පාසල් 1000 ක් දක්වා වැඩි කිරීම හා ඛණිජ තෙල් නීති ගත සංස්ථාව මඟින් ලිහිසි තෙල් නිෂ්පාදනය ආරම්භ කර වසරකට රුපියල් කෝටි 3000 ක් රජයට ඉතිරි කිරීම ද වත්මන් රජය කළ සුවිශේෂි කාර්යයන් අතර ප්‍රමුඛ වේ.

කාන්තාවන් පිළිබඳ ජාතික කමිටුවක් පිහිටුවීම හා පෙර පාසල් ගුරුවරු 25000 කට රුපියල් 2500 ක ස්ථිර දීමනාවක් ලබාදීම හා පෙර පාසල්වලට සුවිශේෂී පහසුකම් ලබාදීම හා පසුගිය වසරේදී සිදුවූයේ ඉදිරි අනාගත පරපුරේ ඉදිරි ගමන අලංකෘත කිරීමටය.

ජනපතිගේ උපදෙස් පරිදි සිදු කළ ආර්ථික කළමනාකරණය නිසා වසර 70 කට පසු අපනයන ආදායම් ආනයන ආදායමට වඩා වැඩිවූ අතර ආර්ථික ප්‍රවර්ධනය හා දරිද්‍රතාව තුරන් කිරීම පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බළකායක් ද පිහිටුවිය. හිටපු ඇමැති බැසිල් රාජපක්ෂයන් එහි සභාපති ලෙස පත්විය.

එම කාර්ය සාධක බළකාය මඟින් කොරෝනා වසංගතය සමයේ රටේ ජනතා ගැටලු විසඳීමට වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීය. ග්‍රාමීය සංවර්ධනය සඳහා මැතිවරණයට පෙර බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත සිදු කළ ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනේ යෝජනා කළ ග්‍රාමීය ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට ‘වැඩ සමඟ යළි ගමට’ නම් නව වැඩසටහන දැන් ආරම්භ කර ඇත. ඒ සමඟම ජනාධිපතිතුමා දුප්පත් ගම්මාන ගණනාවකට ගොස් එහි ජනතාවගේ ප්‍රශ්න ඍජුවම සාකච්ඡා කිරීම හා ඒවාට එවේලේම විසඳුම් ලබාදීම ද සිදුවිය. එය ද ‘ජනපති ගම සමඟ පිළිසඳර’ ලෙස නම් කර තිබේ. තරුණ ව්‍යවසායකයනට රුපියල් ලක්ෂ 10 ක් දක්වා අඩු පොලී ණය ලබාදීමත් තරුණ ව්‍යවසායකයන්ට ඉඩම් කැබලි ලක්ෂයක් ලබාදීමත් සෑම ගමකට යටිතල පහසුකම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක් ලබාදීම ද සිදු කර ඇත.

රාජ්‍ය උත්සව වියදම් අවම කිරීම, ජනපති අගමැති කාර්ය මණ්ඩල සීමා කිරීම අලුත් වාහන ගෙන්වීම තහනම් කිරීම මඟින් වත්මන් රජය මසකට ඉතිරි කළ මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 2000 ක් පමණ බව මුදල් අමාත්‍යාංශය කළ අධ්‍යයන අනුව හෙළිවී තිබේ.

ඊට අමතරව පෑලියගොඩ ඉදිකර තිබූ මැනින් වෙළෙඳ පොළ ජනතා අයිතියට පත් කිරීම, මහජන පැමිණිලි සඳහා ඔම්බුස්මන්වරයකු පත්කිරීම හා රටට අහිතකර NGO නියාමනය කිරීම ද වත්මන් රජය සිදු කළේ ජනතා සුබසෙත පිණිසමය.

පරිසර දූෂණය අවම කිරීමට කටයුතු රැසක් පසුගිය වසර ඇතුළත සිදුවිය. ඒ අනුව වැදගත්ම ක්‍රියාව අගෝස්තු පළමු වැනිදා සිට නොදිරන ලන්ච් සීට් තහනම් කිරීමයි.

ඒ සමඟම ඉදිරියේදී නොදිරන ලන්ච් සීට් සිලි සිලි බෑග් නිපදවා බෙදා හරින හා විකුණන අයට විරුද්ධව රුපියල් ලක්ෂයක දඩයක් නියම කිරීමටත් අවශ්‍ය නීති ‍රීති සම්පාදනයට පරිසර අමාත්‍යාංශය කටයුතු කරන බව පරිසර ඇමැති මහින්ද අමරවීර පවසයි.

ඊට අමතරව මේවාට සුදුසු විකල්ප ජනප්‍රිය කරවීම ද දැන් අරඹා තිබේ. වී ගොවිතැනට අවශ්‍ය පොහොර නොමිලයේ ලබාදුන් අතර අනික් බෝග සඳහා සහනාධාර ලෙස පොහොර ලබාදීම පසුගිය වසරේ සිදු කළ අතර මේ වසරේ අප්‍රේල් සිට මෙරටට රසායනික පොහොර ගෙන්වීම නවතා කාබනික පොහොර ජනප්‍රිය කර රටත් පසත් ජනතාවත් සුවපත් කිරීමට පියවර ගැනීම මේ ලෝකයේ කිසිම රජයක් නොකළ කටයුත්තක් ලෙස ඉතිහාස ගතවේ.

කිරි ගොවියන්ට කිරි ලීටරයක් සඳහා දෙන මුදල රුපියල් 85 - 100 දක්වා වැඩි කළ අතර අලුත් ශීතාගාර 50 ක් ඉදිකිරීමටත් කෘතිම සිංචන කරන අය 50 ක් පුහුණු කිරීමටත් අලුත් තණ බිම් ඉදිකිරීමත් මඟින් රටේ කිරි නිපැයුම් වැඩි කිරීමට ගොවිපළ සංවර්ධන රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත් පියවර ගෙන ඇත.

පසුගිය ජූලි 3 වැනිදා පමණ වනවිට පළාත් පාලන ආයතනවල අනියම් කොන්ත්‍රාත් සේවකයන් 8000 ක් ස්ථිර සේවයට පත් කිරීමට කටයුතු කෙ‍රිණි.

2005 - 2015 වකවානුවේ උතුරු වසන්තය, නැ‍ෙගනහිර උදානය, එක ගමකට එක වැඩක්, ජාතික සවිය, ගම නැඟුම යටතේ රට වෙනුවෙන් වැඩ රැසක් කළ දරිද්‍රතාව තුරන් කිරීම පිළිබඳව ජනාධිපති කාර්ය සාධන බළකා සභාපති බැසිල් රාජපක්ෂයන් මහතා ජූලි 8 වැනිදා මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

මෙරට ප්‍රථම වරට පුරවර විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට ද දැන් රජය සියලු වැඩකටයුතු යොදා ඇත. පුරවර විශ්වවිද්‍යාල යනු එය පිහිටි ප්‍රදේශ‍යේ සම්පත් වඩාත් උචිත අයුරින් යොදා ගනිමින් උපාධි පාඨමාලා පවත්වන විශ්වවිද්‍යාලයි. ඒ අනුව එම එක් එක් ප්‍රදේශයේ සම්පත් උපයෝජනය වඩාත් කාර්යක්ෂම වන අතර එමඟින් රැකියා අවස්ථා ජනනය හා ආර්ථික සංවර්ධනය සිදුවේ. අපේ රටේ ක්‍රියාත්මක ප්‍රථම පුරවර විශ්වවිද්‍යාලය කෑගලු පුරවර විශ්වවිද්‍යාලය (City University of Kagalla) ලෙස නොබෝ කලකින් පින්නවල ප්‍රදේශයේ විවෘත කිරීමට කටයුතු යොදා ඇත.

රටේ සියලු දිස්ත්‍රික්කවල ඉදිවන පුරවර විශ්ව විද්‍යාලවල ඇති විශේෂත්වය වන්නේ අපොස උසස් පෙළ සමත්වී විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ඕනෑම විෂය ධාරාවකට අවම සුදුසුකම් ලැබූ ශිෂ්‍යයකුට මේ සඳහා අයදුම් කළ හැකි වීමයි.

පසුගිය ජූලි 19 වැනිදා පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය ගව ඝාතනය නැවැත්වීමට කටයුතු කරන ලෙස පළාත් පාලන ආයතනවලට උපදෙස් දුන්නේ ය. මේ සඳහා අවශ්‍ය පනත් 4 ක් සංශෝධනය කිරීමට දැනට පියවර ගෙන ඇත.

ඒවා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අනුව ක්‍රියා කරන ලෙස පළාත් පාලන බලධාරීන් දැනුම්වත් කිරීමට ද පළාත් සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි පියවර ගෙන ඇත.

ඔන්ලයින් ගැටලුවට විසඳුම් දීම පිණිස අධ්‍යාපනය වෙනුවෙන් අලුත් රූපවාහිනී නාළිකා 20 ක් ඇරැඹීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යාංශය ද අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.‍

විදුලි බල මණ්ඩලය, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ආයතන ගණනාවක පාඩුව අවම කර ගැනීමටත් මිල්කෝ, ලංකා සීනි, ජාතික ඉතිරිකිරීමේ බැංකුව වැනි ආයතනවල ලාභය වැඩි කර ගැනීමටත් පසුගිය වසරේ හැකිවීම භාග්‍යයකි.

විදේශ සම්බන්ධතා දියුණු කර ගැනීමට රටට මූල්‍යමය හා ඖෂධ එන්නත් ආධාර ලබාගනිමින් රටේ ජනතාවට සුවසෙත හා ජීවත්වීමේ පහසුව ඇති කිරීමට කෝවිඩ් 19 මධ්‍යයේ වුව ද වත්මන් ජනපතිතුමන් හා අගමැතිතුමන් ප්‍රමුඛ වත්මන් රජය ගත් උත්සාහය පැසසුම් කටයුතුය. රටේ උන්නතිය උදෙසා කරන ඒ සියලු කටයුතුවලට උපරිම සහාය දීම අප සැමගේ යුතුකමයි. වසරකට අපේ රටට රුපියල් කෝටි 230,000 ක ආදායමක් දෙන අපේ රටට අලුත් රැකියා 82000 ක් ලබාදෙන කොළඹ වරාය නගරය ඉදිකිරීම ද දැන් ලහි ලහියේ සිදුවේ. එය නීත්‍යානුකූලව ලොවටම විවරවූයේ පසුගිය වසරේදී ය.

ඒ අනුව මෙය රටේ විශාලතම ආයෝජන සංවර්ධන කේන්ද්‍රස්ථානයයි. මේ ඉදිකිරීම නිසා රටට අලුතින් එක්වූ මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 269 කි.

Comments